දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැටෙනවා. ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ,

ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ අත් හා පාද වල හිරිවැටීමයි.

අත් පාද හිරිය නිසා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳිමින් සිටිනවා. මෙය ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ විය හැකියි.

හිරිවැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් නොවුණහොත් ඔබ අසරණ වෙන්න පුළුවන්. හිරිය රෝග ලක්‌ෂණයක්‌ ලෙස දැනුණත් මෙය සමේ දැනීම පිළිබඳව වෙනස්‌වීමක්‌ හෝ දැනීම වැඩිවීමක්‌ ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ශරීරයේ කුමන හෝ ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්. ඇඟිලිවල හෝ අතක හිරිවැටීමකට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ ඉහළ කොටසේ අස්‌ථි 7කින් යුක්‌ත වූ ගෙල ප්‍රදේශයයි. ඒ වගේම අතේ ඇඟිලිවලට ඉහළින් පිහිටි මැණික්‌ කටු සන්ධියයි. පාදවල හිරියට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ පහළ කොටසේ කශේරුකා 5 හා ඊට පහළ කොටසයි. පිට ප්‍රදේශයේ කශේරුකාවේ වෙනස්‌වීමක්‌ වුවද හිරිය සඳහා බලපාන අවස්‌ථාවන් නැතිවාම නොවේ.

 

 හිරි වැටීම ඇති විය හැකි හේතු

 

                      1. නොසිතු මොහොතක සිදුවන අනතුරක්‌ , කැපීමක්‌ , තැලීමක්‌ , ගැස්‌සීමක්‌.

                    2. නිරතවන වෘත්තිය අනුව මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ නිර්මාණය වීම.

                    3. වයසට යාමත් සමඟම ඇතිවන කොදු ඇටපෙළෙහි කශේරුකා හා අස්ථිවල සිදුවන වෙනස්‌කම්

 

 නිසාත් හිරිවැටීම ඇතිවිය හැකිය. ආතරයිටිස්වලදී අත්පාද ඇදවීම, කශේරුකාවේ කශේරුකා අතර පිහිටි අන්තර් කශේරුකා මඩල හෙවත් කාටිලේජ ගෙවීයාමක්‌ , පැතලි වීමක්‌ , තෙරපීමක්‌, කශේරුකා එකිනෙකට ලිස්‌සා යාමක්‌ අධිවර්ධනයක්‌ , කාටිලේජ ඉදිරියට නෙරා ඒමත්, යන හේතු කාරණා නිසා බොහෝවිට හිරි වැටීම ඇතිවීමට පුළුවන්. මේ සෑම දෙයක්‌ම සුළුවෙන් පටන් අරන් වර්ධනය වීමේදී ඒ හරහා යන ස්‌නායුවලට බලපෑමක්‌ ඇතිවීම මගින් රෝග ලක්‌ෂණයක්‌ ලෙස හිරිය පටන් ගනියි. රෝගය වර්ධනය වූ විට හිරිවැටීමත් සමඟම දරාගත නොහැකි වේදනාවත් නිසා බොහෝ ලෙස පීඩා විඳීමට සිදුවෙනවා.

 

අත්වල හිරිවැටීම

 

බෙල්ලේ කශේරුකා අතර වෙනස්‌වීමක්‌ දැනෙන හිරිය (C5)-බෙල්ලේ සිට මැණික්‌ කටු සන්ධිය දක්‌වාත් ( C6)- බෙල්ලේ සිට මාපට ඇඟිල්ල දක්‌වාත් (C7) - බෙල්ලේ සිට දබර ඇඟිල්ල , මැදඇඟිල්ල දක්‌වාත් හිරිය සමඟ වේදනාව ඇතිවිය හැක. මැණික්‌කටු සන්ධිය තෙරපීමකදී ඇතිවන වෙනස්‌වීම සමඟ හිරිය මාපට ඇඟිල්ල , දබර ඇඟිල්ල ,මැදඟිල්ල සමඟ 4වන ඇඟිල්ල දක්‌වා ඇතිවිය හැක.

පාද වල හිරිවැටීම

කොන්ද ආශ්‍රිත කශේරුකා වෙනස්‌විමකදී විශේෂයෙන්ම (L2)- කොන්ද මැද සිට කලවා උඩුකොටස ,(L3- කලවා හා දණහිස දක්‌වාද , (L4- කොන්දේ සිට මහපට ඇගිල්ල දක්‌වාද , (L5- කොන්දේ සිට පාදයේ සුලඟිල්ල හැර ඉතිරි ඇඟිලි හා විලුඹ කොටස , ( S1) - කොන්දේ සිට සුලඟිල්ල දක්‌වා යන ස්‌ථානවල වෙනස්‌වීමකදී හිරිවැටීම ඇතිවිය හැකියි.

හිසෙහි හිරිය ඇතිවීම

ගෙල ප්‍රදේශයේ ඇතිවන වෙනස්‌ වීම් , රුධිරය සැපයීමේ දුර්වලතා මෙන්ම මොළයේ හා ඒ අවට ලේ කැටි නිර්මාණය වීගෙන යාම හේතුවිය හැකියි.

ඉහත දැක්‌වූ කරුණුවලට අමතරව හිරිය සඳහා බොහෝ සාධක පවතිනවා.

           1. විටමින් ඌණතාවය (විටමින් B 1-6)

                (සත්ව ආහාර නොගන්නා අයට විටමින් B 12 ඌනතාවය නිසා හිරිය ඇතිවිය හැකියි.)

            2. දියවැඩියාව

                 මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ ස්නායුව පටන් ගන්නා කොන්ද ප්‍රදේශයෙන් පහළට යන ස්නායුවල ඇතිවන දුර්වලතායි. විශේෂයෙන් දියවැඩියා                   රෝගියෙකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී පෙඟී තිබෙන විට එම ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා.

                 මේ නිසා පළමුව රෝගීවන්නේ පාදයේ පහළම කොටසයි. කකුල් දෙකේ සමමිතිකව මේ තත්ත්වය දක්නට ලැබෙනවා. මේ හිරිවැටීම අත්වලත්                           ඒ ආකාරයටම ඊට සමාන්තරව ඇතිවෙනවා. මෙයට හේතුව දියවැඩියාව පාලනය නොකිරීමයි. මේ හිරිවැටීම වළක්වා ගන්න නම් දියවැඩියාව                             පාලනය කළ යුතුයි. නමුත් මේ හේතුව නිසා ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය සම්පුර්ණ සුවයකට බාධා ගෙන දෙනවා.

           3.මත්පැන් පානය

           4. නහර ගැටගැසීම

           5. තයිරොක්‌සින් හෝර්මොනයේ අසමතුලිතතාවය

           6. සමහර ගන්නා වූ ඖෂධවල අතුරු ආබාධ

                                                 නිසාත් හිරිවැටීම ඇතිවිය හැකියි.

ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ මේ හිරිවැටීමයි. මේ පිළිබඳව අපි සැලකිලිමත් නොවුණහොත් සිදුවන්නේ අධික වේදනාකාරී තත්වයක්‌ ඇතිවීමයි. මේ සඳහා නිසි ප්‍රතිකාරයක්‌ නොලැබුණහොත් ශල්‍යකර්මවලට පවා මුහුණදීමට සිදු වෙනවා.

ඉහත සඳහන් කළ පරිදි හිරිය / හිරිවැටීම රෝග ලක්‌ෂණයක්‌ වන අතර එය රෝගයක අනතුරු සංඥාව විදියට හැඳින්විය හැකියි. එබැවින් එවැනි ලක්ෂණ දීර්ඝ කාලයක් තිස්සේ ඔබ අත්විදින්නේ නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා යෝග්‍ය වේ.

 

වෛද්‍ය කසුන් බස්නායක                                                                                                                                                  

නවතම ලිපි