මට සම්බන්ධ වෙන දේවල් ගැන වගේම මට සාමයෙන් ඉන්න නොදෙන දේවල් ගැන ලියන්න මම බැඳිලා ඉන්නවා. - හර්තා මුලර්

රුමේනියාවේ උපත ලද හර්තා මුලර් වර්ෂ 2009 ඔක්තෝම්බර් 08 වෙනිදා සාහිත්‍ය උදෙසා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලැබුවේ 1999 වසරේදීය. ජර්මානු බස කතාකරන රුමේනියාවේ සුළුතර ජන කණ්ඩායමකට අයත් වූ මුලර් නිකොලායි සියුස්කු ගේ ඒකාධිපති පාලනය යටතේ ජීවත් වූ අතර අවසානයේදී ඉන් මිදී ජර්මනියට පළා ගියාය. ඇගේ ලේඛන දිවියට මෙම ඒකාධිපති පාලනය සහ ඔවුන්ගේ රහස් පොලීසිය බලපෑ අන්දම ඇය මෙම සම්මුඛ සාකච්ඡාවේදී විස්තර කර තිබිණි. ඇයගේ The Passport යන කෘතිය පමණක් සිංහලට පරිවර්තනය වී ඇත. එය චූලානන්ද සමරනායකයන් විසින් “පිටුවහල්වීම” ලෙසත් සජීවනී කස්තුරිආරච්චි “දඩබිමක සිරගතව” යනුවෙනුත් පරිවර්තනය කර ඇත.

 

hartha 4

 

ඔබේ නවකතා හැම එකකම පොදු දෙයක් තියෙනවා. ඒ හැම එකක්ම රුමේනියාව පාදක කරගෙන ලියවුණ ඒවා. මේක විරුද්ධාභාසයක්ද නැතිනම් ජර්මන් ප්‍රකාශකයනුත් මේ විස්තරය අවධානයට ලක්කරලා තියෙනව. මේ ලෝක දෙක ගැන ඔබට පැහැදිලි කිරීමක් තියෙනවද?

නැහැ. මට අනුව නම් මේක හරිම ස්වභාවිකයි. මම ඉපදුණේ රුමේනියාවේ, හැදුනෙ වැඩුනෙ රුමේනියාවේ, ඒ වගේම වයස අවුරුදු 32 වෙනතන් මම ජීවත් වුණේ එහේ. මම රුමේනියාවෙන් පිටත් වෙලා ආවේ ඒ මොහොතේ තිබුණ සංකීර්න මානසික තත්වයක් එක්ක. මම මගේ මුල්ම පොත් ලිව්වේ රුමේනියාවෙදි. ජර්මානු බනත් ප්‍රදේශය ගැන මම කුඩා කාලෙදි දැකපු විදිය ගැන ලියපු මගේ පළවෙනි පොත "Niederungen" ["Lowlands"]. ඒ පොතේ වගේම අනිත් හැම පොතකම කේන්ද්‍රීය මාතෘකාව ඒකාධිපතිවාදය. මම වෙන මුකුත් දැනගෙන හිටියෙ නැහැ. වෙන මුකුත් දැකල තිබුණෙත් නැහැ. ඒ වගේම මම දිගටම ඒ මාතෘකාව ගැනම ලිව්වා. ලෝකෙ පුරා එහෙම සාහිත්‍යයක්, යම් විදියක චරිතාපදාන සාහිත්‍යයක්, ආන්තික සිදුවීම් එක්ක සමාන්තරව යන, ලේඛකයන්ගේ ජීවිතය එක්ක සමාන්තරව යන සාහිත්‍යයක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.උදාහරණයක් කිව්වොත් 1950 ගණන් වලදී නැගෙනහිර යුරෝපෙ ගුලාග් නිශ්චිත ආකාරවලින් ඒ බව පෙන්වනවා. නැතිනම් ඇත්තටම කිව්වොත් කම්කරු කඳවුරු. ඊට පස්සේ අපිට එනවා ජාතික-සමාජවාදී යුගය, හිට්ලර්ගේ කාලය, යුදෙව්වන් සමූල ඝාතනය, බහුතරයක් ලේඛකයො තමන්ගෙම චරිතාපදානවලට සමාන්තරව මේවා විස්තර කරලා තියෙනවා. මම හිතනවා මේ වගේ සාහිත්‍යයක් කියුබාවෙ ඉඳලා චීනය දක්වා හැම අතකම පවතිනවා කියලා.

 

hartha 2

 

එහෙනම් පාඨකයෙක්ට වඩා වැදගත් වන්නේ භූගෝලීය කාරණාව නෙමෙයි?

නැහැ. මම හිතන්නෙ නැහැ භූගෝලීය දර්ශනය වැදගත් කියල. ඒ භූමි දර්ශනය හරි පරිසරය හරි අවශ්‍යයි. මම ජීවත් වුණ භූ දර්ශනයට වඩා එකක් කොහොමත් මට නැහැ නේ. අධිපතිවාදි සමාජයක හෝ ක්‍රමයක මනුෂ්‍යයෙක්ට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක මගේ ලිඛිත චරිත පරාවර්තනය කරනවා. මම හිතන්නේ මේක මම තෝරගත්තු මාතෘකාවක් නෙමෙයි, මගේ ජීවිතේ විසින් මට තෝරල දුන්න එකක්. මට ඒ නිදහස් තෝරාගැනීම නැහැ. මට කියන්න බැහැ ‘මට ඒ දේ ගැන ලියන්න ඕන කියල හරි අනිත් දේ ගැන ලියන්න ඕන කියල හරි.’ මට සම්බන්ධ වෙන දේවල් ගැන වගේම මට සාමයෙන් ඉන්න නොදෙන දේවල් ගැන ලියන්න මම බැඳිලා ඉන්නවා.

ඔබ ඉපදුණේ 1950 දශකයේ මුල භාගයේ නිරිත දිග රුමේනියාවේ බනත් පළාතේ.

ඔව්, 1953, ස්ටාලින් මැරුණ අවුරුද්දේ...නැත්නම් ඔහුගේ භෞතික ශරීරය මිය ගිහින් අවසන් වුණ අවුරුද්දේ. මොකද ඔහුගේ අදහස් ඊට වඩා කාලයක් පැවතුණා නේද?

 

hartha 5

 

 

ඒවා අදටත් පවතිනවද?

ඔව් ඇත්තටම, මම හිතනවා ඒවා තවමත් පවතිනවා කියලා. බොහෝමයක් පුද්ගලයන් ඇතුළෙ. අඩුම තරමින් ඒ අදහස්වල ඉතිරිය හරි. සමහරවිට ඒ කාලේ වගේ ඔහුගේ මුළු න්‍යායම දකින්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් කොටස්... ඒ මොසයික් එකේ ගල් තවමත් ඉතුරුවෙලා තියෙනවා, නේද?

ඔබ මේ මෑතකදි, මේ සතියෙදි පවා ප්‍රකාශයට පත් කළා ස්ලොබොඩාන් මිලොසවිච් සහ සර්බියාව ගැන "Der Spiegel, කියලා ලිපියක්.

ඇත්තටම ඒක ලිපියක් නෙමෙයි, බොහෝ අය මගෙන් ප්‍රශ්න කළා...මගෙන් ඇහුවා කොසොවො වල යුද්ධෙ ගැන. මීට කලින් මම ඒ ගැන කතාකරලා තියෙනවා. බොස්නියාවේ, ක්‍රොඒෂියාවෙ කලින් තිබ්බ යුද්ධ ගැන. ඒ වෙලාවල පවා මම හිටියෙ බටහිර හමුදා මැදිහත්වීමකට කැමැත්තෙන්. ඒ කාලෙදි මිලොසොවිච් පසුබහින එකක් නැහැ කියලා මම විශ්වාස කළා. යම් භාහිර බලයකින් ඔහුව පස්සට ඇදදැමිය යුතුව තිබුණා. කොසෝවො ගැනත් මම දැන් හිතන්නේ එහෙමයි. මේ පුද්ගලයා තුන්වෙනි යුද්ධෙත්, සමහරවිට හතරවෙනි එක පටන් ගනියි කියන කාරණය මාව සාහසික කරවනවා. ස්ලෝවේනියාව ගැන අපි කතා කළොත් තමන් යන හැමතැනකම අලුත් මිනීවලවල් ඉතුරු කරන පුද්ගලයෙක් සහ 1989න් පස්සේ නැගෙනහිර යුරෝපෙ අනිත් රටවල් වලට වඩා වෙනස් දිශාවකට තමන්ගේ රට ගෙනියන පුද්ගලයෙක්. මම හිතන්නේ ආපහු එන්න බැරි තැනකට ඔහු ගිහින් තියෙනවා. ඔහු යුද්ධ තුනක් පැරදුණා. දැන් ඔහුට කොසෝවෝවල හතරවෙනි එක දිනන්න අවශ්‍යයි. මේකෙන් පස්සෙ ඔහුගෙ ලැයිස්තුවේ අනිවාර්යයෙන්ම මොන්ටෙනීග්‍රෝ ඇති. කවුරුහරි ඔහුව නැවැත්තුවේ නැත්නම් ඔහුගෙ ඊළඟ වැඩේ වෙන්නේ ඒක. ස්ටාලින්වාදියෙක් කියලා මම විශ්වාස කරන මේ පුද්ගලයා එහෙම කරයි කියලා මට විශ්වාසයි.

 

hartha 3

 

 

වාර්ගික මොසයිකය

මගේ ප්‍රශ්නය හරහා මම උත්සාහ කරනවා ඔබව නැවතත් ඔබ උපත ලද බනත් පළාතට අරගෙන යන්න. එතන බහු ජනවාර්ගිකත්වයක් පැවතුන තැනක්. එතන ජර්මානු, සර්බියානු, රුමේනියානු, හංගේරියානු ජනතාව හිටියා. එය වාර්ගික ගැටුමකින් තොර මොසයිකයක් මගේ මතකය නිවැරදි නම්.

මම හිතන්නෙ බනත් වල ගැටුමක් තිබුණා. ඒත් කතාවට කිව්වොත් “සාමාන්‍ය මට්ටමින්” ඒත් පස්සෙ එතන හැම සමාජයකම. හැම ජාතියකම මිනිස්සු අතරෙ ගැටුමක් තිබුණා. ගැඹුරටම ගියොත් අපි හැමෝටම ගැටුමක් ඕන. අපේ අසල්වැසියො එක්ක, එකට වැඩ කරන අය එක්ක, අඹු සැමියො එක්ක, මම විශ්වාස කරන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මම හිතන්නෙ ඔබ සඳහන් කල ජාතික සුළුතරත්වය රුමේනියානුවන් එක්ක එකට ජීවත් වුණේ නැහැ. ඒ අය ඔවුන් සමඟ එකම අවකාශයක් ජීවත් වුණා. මෙය මාව නැවතත් දශකයකට විතර කලින් ජර්මනියේ ජනප්‍රිය වෙච්ච බහු සංස්කෘතිකත්ව න්‍යායට අරගෙන යනවා. සමහර විට ඒක තවමත් ජනප්‍රිය ඇති... එයින් කියන්නේ අපි හැමෝම එකකට දියවෙලා, එක ඒකකයක් බවට පත්වෙන්න ඕන කියන එක. ඒත් ඒක සිද්ධ වෙන්නෙ නැහැ.

ඒ වගේම ඔබ ජර්මනියට එන්නෙ “සමජාතීත්වය” මුරපදය වුණ සියුස්කුගේ රුමේනියාවේ ඉඳලා.

හරියට හරි. ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල මම දැනගෙන හිටියා. මගේ අදහස සොබාවික විදිය නම් හැම සමූහයක්ම අනිත් සමූහයට යාබදව සාමයෙන් ජීවත් වෙන්න ඕන. හැම රටක්ම එක රටක් විදියට දියකරන්න කිසිම විදියක් නැහැ. හැම පෞරාණික සංස්කෘතියක්ම එකකට දියකරන්න ක්‍රමයක් නැහැ. සරලවම ඒක වැඩකරන්නෙ නැහැ. තිමිසොයාරාවෙ (බනත් වල ප්‍රධාන නගරය) වීදිවල කෙනෙක්ට හැම විදියකම භාෂා අහන්න පුළුවන්. රුමේනියන්, ජර්මන්, සර්බියන්, හංගේරියන් රොමානි. එහෙම තමයි ඒක සිද්ධ වුණේ සහ එහෙම තමයි ඒක සිද්ධ විය යුතු. කවුරුවත් තමන්ගේ සංස්කෘතිය සැඟවිය යුතු නැහැ. මෙහෙම කිව්වොත්, මම කෝච්චියෙදි රුමේනියන් භාෂාවෙන් කතා කළොත් ඕන කෙනෙක් දන්නවා මම ජර්මන් හරි හංගේරියන් හරි කියලා. මොකද මගේ උච්ඡාරණය නිසා. ඒ කාලෙ මම රුමේනියන් භාෂාවේ ව්‍යාකරණ වැරදි කළේ නැහැ. දැන්නම් නිතරම සිද්ධ වෙනවා මොකද භාවිතය අඩු නිසා.

 

BERLIN - OCTOBER 08:  German writer Herta Mueller looks on during a press conference on October 8, 2009 in Berlin, Germany. 56-year-old Romanian-born German writer Herta Mueller won the 2009 Nobel Prize in literature Thursday, honored for work that 'with the concentration of poetry and the frankness of prose, depicts the landscape of the dispossessed,' the Swedish Academy said.  (Photo by Andreas Rentz/Getty Images)

 

 

කම්කරු කඳවුරු

පන්නා දැමීම්, පිටුවහල් කිරීම් වලින් පස්සේ ඔබ කුඩා කාලෙදි බනත් වල ජර්මානු සමාජය කොහොමද?

මම ඉපදුණේ 1953 දී. මගේ පවුලෙන් මට මතක විදියට මගේ සීයා ඒ කාලේ ඉඩම් හිමියෙක්. විශ්ව විද්‍යාලයට අයදුම් කරනකොට අයදුම්පත්වල මට ලියන්න සිද්ධ වුණේ එහෙම. එයා ධාන්‍ය වෙළඳාම් කළා. ඉතින් ඔහුට ලොකු ධනයක් තිබුණා. ඔහුගෙ පවුලෙ සාමාජිකයො දහයකට වඩා අඩුවුණේ නම් නැහැ. ඔහුගෙ දෙමව්පියො ඒ ගැන වදවුණා කියලා ඔහුට මතකයි. “තවත් ළමයි ලැබුණොත් අපි මොකද කරන්නේ? කොහොමද උංට කන්න දෙන්නෙ?” මගේ සීයා උපතින් ධනවතෙක් නෙමෙයි. සරලවම ඔහු මහන්සි වෙලා වැඩ කළා. ඔහු ගොවියෙක් විදියට ඉපදුණා. ගොවියෙක් විදියටම ජීවත් වුණා. මගේ සීයයි, ආච්චියි ඔවුන්ගේ විදිය කොහෙත්ම වෙනස් කළේ නැහැ. ඒගොල්ලො කවදාවත් නිවාඩුවක් ගත්තෙ නැහැ. කොහේවත් සංචාරය කළේ නැහැ. සල්ලි ඉතුරු වුණොත් ඔවුන් තවත් ඉඩම් මිලට ගන්න ඒව පාවිච්චි කළා.

ගොවියො කොහොමත් නිතර විනෝද සංචාර යන්නෙ නැහැ නේද?

හරියට හරි. මගේ ආත්තම්මා එළිය වැටුණ වෙලේ ඉඳන් අඳුර වැටෙනකම් වැඩ කළා එයාට තවදුරටත් හිටන් ඉන්න බැරි වෙනකම්...ඊටපස්සේ ඔවුන්ට ගොඩක් මුදල් සහ ඉඩම් ලැබුණා. ඔවුන් තමන් කළ යුතුව තිබුණ දේ කළා. ඒත් 1945න් පස්සේ සේරම නැතිවුණා. ඉඩම් සමූහ ගොවිපළකට ගත්තා. මගේ අම්මව සෝවියට් රුසියාවට පිටුවහල් කළා. ඇය අවුරුදු පහක් කම්කරු කඳවුරක ගතකරලා, හිට්ලර්ගේ ක්‍රියාවල ‘සාමුහික වරදකාරීත්වයේ’ වන්දිය ගෙවලා ආපහු ආවා. ඔවුන් ඒකට කිව්වේ නැවත ගොඩනැගීමේ කාර්යය කියලා. මගේ සීයට කවදාවත් මේ වෙනස්වීම දරාගන්න බැරි වුණා. ඔහු දැන් දුප්පතෙක්. ඔහුට දැන් කලින් කළා වගේ කරණවෑමිය ළඟට ගිහින් සතියට තුන්පාරක් රැවුල බාගන්න බෑ. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඔයාට තේරෙනවද. ඒක එයාගෙ සමාජ ජීවිතය. ඔහු එතනට ගිහින් තමන්ගේ සමවයස් මිතුරන් මුණගැහෙන්න පුරුදු වෙලා හිටියා. ඒක ඔහුට අතරින්න බල කරපු චාරිත්‍රයක්. ඔහුට සිද්ධවුණ දේ සමාජීය පහතට දැමීමක්. කිසිදාක සමාජවාදය පිළිනොගතතු මගේ සීයා සහ සමස්ථ සීයලාගේ පරම්පරාව අලුත් රෙජීමය විසින් නෙරපා හැරියා. ඉන්පස්සෙ මගේ අම්ම සෝවියට් රුසියාවෙ කඳවුරක මරණය සහ අහේනිය දැක දැක අවුරුදු පහක් ගෙවල ආවා.

ඔබ දන්නවද ඔවුන් ඔබේ මව යවපු පළාත.

මම හිතන්නෙ ඒක යෙකතර්න්බර්ග් පළාත. ඇය වැඩකරලා තිබුණෙ ඉදිරිකිරීම් වැඩපළක. ඒ ළඟම මිනිරන් පතල් තිබිල තියෙනවා. ඒක හමුදා පන්නයේ කඳවුරක්. ඔවුන් පූර්ණ පාලනය යටතේ ඉඳල තියෙන්නෙ. ඔවුන් බඩගින්නෙ ඉඳල තියෙන්නෙ. දරුණු බඩගින්නක. බහුතරයක් සිරකරුවො බඩගින්න නිසා මැරිල තියෙනවා.

එවකට ඔබේ මවගෙ වයස කීයද?

ඔවුන් ඇයව අරගෙන යනවිට ඇගේ වයස 17. මුලින්ම ඇය සැඟවිලා ඉඳල තියෙනවා. ඒත් හැමකෙනෙක්ම හැමෝවම දන්න, බලධාරීන් පවා හැමෝවම දන්න ගමක, එහෙම හැංගිලා ඉන්න බැහැ. ඔවුන් මගේ සීයටයි ආච්චිටයි තර්ජනය කළා මගේ අම්මව ඉදිරිපත් කළේ නැත්නම් ඒ අයව අරන් යන බවට. මගේ අම්මට ඒක ආරංචි වෙලා ඇය ඇවිත් ඉදිරිපත් වෙලා තිබුණා.

එහෙනම් ඔබේ මව ඇගේ වයස අවුරුදු 17 සිට 22 දක්වා ගත කලේ කම්කරු කඳවුරක?

ඔව්. මේ සිදුවීම් සියල්ලම මගේ ළමාවිය විනිවිද ගියා. ඒ වගේම මගේ විතරක් නෙමෙයි, මේ වගේ දේවල් ගොඩක් පවුල් වලට සිද්ධ වුණා. මුළු ගම්මානයටම. රුමේනියාවේ හිටපු ජර්මන් ජනතාවටම. කුඩා ළමයෙක්ව ඉද්දි කෙනෙක් දේශපාලනිකව හිතන්නෙ නැහැ. ඔබ වටේ සිද්ධ වෙන දේවල් ගැන ඔබට සංකල්පනා හෝ වචන නැහැ. ඒත් වචනවලට වඩා වෙනස් විදි තියෙනවා ඒවා පටිගත කරන්න. අපේ චර්යාවන් සංකීර්ණයි, ඒවා වචන වලට වඩා ඉදිරියෙන් තියෙන්නෙ. ඉතින් මම ගොඩක් දේවල් අවශෝෂණය කරගත්තා. මට පීඩනයක් දැනුණා. මට ඒ දෙය දැනුණා. මම දන්නෙ නැහැ මොකක්ද කියලා..ඒක අතිශයින් නරකයි වගේම ප්‍රතිපක්ෂයි.

@ සිංහල පරිවර්තනය - රශ්මික මණ්ඩාවල

නවතම ලිපි