ඔබේ පරම්පරාවට විප්ලවය කියනඑක දැනෙන්නේ කොහොමද .?

එක්තරා විදිහක කවි ලියන මගේ මිතුරෙකුගෙන් මම එසේ ඇසුවෙමි. ඔහු පෙරලා එයට උත්තර දෙන ලද්දේ . ඔබ මගේ කවි කියවන්න, එතකොට ඔබට මාගේ විප්ලවීය අදහස් දැනේවි යන්නයි.

පහුගිය තද අනෝරා වැස්සට මුළු කුඹුරම හෝදාගන ගිය ගොවි මහතෙකු ගැන ඔහු කවියක් ලියා තිබෙනු මම වරක් දුටුමි . එහි සටහනව තිබුනේ , වැපුරු ශ්‍රමය අකල් වැස්ස විසින් උදුරාගත් නිසා , ගොවියාගේ ලෝකය බිඳ වැටීමත්, ඔහුගේ අසරණ කමත්, කුඹුරේ තිබූ සශ්‍රීක බවත්, කුණාටුව විසින් පැහැරගත් ආකාරයත්ය.

farmer 1

කවියේ අවසන මඩ සෝදා හැර, රජෙකු සේ මගුල් කඩුවගෙන , කුණාටුව රැගෙන ආ වැස්ස සමග යුධ වදින ලෙස ඔහු ගොවියාගෙන් ඉල්ලයි .

ගොවියා පිළිබඳ වූ සම්ප්‍රධායික විප්ලවීය සංකල්පය කුමක් ද ?

" මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය ... " යන්නයි.

ඉතා ආවේගශීලීව, නමුත් නිර්මාණශිලිව ඔහු නිර්මාණය තුළ ඒ විප්ලවීය සම්ප්‍රධාය මහත් සේ ගොවියාගෙන් ඉල්ලා සිටී.

(කවිය විචාරය කිරීම මගේ අරමුණ නොවන බැවින් සම්පුර්ණ කවිය මෙහි දැක්වීම අවශ්‍යය නොවන බව විස්වාස කරමි)

කවියාට දැනුණු අත්දැකීමක් බැවින්, ඔහුගේ ද උදව් ඇතුව, මම එම නිර්මාණයට ගෝචර වූ සිද්ධිය සොයා අදාල ගොවියාත් , කුඹුරත් සොයා ගියෙමි. මම ගොවි මහතා හමුවන විට ඔහු මහත් පරිශ්‍රමයකින් නැවත කුඹුර ගොඩනගා තිබෙනු දුටිමි.

farmer 4

මම ගොවියගෙන් එක් ප්‍රශ්නයක් පෙරලා ඇසුවෙමි .........

“ඔබට වූ නස්පැත්තියට, ඔබ වැස්සට වෛර කරනවද?”

“අපෝ මහත්තයෝ වැස්සට වෛර කරල කොහොමද අපි? අනික සෝදාගෙන ගිය පසට වඩා , සෝදාගෙන ආපු පස බොහොම සරු පසක් නොවැ”

එසේනම් වැස්සට වෛරකරන්නේ ඇත්තටම ගොවියා නොව, කවියාය. මම ගොවි මහතාගෙන් විප්ලවයක් යන්න නොඅසාම එතනින් නික්මුණෙමි.

farmer 5

එනයින් යමෙකු අනතුරක් හදුනාගැනීම සහ අනතුරකට මුහුණදීම දෙයාකාර බව පැහැදිලිය. විප්ලවීය අදහසක් දැරීම සහ විප්ලවයට මුහුණදීම යන්න ද දෙයාකාර බව හැදින ගතිමි.

එසේ නම් මාගේ මිත්‍රයාගේ කවි සිතුවිල්ල තුළ මට හමුවන විප්ලවීය අදහස සහ ගොවි මහතා විසින් (නැවත තම ශ්‍රමය වපුරා) කුඹුර ගොඩනැගීම සදහා සිදුකර ඇති ක්‍රියාවලියත් , භාවිතයත් තුළ ඇති සත්‍යතාවය කුමක්ද...?

ගොවියා අත්දුටු පීඩනයම ඔහු භාවිතයක් කොටගෙන විසඳුමක් ලෙස එය මුදාහැර ඇතිබව නොවෙද?  ආවේගශීලී නොවන තත්වයන්  තුල සිට ඔහු පීඩනයට මහත් සංයමයෙන් මුහුණදී ඇති බව නොවෙද?

farmer 3

මෙම සිද්ධි දෙක තුල සැබෑ අරගලය සහ විප්ලවය පවතින්නේ කොතනද යන්න පැහැදිලිය.

නූතන විප්ලවීය අදහස් යනු හුදෙක්ම, සාහිත්‍යය සහ අතිශෝක්තියක් පමණි.

යමෙකුට පීඩනය යනු ආශිර්වාදයක් වන විට තවත් යමෙකුට එය ආවේගශීලී ප්‍රකාශනයකි. ෆැන්ටසියකි.

නමුත් තවෙකෙකුට සැබෑ විප්ලවය යනු පීඩනය තුලින් ලත් ආශිර්වාදයකි.

 

@ අමිල ජයකොඩි

නවතම ලිපි