‘මම ඉපදෙන කොට එදා මගේ අම්මාගේ මුළු ලෝකයම කඩාවැටුණාලු.

උපතින්ම වම් අතේ වැලමිටෙන් පහළ නොතිබුණු මාව දැකපු ගමේ හැම කෙනාම පැත්තකට වෙලා කුසු කුසු ගෑවත් අතක් නැති මාව මගේ තාත්තා දැක්කේ රෝස මලක් වගේලු. අම්මාගේ ඇස්වලින් කඳුළු කඩාවැටුණත් අත නැති මාව දැක්කම මගේ තාත්තාට ආඩම්බරකාර හිනාවක් ඇති වුණාලු.

ඒත් ටිකෙන් ටික ලොකු වෙද්දී මම සමාජය එක්ක ගැටෙන කොට මගේ අයියලා, අක්කලා, නංගිලා දිහා බලලා මට අහිමි අත ගැන හිත හිත අඬපු වාර අනන්තයි. මගේ ආබාධිතකම එක්ක මිනිස්සු මං දිහා හැරි හැරී බලනකොට ඒ පීඩාවත් දරාගන්න බැරුව මානසිකව කඩාවැටුණු අවස්ථා අප්‍රමාණයි. ගොඩක් දේවල් දරාගන්න බැරුව මම සෑහෙන්න අඬලා තියෙනවා.

 

ඉන්දුමතී ඒත් අතක් නොමැති වීම ජීවිතය ජයගන්න බාධාවක් නෙමෙයි කියලා හැම වෙලාවෙම මට කියලා දුන්නේ හිත හැදුවේ මගේ තාත්තා. අනිත් අය වගේම හැම වැඩක්ම කරන්න මට පුරුදු කරේ මගේ තාත්තා. ටිකෙන් ටික මගේ ජීවිතේ ධනාත්මකව ගොඩනැගුවේ මගේ රත්තරන් තාත්තා.


මිනිස් ජීවිතය වෙත එල්ල වෙන තාඩන, පීඩන, ප්‍රතික්ෂේප වීම් හමුවේ, ජීවිතයේ පරාජය වෙන බොහෝ දෙනා අතර දෛවය වෙනස් කරගන්නට තනන කාන්තාවන් අප ඕනෑ තරම් දැක ඇත. උපතින්ම අතක් අහිමි වුවත් උත්සාහයෙන් දිරිය ශක්තියෙන් දෛවය වෙනස් කරගනිමින් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා භූමිය ලෝකය පුරා රනින් බැබළවූ දිරිය දියණියක වෙනුවෙන් ලක්බිමේ නම තැබූ දියණියෝ තුළින් මෙවරත් අප ඉඩකඩ වෙන්කළෙමු.


ඇය නම් අහිමි වීම් තුළ ජීවිතය හිමිකරගත් ඉන්ද්‍රඛීලය, පැරා ඔලිම්පික් ගිය පළමු ලාංකික කාන්තාව ඉන්දුමතී කරුණාතිලකයි.

 

ඉන්දුමතී 123‘වියළි සුළඟත් සමඟ අව්කාෂ්ඨකය ඉවසන්න බැරිතරමට පිච්චෙන ඉතාම දුෂ්කර මොනරාගල පොල්ගහගම ග්‍රාමයේ සාමාන්‍ය පවුලක සහෝදරියන් තිදෙනකුට සහ සහෝදරයකුට මැදිව පවුලේ දෙවැනියා ලෙස උපන් ඉන්දුමතී සිප්සතර හදාරන්නේ මොනරාගල මාරිඅරාව විද්‍යාලයෙන්ය. පාසල් වියේ පටන් විවිධ ක්‍රීඩාවන්ට සහ දිවීමට උපන් හපන් කී ඇය උපතින්ම අතක් අහිමි වූ ආබාධිත තත්ත්වය නිසාම ජීවිතේ බොහෝ අවස්ථා අහිමි වීම්, කඩා වැටීම් ඇයට දරන්නට සිදුවිය.

 

කුඩා කල සිටම ජීවිතේ මහමෙරක් තරම් දුක් ඉහිලූ ඇය ආත්ම විශ්වාසය හා ධෛර්යය ගැහැනියක ලෙස අද ඇය ලෝකය පුරා දිවගොස් හමාරය. අතපය සියල්ල සම්පූර්ණ බොහෝ දෙනාට ඉන්දුමතී මහත් ආදර්ශයකි. එදා අතක් අහිමිව මොනරාගල දුප්පත් පැලක ඉපදුණු ඇය අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරා ඔලිම්පික් තරගයක් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාවයි.


මහා දුක් ගංගාවක් උහුලමින් කටුක මාර්ගයක පැමිණ ලෝකය දිනූ ඇය සිය මතකය අවධි කළේ මෙසේය.


“පුංචි කාලේ මගේ අත නැති වීමත් එක්ක සමහරු මං දිහා බැලුවේ සමච්චලේට. එතකොට මට වඩා ඇඬුවේ මගේ අම්මා. මම ඉස්කෝලේ යන්න පටන් ගත්තම හුඟාක් ප්‍රශ්නවලට මූණ දෙන්න වුණා. තනි අතකින් වැඩ කරන්න ටිකෙන් ටික හුරුවෙමින් හැමදේම තනියම කරගන්න මට හුරු කළේ තාත්තා. මම මනසින් කඩාවැටෙන වෙලාවට තාත්තා නිතරම කිව්වේ ඔයා කවදාහරි ලෝකය කතාවෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. මම ඒ වෙලාවට හිනා වෙනවා, දුප්පත් අපට කවදා සැපක් ලැබෙයිද තාත්තේ කියලා.”


මගේ අත නැහැ කියලා මගේ අක්කලා නංගිලා ගෙදර දොරේ වැඩකරන කොට පැත්තකට වෙලා බලා ඉඳලා නැහැ. ඉඳල, කොස්ස, උදැල්ල මාත් තනි අතට ගත්තා. පාසලේදී වුණත් එහෙමයි.

 

 

පැරො ඔලිම්පික්



අධ්‍යාපනය පැත්තෙන් මට ඉගෙන ගන්න වාසනාව ලැබුණේ සාමාන්‍ය පෙළ පන්තියට විතරයි. ගෙදර තිබුණ ආර්ථික අපහසුතා එක්ක උසස්පෙළ ගැන හිතුවෙත් නැහැ. මගේ අම්මටයි, තාත්තටයි ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. අපට සල්ලි, සැප සම්පත් නොතිබුණාට මැටිගෙදර ඇතුළේ අපි හරිම සතුටින් තමයි ජීවත් වුණේ. අම්මයි තාත්තයි උක්ගස් කපලා තමයි අපිව ජීවත් කළේ. ඉස්සර මමත් ඉස්කෝලේ ගිහින් ඇවිත් යනවා අම්මලා එක්ක උක්ගස් මිට බඳින්න. ගෙදර ආර්ථික අපහසුතා කොච්චර තිබුණ ද කියනවා නම් මට මතකයි ඒ කාලේ සිංහල අවුරුද්දට අලුත් ඇඳුමක් අරන් දෙන්නවත් අම්මටයි, තාත්තටයි ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ.

මම පාසලේ ජවය හා පිටිය තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණය ලැබුවත් ගෙදර තිබුණු ආර්ථික ප්‍රශ්න එක්ක මට ඕනෑ වුණේ සාමාන්‍ය පෙළින් පස්සේ රැකියාවක් කරන්න....’

“පුතේ හෙට මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආබාධිත අයට මොකක්දෝ රැස්වීමක් තියෙනවා. මගේ පුතා ඒකට යන්න ලෑස්තිවෙන්නකෝ. මම එක්ක යන්නම්” කී විට ඉන්දුමතීගේ හිසේ මල්පිපුනාක් මෙන් විය.

එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියහම ආබාධිත මහත්තයෙක් ඇවිල්ලා තමයි අපිව දැනුම්වත් කළේ. ඔහු තමයි මගේ ජීවිතේ මුණගැහුණු දෙවැනි පියා, ප්‍රේමදාස සර්. එදා ප්‍රේමදාස සර් කියපු දේවල් මම ඇසිපිය නොහෙළා අහගෙන හිටියා. මාත් එක්ක ටික වෙලාවක් කතා කරපු සර් කිව්ව ඔයා ක්‍රීඩා කරලා තියෙනවා. කැමැති නැද්ද කොළඹ එන්න කියලා ඇහැව්වා. ආබාධිත මට කවුද රස්සා දෙන්නේ කියලා හිත හිත හිටිය මම ප්‍රේමදාස සර්ගේ ආබාධිත අය පුනරුත්ථාපනය කිරීමේ පදනමේ වැඩ කරන්න ආසාවක් ඇතිවුණා. දෙපාරක් හිතුවේ නැහැ මම කොළඹ එන්නම් කියලා කිව්වා.

හැබැයි සර් මට ඕන දුවන්න නෙමෙයි ඕනෑ රස්සාවක් කරන්න කියලා මම ඒ වෙලාවෙම කිව්වා.

 

 

ඉන්දුමතී 6



අතක් නැති මට රැකියාවක් දෙන්න කවුරුත් කැමැති වුණේ නැහැ. මට ඕනෑ වුණේ මගේ අම්මාගෙයි, තාත්තගෙයි ඇස්වල කඳුළුවලට සාධාරණයක් කරන්න. මගේ කකුල් දෙකට වේගයෙන් දුවන්න පුළුවන් වුණාට ජීවිතේ හිතන තරම් වේගයෙන් දුවන්න බැහැ. ඒත් මම ඒ අභියෝග හොයාගෙන ගියා. මට මහා මන්දිර හදන්න හීන තිබුණේ නැහැ. මට ඕනෑ වුණේ මගේ අම්මාටයි තාත්තයි මගේ අතින් හම්බ කරලා එක බත් වේලක් දෙන්න. ඇඳුමක් අරන් දෙන්න වගේ පුංචි ආසාවල් ටිකක්. ඒවා මගේ හිතේ නිතරම වද දුන්නා.

 


ඉන්දුමතී කොළඹට පැමිණෙන්නේ සාමාන්‍ය තරුණියක් කොළඹට රැකියාවට එනවාට වඩා අභියෝග රැසක් දරාගෙනය. විශේෂයෙන් උපතින්ම අත අහිමි වීමේ ආබාධිත අභියෝගය සමඟයි.

රැකියාවට කොළඹට එන ගමනේ පිටුපස තමයි ඔබට මලල ක්‍රීඩිකාවක් වීමේ පාර කැපෙන්නේ. එදා කොළඹ එන්න ගත්ත තීරණය පිළිබඳ අද ඉන්දුට මොකද හිතෙන්නේ යැයි මා ඇසීය.

‘අම්මා මාව තනියම රැකියාවකට කොළඹ එවන්න කැමැති වූයේම නැහැ. ඒත් තාත්තා කිව්වේ අපි මේ දරුවව සමාජයට දාන්න ඕන කියලා. තාත්තා මාව කොළඹට එක්කගෙන ආවා. එදා ගමටම ආබාධිත අය හිටියේ මම විතරයි.

කොළඹ ආවම තමයි මම දැක්කේ මම වගේම අය තව ගොඩක් ඉන්නවා කියලා. අවුරුදු 16 දී මම කොළඹට එනකොට ඊට කලින් මම කවදාවත් කොළඹ දැකලා තිබුණේ නැහැ. කොළඹ මොන වගේද කියලවත් දන්නේ නැහැ. මම කොළඹට ඇවිත් රිහාබ් ලංකා ආයතනයට බැඳුණා. මාස හයක් ජුකී මැෂින්වල මහන්න පුරුදු වුණා. අතක් නැති මම ජුකී මැෂින්වල මහන කොට හැමෝම පුදුම වෙලා මගේ දිහා බැලුවා. ටාගට් කවර් කළා. අම්මාට තාත්තාට බරක් නොවී මට රැකියාවක් කරන්න ලැබුණ එක මට ලොකු සතුටක්.


මුලින්ම මගේ ජීවිතේ ගොඩ දැම්මේ ජුකී මැෂිම. මුලින්ම පඩියක් ගත්තේ එතැනින්. මගේ ජීවිතේ පළමු අඩිය තිබ්බේ එතැනින්. මම ජීවිතේ කවදාවත් ඒ තැන අමතක කරන්නේ නැහැ.

පාසලෙන් පස්සේ නැවත දුවන්න මට ලැබේවි කියලා හීනෙකින්වත් මම හිතුවේ නැහැ. රැකියාව කරන අතර තුර දවසක් ප්‍රේමදාස සර් කිව්වා ආබාධිත අයට වෙනම තරගාවලි තියෙනවා, මගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කරගන්න පුහුණුවීම් ලෑස්ති කරලා දෙන්නම් කියලා කිව්වා. මට පුහුණුවීම්වලට යන්න ආයතනයෙන් දවසට පැය තුනක් දුන්නා.

 

 

ඉන්දු 23




ඉන්දුමතී පළමුවෙන්ම සහභාගි වූයේ 2002 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති පැරා ක්‍රීඩා උළෙල සඳහා ප්‍රථමයෙන්ම ඇය ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගි වෙන්නේ 2006 මැලේසියාවේ පැවැත්වුණු පැරා පැසිෆික් තරගාවලියටය. එම තරගාවලියෙන් ඇය ලෝකඩ පදක්කමක් හිමකර ගත්තාය. එතැන් සිට ඇය මොනරාගලින් බිහි වූ ‘කළු කෙල්ල’ යන ආදරණීය නාමයෙන් හඳුන්වන්නට විය.



මොනරාගල කළු කෙල්ල කියලා මට නම දැම්මේ ප්‍රේමදාස සර්. ඔහොම ඉන්නකොට මගේ ක්‍රීඩා ගමනට අත්වැලක් වුණ රිහාබ් ලංකා ආයතනය 2008 දී වැහුණා. ඊට පස්සේ ප්‍රේමදාස සර් මාව ස්ලිම්ලයින් ආයතනයට දාලා දුන්නා. එතුමා මට කිව්වේ මොන ප්‍රශ්න ආවත් ක්‍රීඩා කරන එක නතර කරන්න එපා කියලා. ස්ලිම්ලයින් ආයතනයේ මට වැඩකරන්න වූයේ ආබාධිත අය එක්ක නෙමෙයි දෑත් දෙකම තියෙන අය එක්ක. මම ආබාධිතයි කියලා නොහිතා වැඩ කළා.

ඔය අතරෙදි 2012 වර්ෂයේ මැලේසියාවේ පැවැති පැරා තේරීම් තරගාවලියට මම එක්වුණා. එතනදී මීටර් 100, 200, 400 දිවීම තරගාවලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. ඒ වෙනකම් පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙන්න ලංකාවෙන් අවස්ථාව ලැබුණේ ක්‍රීඩකයන්ට පමණයි. ප්‍රථම වතාවට පැරා ඔලිම්පික් තරගයකට සහභාගි වීමට ක්‍රීඩිකාවකට අවස්ථාව ලැබුණේ මට. 2012 පැරා ඔලිම්පික් තරගාවලියට ගිහින් ආවට පස්සේ මං ගැන පුවත් පතක ලිපියක් පළවුණා. තාත්තාගේ සතුට වැඩිකමට එදා ඒ පත්තර පිටුවත් අරගෙන තාත්තා මුළු ගම වටේම ගියා. එදා මම හිතාගත්තා මම කොහොමහරි ඔලිම්පික් තරගයක් දිනනවාමයි කියලා.

 

ඒත් 2013 පෙබරවාරි 13 වැනිදා මගේ මුළු ජීවිතේම කඩා වැටෙනවා. ඒ මගේ පියාගේ වියෝවත් එක්ක. මගේ ජීවිතේ ශක්තිය ධෛර්ය වූයේ එයා. මට ජීවිතේ කියා දුන්නේ එයා. පිළිකා රෝගයෙන් මගේ තාත්තාගේ ජීවිතේ අහිමි වෙද්දී මට මේ හැමදේම එපා වුණා. ක්‍රීඩාව පවා එපා වුණා. ඒත් ප්‍රේමදාස සර් මට ක්‍රීඩාව අතහරින්න දුන්නේ නැහැ.

 

2014 දකුණු කොරියාවේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගත් ඇය 2016 දී බ්‍රසීලයේ රියෝදිජිනෙයිරො අගනුවර පැවැත්වූ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වෙන් ලෝකයෙන්ම 5 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

එමෙන්ම 2018 වසරේ ඉන්දුනීසියාවේ ජාකර්තා හිදී පැවැත්වුණු පැරා ක්‍රීඩා උළෙලේදී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමකින් ශ්‍රී ලංකාව රනින් බබලවන්නට ද ඉන්දුමතී සමත් වූවාය. ලංකාවේ දක්ෂතම ආබාධිත ක්‍රීඩිකාව ලෙස ඇය ජනාධිපති සම්මාන ත්‍රිත්වයකින් ද සම්මානිත වූවාය.

 

අද ඇය ආදරණීය සැමියකුගේ ආදරය, සෙනෙහස, රැකවරණය මැද්දේ ක්‍රීඩා කටයුතු සිදුකරමින් ජීවිතය ගත කරන අතර ඇයගේ ධෛර්යවන්ත සැමියා පිළිබඳව කතා නොකරම බැරිය.

 

මගේ ආබාධිත තත්ත්වය එක්ක මගේ සහෝදර සහෝදරියන් විවාහ වෙද්දී මම හිතුවෙම කවදාවත් මට විවාහ වෙන්න බැරි වේවි කියලා. මම හෙව්වේ මට අනුකම්පා කරන කෙනෙක් නෙමෙයි ආදරය, රැකවරණය දෙන කෙනෙක්. ඔහු ඩී.එම්. සමරසේකර. ඔහු මට මුණගැහෙන්නේ 2008 වසරේදී. ඒ බොක්සිං ක්‍රීඩකයෙක් විදිහට. පස්සේ අපි දෙන්නා හොඳ යාළුවෝ වුණා. එයා මට ආදරෙයි කිව්වාම මම මුලින්ම ඇහුව්වේ ‘මම ආබාධිත කෙනෙක්. මගේ අතක් නැහැ. මාව සමාජයට ගෙනියන්න ඔයාට ලැජ්ජා නැද්ද කියලා ඇහුව්වා.’ කවදාවත් එහෙම නැහැ කියලා අල්ල ගත්ත මගේ අත කෙළවර වුණේ විවාහයෙන්.

 

මගේ පියා මට ලබා දුන් රැකවරණය සේම රැකවරණයක් ඔහුගෙන් මට ලැබෙනවා. ඔහු වගේ උතුම් මනුෂ්යයෙක් ලැබීම මම පෙර කරපු පිනක් කියලයි මට දැනෙන්නේ.

 

අත්දෙකම තියෙන අයට එක අතක් පමණක් තියෙන ඉන්දුමතී විශාල පාඩම් ගොඩක් සමාජයට කියලා දෙනවා. මේ අද ඇය ගැන ඇයට හිතෙන විදිහ.

පුංචි කාලේ දුප්පත්කමේ පතුලෙම හිටපු මම මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. අද මම මගේ පවුලේ අයවත් බලාගෙන සතුටින් ජීවත් වෙනවා. අත්දෙකම තිබිලත් අසාර්ථක වෙන මිනිස්සු ඉන්න සමාජයේ තනි අතකින් මම ජීවිතය ජයගත්තේ ධෛර්යවන්තකම නිසා.

මගේ පියාගේ වියෝව අදටත් දරාගන්න බැහැ. ඒ වගේම මගේ ජීවිතේ මේ තැනට එන්න පාර පෙන්නපු ප්‍රේමදාස සර්, එතුමත් අද ජීවතුන් අතර නැහැ. ඒ දෙන්නා මට දුන් ධෛර්යය නිසාම මම අද අභියෝග කියන දේට බයක් ඇත්තෙම නැහැ. ජාත්‍යාන්තර ජයග්‍රහණ පදක්කම් 14ක් ජයග්‍රහණය කරලත් මගේ පාසලෙන් සහ ගමෙන්වත් මාව ඇගයීමට ලක්කරලා නැහැ. ඒ ගැන මට ලොකු කලකිරීමක් තියෙනවා.

මම මගේ රටට ණයත් නැහැ. බරත් නැහැ. අවුරුදු 2 කට පස්සේ Fazza world para athletic championship grand prix 2021 තරගයට යන්න මට අතක් හදලා දුන්නේ මගේ මහත්තයා. සමහරු මට හිනා වුණා. ඒ අත දාලා දුවද්දී තවත් අය මට වයස වැඩියි මගේ කාලේ ඉවරයි කියලා කිව්වා. ඉන්දුට ආයේ දුවන්න බැහැ කියපු අය, පුහුණුකරුවන් හිටියා. මම ගියා පුහුණුකරු නලින්ද සෙනරත් සර් ළඟට. මාස 11 සතපහක්වත් නොගෙන මට පුහුණුවීම් කළා. සර්ට මගේ අතවත්, වයසවත් ප්‍රශ්නයක් වූයේ නැහැ. ඉන්දු කවදාවත් වැටෙන ක්‍රීඩිකාවක් නෙමෙයි. ඉන්දු ඔයාට පුළුවන් කියලා කිව්වා. මගේ මහත්තයයි නලින්ද සර් නැත්නම් අද මම මෙතන නැහැ. වැටෙද්දි අත දුන් සියලුම දෙනාට මම හිස නමා ආචාර කරනවා.

මෙතනින් එහාට මොකක්ද ඉන්දුගේ අරමුණ?

 

මේ වසරේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වීම තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ සඳහා මේ දිනවල පුහුණුවීම් කරගෙන යනවා. ඔලිම්පික් තරගාවලියෙන් කොහොමහරි මම ලංකාවට රන් පදක්කම් තුනක් අරගෙන එනවා. එතනින් පස්සේ බොහෝ විට මම ක්‍රීඩාවෙන් සමුගනීවි. මොකද මටත් ආසයි අම්මා කෙනෙක් වෙන්න.

 

අත අහිමි වුණාට මගේ හිතේ ශක්තිය අහිමි වෙලා නැහැ. ඒ නිසා ඉලක්කයට මෙහායින් මම කවදාවත් නවතින්නේ නැහැ යැයි ඇය කතාබහේ අවසානය සටහන් තැබුවාය.

 


නදීශා අතුකෝරළ
lankadeepa.lk

නවතම ලිපි