(අද, ඔක්තෝබර් 09 වෙනි දිනට විජය කුමාරතුංග ජන්ම දිනය නිමිත්තෙනි.)

මෙරට සිනමාවේ අග‍්‍රගන්‍ය රංගධර ගාමිණි ෆොන්සේකාගෙන් පසුව ජනපය‍්‍රිතම නළුවා ලෙස වැඩි කලක් ජනතා සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ විජයයි.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කොහේ කොතැනක ගියත් ඔහුගේ අව්‍යාජ සිනහවට, කඩවසම් රුවට, අව්‍යාජවූ මිනිසත්කමට ආදරය කළ ජනතාව ඔහු වටා රොක්වූහ. විජය පිළිබඳ ඉහත සඳහන මම කළේ අදින් වසර 32 කට පෙර වුවත් ඔහු පිළිබඳව අද පරපුරට අවබෝධය වඩවනු පිනිසය. ඔහු සීදූව මහ විදුහල හා කඳාන ඞී. මැසනඞ් විදුහල හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහල්වල අධ්‍යාපන හැදෑරුවේය. සිනමාවේදී ඔහු හා රගපෑ රවීන්ද්‍ර රන්දෙණිය හා රොබින් ප‍්‍රනාන්දු, මිතුරන් සමග ශාන්ත බෙනඩික් විදුහලේ ඉගෙනුම ලැබූ විජය මුල්ම රැකියාව ලෙස අයැදුම් කළේ පොලිස් පරීක්‍ෂකවරයකු වීමටය.

 

විජය 3

 

පොලිසියේ රැකියාව සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණයෙන්ද ඔහු සමත් ව සිටියේය. පොලීසියේ රැකියාව වෙනුවට විජය රංගනය කෙරෙහි යොමුවීම දෛවෝපගත සිද්ධියක් විය. පුවත්පතක පළවී තිබූ දැන්වීමක් අනුව අයැදුම්පතක් යොමුකළ ඔහු පළමුවරට හන්තානේ කතාව චිත‍්‍රපටයේ නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි විය. සුගතපාල සෙනරත් යාපා (අධ්‍යක්‍ෂ), විජය ධර්මශ‍්‍රී, සෝමපාල ලැනරෝල්, දයානන්ද ගලප්පත්ති, ඒ. බී. රාජ් වැන්නෝද එම සම්මුඛ පරීක්‍ෂණ මඬුල්ලේ වූහ. පරීක්ෂණයෙන් තේරුණු විජය හන්තානේ කතාවේදී ස්වර්ණා මල්ලවආරච්චි, ටෝනි රණසිංහ, සෝබනී අමරසිංහ, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, සමන්ති ලැනරෝල්, නිශ්ශංක අමරසිංහ සමග මුල්වරට සිනමා කැමරාවට මුහුණ දුන්නේය.

ඔබෙ රුව ඡායා සැඟවේ ඡායා

විජය 2

ඡායාරූපය – බන්දු එස් කොඩිකාර

කලාවට තිබූ අතිශය කැමැත්ත නිසාම විජය වරෙක හේෂා පලිහක්කාරයන් මෙහෙයවූ සෙරන්ඩිබ් කලායතනයට බැඳී එහි නැටුම් හා රංගන පාඨමාලාවන්ද හැදෑරීය.

1945 ඔක්තෝබර් 09 වැනි දින ජන්ම ලාභය ලැබූ විජයගේ දෙමවුපියන් වූයේ සීදූව ප‍්‍රදේශයේ ගම්මුලාදෑනියකු වූ බෙන්ජමින් කුමාරතුංග සහ බි‍්‍රයටිස් කුමාරතුංග යුවළයි. සාමාණිජිකයන් 4 දෙනකුගෙන් යුත් පවුලේ බාලයා විජයයි. වැඩිමහල් සොහොයුරා සිඞ්නි නම්වූ අතර ඔහු ජීවන් කුමාරතුංගගේ පියා වෙයි. විවියන් හා රූපා සෙසු සොහොයුරියන් වූහ.

 

විජය 6

හන්තානේ කතාවෙන් ආරම්භ වූ ඔහුගේ සිනමා රංගන චාරිකාවේ මතක සටන් බොහෝය. ඔහු රඟපෑ ‘බඹරු ඇවිත්, පාර දිගේ, අහස් ගව්ව, සිකුරු ලියා, ගඟ අද්දර, තුෂාරා, මේ දෑස කුමටද, හතර දෙනාම සූරයෝ, ‘සංගීතා’ මමයි රජා, බැද්දේගම, හිඟන කොල්ලා, මරුවා සමග වාසේ, කැඩපතක ඡායා ‘ක‍්‍රිස්තු චරිතය’ ඇතුළු කලාත්මක වාණිජ මැද මාවතේ ඔහු රඟපෑ හැම චිත‍්‍රපටයක්ම ප්‍රේක්ෂක රස මනසේ චමත්කාරය නිධන් කරන්නට සමත් විය. විජය මියගොස් වසර 32 ක් ගතවුවද ඔහු ජීවත්ව සිටියා නම් ගතවූ කාලයේදීත් ජනතාව ඔහටු පැළඳවූ ජනප්‍රියත්වයේ කිරුළ ඔහුටම පළඳවනු ඇත. මන්ද ඔහු තැබූ මිනිසත්කම මුසුවූ ජනප්‍රියත්වයේ කිරුළ පැළඳවිය හැකි සුදුස්සෙක් තවමත් බිහිවී ඇති බවක් අපට නොහැගෙන හෙයිනි.

 

විජය 4

තමාට සම්මානයක් නොලැබුණද හැම සම්මාන උළෙලකටම ගොස් තම සහෝදර ශිල්පීන්ගේ සම්මාන සතුට බෙදා ගන්නට තරම් නිහතමානී විය. විජය කවදාවත් තමා වෙනුවෙන් සටන් නොවැදුණු මිනිසෙකි. ඔහු හැම විටම අන් අයගේ යහපත යුක්තිය ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළේය.

1978 පෙබරවාරි 20 වැනිදා විජය කුමාරතුංගයන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග විවාහ ගිවිස ගත්තේය. පරිණත දේශපාලකයන් අභිබවා ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වූ ඔහුගේ මැදිහත්වීම කැපී පෙනුණ කරුණක් විය. කොටි අත්අඩංගුවේ සිටි හමුදා සෙබළුන් මුදවා ගැනීමට යාපා පටුනට ගිය විජයව උතුරේ ජනතාව උණුසුම් අන්දමින් පිළිගත්හ.

 

wije

 

1982 ජනාධිපතිවරණයේ ජේ. ආර්. ජයවර්ධන මහතාට විරුද්ධ බලවේගය ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතා මෙහෙය වීමේ වගකීම වැඩි ප‍්‍රමාණය කරට ගත්තේ විජයයි. පක්ෂයේම ඇතැමුන්ගේ කුමන්ත‍්‍රණ හා පාවාදීම්වලට මැදිවන්නට විය. 1982 ජනමත විචාරණයට පෙර රාජ්‍ය විරෝධී කි‍්‍රයාවල යෙදුණැයි ‘නැක්සලයිට්’ චෝදනාවක් මත එවක රජය විජය ඇතුළු පිරිසක් සිරගත කරනු ලැබීය.

සිනමා කර්මාන්තයේත් එහි නළු නිළියන් ඇතුළු සියලූ තරාතිරම්වල ශිල්පීන්ගේත් එකමුතුකම දැඩිව පැතූ විජය තම ජීවිතයෙන් ඊට ආදර්ශයක් දුන්නේය. ඔහු ඇතැම් චිත‍්‍රපටවල රගපෑවේ කිසිදු මුදලක් ලබා නොගෙනය. සිනමා කර්මාන්තයේ පැවැත්ම ඔහු බෙහෙවින්ම අගය කළේය. කිසියම් චිත‍්‍රපටයක් තම කලා ක්ෂේත‍්‍රයේ අයකු නිපදවී නම් මුදල් පවා නොගෙන විජය හැමවිටම ඊට ප‍්‍රමුඛතාව දුන්නේ කලාවේ ලෙන්ගතු සහෝදරත්වයට මුල්තැන දෙමිනි. ආර්ථික අතින් දුප්පත් කලාකරුවන්ට ඔහු තම පොකැට්ටුව දිගහැර ඇති හැකි අන්දමින් උපකාර කළේය.

 

විජය 7

 

මගේ යශෝධරා, විමුක්ති දරුවන් ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඔබේ පියා මළේ කොහොමද කියලා අහන වෙලාවක, ඔහු මළේ චිත‍්‍රපට ජවනිකාවක රඟපාද්දී පපුවේ අමාරුව හැදිලා කියල අහන්න ලැබේවා මම ප‍්‍රාර්ථනා කරන්නේ…. මේ රටේ දුක් විඳින ජනතාවට යහපත් හෙටක් උදා කරදෙන්න වැඩ කරල මා මළා කියන්න දරුවන්ට කියන්න දවසක් ලැබේවා…! කියලයි මම පතන්නේ… විජය වරෙක කීවේය. විජය කමාරතුංග නමැති දේශපාලකයාත්, කලාකරුවාත් ලාංකීය ජන හදවත් තුළ අමරණීය වන්නේ මේ හේතු නිසාය.