නිකිලේෂ් භට්ඨාචාර්යා මහාචාර්යතුමා මට මුණගැහුණේ ඉන්දියානු සංඛ්‍යාන ආයතනයේ දී.

ඒ වෙද්දි ගතවෙමින් තිබුණේ 2002 අවුරුද්ද. කොල්කතාවේ තියෙන ආයතන මූලස්ථානයේ දී තමයි එතුමා අපිට සම්භාවිතාව ඉගැන්නුවේ. පංතියේ දී දැන කියාගෙන හිටියත් ඒක ළඟ හැඳුනුම්කමක් බවට පත්වුණේ මාස කීපයකට පස්සේ පවත්වපු සාදයක දී.

ඒ වෙද්දි වයස හැත්තෑවකට කිට්ටු කරලා තිබුණු හින්දා අනිත් අය විනෝදවෙද්දි එතුමා පැත්තක තිබුණු ආසනයක වාඩිවෙලා හිටියා. ඒ අවසරයෙන් තමයි එතුමා ළඟට ගිහිල්ලා කතාකරන්න මට අවස්ථාවක් ලැබුණේ.

“තමුසේ ඉන්දියාව ගැන මොකද හිතන්නේ?” මහාචාර්යතුමා මගෙන් ඇහුවා.

“සුද්දෝ හදලා ගිය අලුත් රටක්නේ” මම කිව්වා.

“එතකොට මේ බෙංගාලය ගැන මොකද හිතන්නේ?” මහාචාර්යතුමා ආයෙත් ඇහුවා.

“මම කැමැතියි බංග්ලාදේශයයි මේ බටහිර බෙංගාලයයි එකතුවෙලා ආයෙත් බෙංගාලය හැදෙනවා නම්” කියලා මම උත්තර දුන්නා.

“තමුසේ කියන කතාව ඇත්ත. ඒත් ඒක මෑත කාලයේ වෙන්නේ නෑ. සමහර විට තව අවුරුදු සීයකට පස්සේ එහෙම වෙයි. ඒ වෙද්දි මමත් නෑ. තමුසෙත් නෑ. ඒ හින්දා දැන් ඒ ගැන වදවෙන්න ඕන නෑ. මේ තියෙන දේ පිළිඇරගෙන සතුටින් ඉන්නවා” මහාචාර්යතුමා මට අවවාදයක් දුන්නා.

ඊට පස්සේ අපි සුභාෂ් චන්ද්‍රභෝෂ් ගැන, කොල්කතාවේ මිනිස්සු ගැන කරුණු කාරණා ගොඩක් කතාකරලා කාලය ගෙවලා දැම්මා. ‍මේ කතාවෙන් පස්සේ අපි දෙන්නා අතර ළඟ හිතවත්කමක් ඇතිවුණා. ඉතින් ඊට පස්සේ කීප වතාවක්ම අපි දෙන්නා කතාබහ කරලා තියෙනවා.

ඒ කාලය වෙද්දි ඉන්දියාවේ අයට නිතර නිතර ලෝක රූපරාජිනි (Miss World) කිරුළ ලැබෙනවා. එක දවසක් සම්භාවිතාව පංතියේ දී ඒ ගැන කතාවක් ඇතිවුණා. “ආයෙත් ඉන්දියාවට මේ කිරුළ ලැබෙන්න තියෙන සම්භාවිතාව ගැන මොකද හිතන්නේ?” කියලා මහාචාර්යතුමා ඇහුවා. එක එක අය විවිධ උත්තර දුන්නා. “තමුසේ මොකද හිතන්නේ?” මහාචාර්යතුමා මගෙනුත් ඇහුවා. “ආයෙත් නිතර නිතර ලැබෙන එකක් නෑ. මේ වෙද්දි ළඟ ළඟ අවුරුදු හතරක් ම දුන්නානේ” මම කිව්වා.

“තමුසේ හිතන්නේ මේක හිතලා මතලා දෙන එකක් කියලා ද?” මහාචාර්යතුමා ආයෙත් ඇහුවා.

“මම හිතන්නේ එහෙම තමයි. වෙන මොකක් හරි අරමුණක් වෙනුවෙන් දෙන එකක්” මම උත්තර දුන්නා.

“මේ වැඩේ පටන්ගත්තේ අපේ ආර්ථික, දේශපාලන පැත්ත වෙනස්වෙන්න පටන්ගත්තාට පස්සේ. නරසිංහ රාඕ ඇවිල්ලා මේ රට වෙන පැත්තකට හැරෙව්වා. ඉතින් ඒකට දෙන සපෝට් එකක් විදිහට තමයි මේක කරන්නේ” මහාචාර්යතුමා පැහැදිළි කළා. “මේ බෙංගාලෙත් වෙනස්වෙනවා. ජ්‍යොති බාසු මළා. බුද්ධාදෙව්ගෙන් පස්සේ එන්නේ මමතා. ඒක වළක්වන්න බෑ” එතුමා තවත් විස්තර කිව්වා.

ඊට කලින් ඉන්දියාව අනුගමනය කළේ වමට බර, සෝවියට් දේශයට හිතවත් ප්‍රතිපත්තියක්. නරසිංහ රාඹ් අලුත් ගමනක් පටන්ගත්තා. අතල් බිහාරි වජ්පායි ඒ ගමන ඉස්සරහට මෙහෙයෙව්වා. හැබැයි ඒ වෙද්දිත් බෙංගාලය තිබුණේ කොමියුනිස්ට් පක්‍ෂයේ පාලනය යටතේ. ඒ පාලනය දුර්වලවෙමින් තියෙන බව භට්ඨාචාර්යා මහාචාර්යතුමා තේරුම් ඇරගෙන හිටියා. ඉතින් ඒ විදිහෙ සංක්‍රමණ කාලයක් තමයි ගතවෙමින් තිබුණේ.

“මේ වගේ සංක්‍රමණයකට මිනිස්සුන්ගේ මනස සූදානම්කරන්න ඕන. මෙහෙම නිතර නිතර අපේ අයට ඔටුණු පළන්දන කොට මිනිස්සු ඒ ගැන ආඩම්බරවෙන්න පටන්ගන්නවා. අලුත් වෙනස පැත්තට දන්නේ නැතුවම තල්ලුවෙනවා” මහාචාර්යතුමා පැහැදිළි කළා.

1994, 1997, 1999 සහ 2000 කියන අවුරුදු හතරේ ම ලෝක රූපරාජිනි කිරුණ ලැබුණේ ඉන්දියාවට. මෙහෙම දෙයක් වෙද්දි මිනිස්සුන්ගේ හිත් වෙනස්වෙනවා. තමන්ටත් ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා කියලා මිනිස්සු හිතන්න පටන්ගන්නවා. ජාත්‍යන්තරය කියන්නේ බටහිරට. ලෝක ජනගහනයෙන් සීයට හතළිහක් ම ඉන්නේ චීනයේ සහ ඉන්දියාවේ. ඒත් ඒ අය ජාත්‍යන්තරයට අයිති නෑ.

අපේ ජාත්‍යන්තරයට නම් ඉන්දියාවත් අයිතියි. එතකොට චීනය? “තුඃ විතරක්. ඒ මොකක්ද?” කියලා අපේ අය කියයි. ඉන්දියාවයි බටහිරයි යමක් පිළිගන්නවා නම් අපිට ඒ හොඳටම ඇති. පිළිගන්නවා කියලා නාට්‍යයක් පෙන්නුවත් ඇති. එතකොට අපිට ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා. උඩින් උඩින් අඩිය තියලා ඇවිදින්නත් අපිට හිතෙනවා.

 

ඉතින් මේක කියවලා මට බනින්න. එහෙම බනිද්දි පාවිච්චිකරන්න ඕන වචනය දන්නවා නේ ද? ඒ තමයි “කුහකයා” කියන අකුරු හතරේ වචනය.