ආගම් හා ධර්ම අතර වෙනස කුමක්ද? ආගමක්‌ යනු කිසියම් අධ්‍යාත්මවේදියෙක් විසින්

අධ්‍යාත්මික ධර්මතා විෂයකරගනිමින් පොදුවේ මනුෂ්‍ය වර්ගයා වෙත ඉදිරිපත් කරන ලද ශික්‍ෂාකාමී ජීවන මාර්ගෝපදේශයකටය.

එකී මගපෙන්වීම ඔස්සේ තම ජීවිත යහචර්යාවක් බවට පත්කරගැනීම එකී මාර්ගෝපදේශයන් හී ඒකායන පරමාර්ථය හෙවත් අග්‍ර පළය බවට පත් වේ. එහෙත්, ඒ වෙනුවට අදාළ ආචාරධර්ම කියාදුන් පුද්ගල චරිතය ප්‍රතිරූපයක් ලෙස වන්දනා කිරීමටත්, එකී ඉගැන්වීම් ලේඛනාරූඩ කොට විනය පිටකයක් ලෙසින් ඊට බය පක්‍ෂපාතී කරවීමටත්, එකී විනයකාරණා රැකීමට මුර දේවතාවුන් ලෙසින් පත්කරන්නාවූ සේනාවකට ගරු බුහුමන් දැක්වීමට පුරුදු - පුහුණු කිරීමටත් පමණක් ආගම නැමැති සංස්ථාව තුලින් ඉෂ්ඨවීම අද දවසේ අපට දක්නට ලැබෙන සුලබ සංසිද්ධියකි. ඒ අනුව, මිනිසුන් විසින් නිස්ච්ත විනය පටිපාටියකට අනුගත වී, "ආගමානුකූල වීම" තුලින් සමාජයේ සෙසු මිනිසුන්ගෙන් බෙදා -වෙන් කොට, කුළකගත කිරීමකට ලක්කරනු ලැබීම එකී ඛාන්ඩ කිරිමේ ආනුෂාංගික ප්‍රතිපලයයි. මෙය ඛේදවචකයක් දක්වා දිගු වන්නේ, පෙරකී ආනුෂාංගික ප්‍රතිපලය වර්තමානයේ ප්‍රමුඛ හා එකම ප්‍රතිපලය පත්ව තිබීම නිසාය. එනමුත්, ධර්මානුකූල වීම යනු , ආගමානුකූල වීමට වඩා වෙනස් තත්වයකි. ධර්මානුකූල වීම යනු නිශ්චිත වර්ගීකරණයකට නතු නොවී මිනිසුන් අධ්‍යාත්මික වශයෙන් පොහොසත්වීමකටය. එනිසා, ධර්මානුකූල වීම තුළ එසේ මිනිසුන් එකිනෙකා අතරේ විභේදනයක්, විතැන්කිරීමක් හෝ වර්ගීකාරණයක් පෙර පරිදී සිදුනොවේ. මන්ද යමෙක් ධර්මානුකූල වීමට "ආගම්" නැමැති න්‍යායන් හෝ ඊට අනුබද්ධ නිකායන් හෝ කුළක අදාළ නොවන බැවිනි.

 

ඉනෝකා 1

 

මෙය වඩාත් සරලව පැහැදිලි කරන්නේ නම්, "ආගමානුකූල" වීම යනු නිශ්චිත හා තීරණාත්මක ආගමික මතවාදයකට අනුව යමෙකුගේ හෝ යම් පුද්ගල කණ්ඩායමක ජීවිත හෝ ජීවන පැවැත්ම මෙල්ල කිරීමකි. එසේත් නැත්නම්, මෙහෙයවීමකි. ඒ අනුව, ස්වභාව ධර්මයා විසින් උපතේදී අප නිදහස් ජීවීන් ලෙසින් පරිසරයට මුදාහැරිනු ලැබූවත්, උත්පත්තියෙන් පසුව අපව වර්ගීකරණයකට, කුළකගතකිරීමකට නතු කිරීමෙන් පැහැදිලිව හකුළුවා තැබීමක් ආගමීකරණය තුලින් සිදුවේ. එසේම, නිදහස් හා විවෘත මනසක්‌ සහිතව ස්වාධීනව උපදින මිනිසා, තීරණාත්මක නීති -රීති -සම්ප්‍රදායන් - පිළිවෙත් තුලින් බාහිරව බැඳදමා, (රාජ්‍ය යන ආයතනය තුලින් කෙරෙන්නාවූ නෛතික, දේශපාලනික, ආර්ථික, සාමාජීය හා සoස්කෘතික බන්ධනයන්ට අමතරව) සුවිශේෂී හා අවශේෂී වශයෙන් වර්ගීකරණය කොට අනෙකාගෙන් වෙනකොට තැබීමක්‌ ආගමානුකූල වීම තුලින් සිදුකොට තිබේ.

එහෙත් සොබා දහමේ සෘතු නියාමයන් තුලින් පෙන්නුම් වන ජීවමය හා භෞතික වෙනස්කම් පරිද්දෙන්, අපට ඓන්ද්‍රීය වශයෙන් අපගේ ජීවන චක්‍රය තුලින් වටහා දෙන දුක - සතුට, පීඩාව - සහනය, රෝශය-ලබැඳියාව, එක්වීම -විතැන්වීම, වෛරය -කරුණාව, සටන්කිරීම - සමගිය, තරඟකිරීම - බෙදාගැනීම ආදී මිනිස් පැවතුම් හා භාවයන්ගේ නේකවිධ වර්ණ තුලින් නිරූපණය වන අතර, ඒවා අඳුර සහ ආලෝකය වශයෙන් මූලික කොටස් කිරීමකට ලක්කළ විට ඒ තුලින් අප වෙත සංඥා කරනු ලබන යහපත (Mindfulness) හා අයහපත (Evilness) අතර වෙනස වටහාගනිමින් අපට ධර්මානුකූල (Spiritual / Solomon) විය හැකිනම් (ආගමානුකූලවීම වෙනුවට) , එය මිනිස් සත්වයා වෙතින් සොබාදහම පෙරලා අපේක්ෂා කරන්නාවූ "වගකීම හා වගවීම" යන මූලික මානව ප්‍රතිපදාව ලෙසින් හඳුනාගන්නා "යහ -පැවැත්ම" බවට පත්වෙයි.

 

ඉනෝකා 3

"ආගම" නැමැති යදමින් අප බැඳ දමා "ආගමික ආයතන" නැමැති සිරගෙවල් තුළ අප සිරකරුවන් ලෙස සිරකර තැබීමෙන් අප අත්පත් කරගන්නා විමුක්තිය කුමක්ද?

එකී විනයගතකිරීම කිරීම මාංචු -යදම් තුලින් හෝ සිර ගෙවල් තුලින් සාක්ෂාත් කරගත නොහැකි යථාර්තයක්‌ වන බැවිනි. එහෙත්, එකී බැමි හා වැට පවුරු ඔබ්බෙහි ඇති නිදහස් ලෝකය තුළදී අනෙකාට හිරිහැරයක් නොවී, පිඩාවක් නොදී ජීවත් වීමේ ක්‍රමෝපාය අපට ධාර්මික ඉගැන්වීම් හා මගපෙන්වීම් ඔස්සේ අවබෝධකොට ගතහැකිවෙයි. ඒ සඳහා ඛාණ්ඩ හෝ කුළකගත කිරීමක්‌ අවශ්‍ය නොවේ. දුෂ්- සිතිවිලි වෙනුවට යහ-සිතිවිලිත්, මෝහාන්ධකාරය වෙනුවට ඥාණාලෝකයත් අපට වැළඳගන්නට හැකිනම්, ඒ තැන්හී ගෞතම බුදුන් සේම අඳුර තුලින් ආලෝකය සොයා යන මාවතේ මාර්ග සංඥා මිනිසා වෙත හෙලිදරව් කල අන් සියළු සියළු අධ්‍යාත්මික ශාස්තෘවරුන් ද අපට මුණ ගැසීමේ භාග්‍ය හිමිවනු ඇත.

එතැනදී, ඒ ඒ ආගමික ශාස්තෘවරයාගේ පිරිස් ලෙසින් අප බෙදා වෙන් කිරීමක් අවැසි නොවේ. අපගේ ඉලක්කය වන්නේ අඳුරෙන් ආලෝකය සොයා යන ගමනේ නිවැරදි ගමනාන්තයක් වෙත ළඟාවීමට නම්, ඒ සඳහා අපට පාර කියාදෙන ඕනෑම ගුරුවරයෙකුගෙන්, මාර්ගෝපදේශකයෙකු ගෙන් පාර අසා ගැනීම වරදක් විය නොහැකිය. මිනිසුන් විසින් එකිනෙකා සමග වාද කරමින් " මොහු තමයි නියම ගුරුවරයා " කියමින් ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨයා සෙවීමට තරඟ වැදුනත්, ඔවුන් එකිනෙකා අතරින් ප්‍රමුඛයා හෝ විශිෂ්ඨයා වීමේ තරඟයක් අදාළ ශාස්තෘවරුන් අතරේ නොමැති බව මිනිසා අවබෝධකර නොගනී. එමගින් වන්නේ අන්ධකාරයෙන් අප ආලෝකය සොයා යන දීර්ග වන්දනාවේ ශ්‍රේෂ්ඨයෙකු නම් කිරීමේ අරගලය නිසා අන් අය සමග දබර කරමින්, වාද කරමින් අපට ගමන අතරමග පමාකිරීමට සිදු වීම පමණකි. එහි ප්‍රතිපලය වන්නේ අපට වඩාත් පහසුවෙන් යා හැකි ගමනක්‌ , නිරපරාදේ අප විසින්ම දුෂ්කර කර ගැනීමක්‌ පමණි.

 

ඉනෝකා 6

 

මිනිසා ගමන්ගන්නා මෙම දීර්ග හා දුෂ්කර ජීවන චාරිකාවේ ගමනාන්තය තෙක් තමාට හමුවන ඕනෑම දක්‍ෂ ගුරුවරයෙකුගෙන් වුව ලබාගන්නා නිවැරදි ගුරු උපදෙස් තුලින් ජීවන ගමන් මග පිලිබඳව නිසි ආකාර අවබෝධයක්‌ ලබා ගැනීමට එවිට අපට හැකිවනු ඇත. නිදහස්, ස්වාධීන හා නිවහල් ලෙස උපදින මිනිසා, ආගම් නැමැති මාංචු රැගෙන සියතින් තම දෑතට විලංගු ලාගනිමින් සෙසු පිරිස් වෙතින් විතැන්විම වෙනුවට, එකිනෙකා සමග එක්ව පොදු ධාර්මික මගපෙන්වීම් ඔස්සේ ඒකාත්මික වීම තුලින්, වෙන් වෙන්ව අප මාර්ගය සොයා යන ගමන සෙසු සගයින් සමගින් එක්ව යන්නට තීන්දු කළහොත්, නිරායාසයෙන්ම එකී චාරිකාව ප්‍රතිපල ගැන්වෙනු නියතය. එහි අග්‍ර පළය වනු ඇත්තේ, මිනිසා යන "උත්තම" හෝ "අධිපති" ජීවියා ප්‍රමුඛ වීම වෙනුවට, හැඟීම්-දැනීම් ඇති විශ්වයේ සියළු ජීවි කොට්ඨාශ විෂයෙහි සංවේදී, කරුණාබර, සානුකම්පිත හා ආදරණීය බවක් පාරිසරිකව ජනනය වීමය. ඒවිට දරඳඩු ආගමික හස්ථ වෙනුවට මුදු මොලොක් ධාර්මික සිතිවිලි විසින් මිනිසා වඩා නිදහස්කාමී, ජීවමය හා ප්‍රීතිමත් සත්ව කොට්ඨාෂයක් බවට ඉදිරියේදී පරිනාමය වීම ආරම්භ වනු ඇත. ඒ තුළ සොබා දහම හා මිනිසා අතරත්, මිනිසා සහ මිනිසා අතරත් පවතින අනවරත ගැටුම මීට වඩා සාමකාමී ලෙස සමනය වී, වඩා කඩිනමින් මෝහාන්ධකාරය වෙතින් ඥාණාලෝකය වෙත මිනිස් වර්ගයා ගමන්ගැනීම අපට ඓතිහාසික වශයෙන් අත්දැකීමට හැකිවනු නොඅනුමානය.

නවතම ලිපි