බුකර් තෑග්ගේ ලංකා ඉතිහාසය
අවසාන වතාවට අප කිරිබන්ඩලාගේ ගමට [ලිඳආරගම- බුත්තල] ගියේ 2016 අවුරුද්දේ මැද හරියේ ය. කිරිබණ්ඩේ නිවසේ එලිපත්තේ ඇනබාගෙන සිටියේ ය. එකල ගමේ නායකයා ආර්. එම්. කිරිබන්ඩා ය. අප ඔහු ගමේ නායකයා ලෙස හදුන්වන්නේ එහි ඇති එකම සමීතිය වූ ‘සුවසෙත මරණාධාර සමිතියේ’ සභාපති හා ක්‍රියාකාරී නායකයා නිසාය.
 
එම ගම්මානය ගැන අප 2014 වසරේ වාර්තා චිත්‍රපටයක් තනද්දී නවාතැන් සැපයුනේත් ආහාර සැපයුනේත් කිරිබන්ඩාගේ පැල්පතෙන් ය. දැන් ගමේ තත්වය කොහොම ද? ආගිය කතාව පටන් ගන්න වෙනත් යමක් නොමැති නිසාම, ඉබේම වාගේ ප්‍රශ්ණය අපෙන් ඇසුනේ ය.
 
“ චිත්‍රපටියට පෙනී හිටපු හතර දෙනෙක්ම මැරුණ. දැන් තවත් ලෙඩ්ඩු හතඅට දෙනෙක්ම ඒ ලයිස්තුවට එකතුවෙල. මරණ ලැයිස්තුවත් වැඩිවෙනව. ලෙඩ්ඩු ලැයිස්තුවත් වැඩි වෙනව. දැන් මරණාධාර සමීතියට මළ ගෙවල්වලට උපකාර කරන්න අමාරුයි. මමත් කොපමණ කාලයක් ජිවත්වේවි ද දැන්නේ නෑ. මගෙත් වකුගඩු නරක් වෙල කියල දොස්තරල කියනව.”
 
කිරිබණ්ඩේ ඒ ටික කියද්දී දුවිලි වැකුණු පාර දිහාවට ඇස් හරවාගෙන සිටියේ ය. ඔහුට ජීවත්වීමට ඇත්තේ තවත් අවුරුදු කීපයකි. දැනටමත් ඔහුගේ වයස අවුරුදු 49කි. දරු හතර දෙනාම අවුරුදු 16 අඩුය. ඔවුන් තවමත් “උක් කර්මාන්තයේ” ගොවි කුලීකරුවන් හැටියට පණ ගැට ගසා ගනිති. අපේ මතකය එන්නේ ‘පැල්වත්ත සීනි සමාගමේ’ නිධාන කතාවය.
 
ඒ 1984 අවුරුද්ද ය. “කඩිනම් සංවධනය” සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් වෙන්දේසි කෙරෙන යුගයයි. එහි එක් මංත්‍රීවරයෙක් “ විදේශ ආයෝජකයන් ඉඹලා පිලිගත යුතුයි” උදම් ඇනූ යුගයයි. මේ ඉඩම් වෙන්දේසියේ දී සියඹලාන්ඩුවෙන් අක්කර 65,000 ඉංදියානු ‘මෙටා ඉන්ටර්නැෂනල්’ සමාගමට විකුණුනේ ය. බුත්තලින් අක්කර 85,000 බ්‍රිතාන්‍යයේ ‘බුකර් ටේට්’ සමාගමට තිළිණ කෙරුනේ ය. තරුණ පරිසරවාදී හා දේශපාලන ක්‍රියාකාරිකයන් වූ අපට ප්‍රශ්නය ආවේ ‘සමස්ත ලංකා ගොවි සම්මේලනය’ හරහා ය.
 
“සියඹලාණ්ඩුවේදී පාරම්පරික වෙල්ලස්සේ ගොවීන්ගේ ඉඩම් එක යායට දෙනව. බුත්තල දී යාල වනෝද්‍යානයෙන් අක්කර 60,000 යි. ඉතිරිය අවට ගොවි ජනපදවල ගොවින්ගේ ඉඩම් දෙන්නේ. සියඹලාන්ඩුවේ දි සටන පහසුයි. බුත්තල දී සටන අමාරුයි. ඒකට හේතුව යාල සත්තු උද්ඝෝෂණවලට එන්නේ නෑ. අනික ජනපද ගෝවින් අතරේ සමඟිය අඩුයි. ගොවි සමිති ඇත්තේම නෑ.”
 
කොළඹට පැමිණ පරිසර කණ්ඩායම් හමුවු අප්පුහාමි හා සුමනේ [සුමනසේන- ඇතිලිවැව වල්ලවාය] කියා සිටියෝ ය. කාරණය ඇත්තක් බව අපට වැටහුනේ මේ මර්මස්ථාන දෙකට යෙදුණු ගමන්වලින් පසුවය. සියඹලාන්ඩුවේ දී ‘මඩුගම’ ගොවියෝ හොදින්ම සංවිධානය වී සිටියහ. 1818 සටන පරාද වුවාට මෙවර සටන අත් නොහරින බවට ඔවුහු ‘කැබිලිත්තේ මුත්තා’ නමින් දිවුරා කියා සිටියහ. එහෙත් බුත්තල තිබුනේ සපුරාම වෙනස් තත්වයකි.
“බුකර් සමාගමේ නියෝජිතයෝ අපේ ගෙවල්වලට ආව. තරුණ කොල්ලන්ට සිනී පැට්ටේරියේ රස්සාවල් දෙනව කීව. අපිට අක්කර දෙකක් දෙනව ගෙවත්තකට. තවත් අක්කර 4ක් දෙනව උක් වගා කරන්න. අපිට බිජ, පොහොර, කෘෂි රසායන ඔක්කොම දෙන්නේ සමාගම. අපේ අස්වැන්නත් සමාගම ගන්නව. එතකොට අපිට මුදලාලිගෙන් ණය ගන්න ඕන නෑ. මීට පස්සේ හේන් කොටන්න. අලිත් එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ. කරදරයක් නැතුව දෙයියනේ කියල ජීවත් වෙන්න පුළුවනි”
 
බුකර් සමාගමේ ඉඩම් කොටු කිරීමට හසුවෙන බුත්තල, පැල්වත්තේ ගොවීන්ගේ පොදු මතය වුයේ එයයි. අප ඔවුන්ට බුකර් සමාගමේ අපකිර්තිමත් හා අමානුෂික ඉතිහාසය සිහිකර දෙන්න වෑයම් කලෙමු.
 
“බුකර් ටේට් කියන්නේ ලෝකේ තියෙන අමානුෂිකම බහුජාතික සමාගමක්. 1805 සමාගම පටන් ගත්ත යුගයේ උක් කර්මාන්තයේ යෙදුනේ වහල්ලු යොදවගෙන. ලෝකයේ වහල්ලු මිල දී ගත් ප්‍රධාන සමාගමක්. මේ වහල්ලු යොදවල කැරිබියන් දුපත් [නැගෙනහිර ඉංදියා දූපත්] වල මුලින්ම උක් කර්මාන්තය කලේ. ඒ කාලේ සමාගමේ උපහාස නාමය ‘බුකර් ගයනාව’. වහල් වෙළඳම 1807 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුල අහෝසි කළාට පසුවත් මේ සමාගම 1815 දී නිදහස් කෙරුණු වහලුන් වෙනුවෙන් ‘ගයනා වහල් වෙළඳ සමාගම’ වන්දි ගත්ත. ඊට පස්සේ අලුත් වහල් ක්‍රමයක් යටතේ සීනි කර්මාන්තය කරගෙන ගියේ. මේ අලුත් වහලුන්ට ඉඩමක් දිල වගාවට අවශ්‍ය දේ දීල, තමන් නියම කරන මිලට උක් ගන්නේ. ඒක තමයි මෙහෙත් වෙන්න යන්නේ. අවසානේ ඔහේලගේ ඉඩම් හපයක් වුනාම සමාගම යාවි. හපේ උරමින් අපට ඉන්න වේවි”
 
බුත්තල [බත් - හල, සහල් නිපදවෙන තැන] හා පැල්වත්ත අවට සිටියෝ ජානපදිකයෝ ය. ඔවුහු ලංකාවේ නොයෙක් පළාත්වල ඉඩම් හිඟයට හෝ අනතුරුදායක භූමිවල ජීවත් වූවෝ ය. ඔවුන් මේ දුෂ්කරතාවලින් බේරා ගන්න ආණ්ඩුව මෙහි පදිංචි කරවා තිබුනේ ය. සත්තකින්ම මැණික් ගඟ ඉහත්තාවේ විශාල ජලාස අලුතින් ඉදි නොවීම නිසාම මේ බිම්වලට වාරිමාර්ග ජලසම්පාදනයක් නොතිබුනේ ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි වූ කුඹුක්කන අමුණ හා පසු කලෙක ඉදි වූ බුත්තල අමුණෙන් හරවා යැවෙන ජලය මේ නව ජනපද ගොවිබිම් තෙත් කිරීමට ප්‍රමාණවත් නොවෙයි. මේ නිසා මේ ජානපදිකයන්ට “බුකර් ටේට්” පණ ඇති දෙවියෙක් සේ පෙනීම අපට පුදුමයක් නොවී ය.
 
එසේ වුවත් වෙල්ලස්ස ගොවි සටන කොතරම් බලවත් වුවා ද කිවහොත් එකල රටේ නායකත්වය ඉව අල්ලමින් සිටි බණ්ඩාරනායක පවුලේ තුන්වෙනි පරම්පාරාවට දේශපාලනය ගෙන යමින් සිටි අනාගතයේ බස්නාහිර පළාතේ මහ ඇමතිවරිය වීමට, රටේ අගමැතිවරිය වීමට, හා දෙවරක් විධායක ජනාධිපතිවරිය විමට නියමිත චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග ද සටන් බිමට වැඩියා ය. එකල වෙල්ලස්සේ ගොවි සටනට නොගිය කලාකාරයෙක් “කලාකාරයෙක්’ ලෙස නොපිළිගැණුනේ ය. එහි නොගිය දේශපාලන පක්ෂයක් ක්‍රියාකාරී විපක්ෂයේ පක්ෂයක් හැටියට නොපිළි ගැණුනේ ය. සටනේ නොසිටි දේශපාලන ක්‍රියාකාරිකයෙක් පණ ඇති මිනිසෙක් ලෙස නොසැලකුනේ ය. එහෙත් “ගැහැණියක් මිනිසෙක් කිරීමට හැර අන් සියළු බලතල මට ඇතැයි” උමතු බස් දෙඩූ ජයවර්ධන ආණ්ඩුවම ජයගත්තේ ය.
 
ජයවර්ධන ආණ්ඩුව [1977 – 1988] සමාගමට ඉඩම් දුන්නා පමණක් නොව වෙළඳ පොල මිලට වඩා ඉහල මිලකට එහි නිෂ්පාදනය කෙරෙන සීනි මිලදී ගැනීමට ද ගිවිසුම් අත්සන් කළේ ය. ‘ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ටය් වාසිය’ කියන්නාක් මෙන් බුකරයෝ උක්වවන්නට යාල වනාන්තරයේ මහ රූස්සගස් බිම හෙලද්දී රාජ්‍ය අනුග්‍රහය ලැබු ‘කොටන් මුදලාලිලා’ බුත්තල පැලපදියං වූහ. ඊට පසුපසින් පැමිණියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයන් ය. 1978 දි ආණ්ඩුවට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු උපදෙස් අකුරටම ක්‍රියාවට නැඟුණේ ය. [දැන් අවුරුදු 44කට පසුත් අපට නැවතත් ආර්ථික සංවර්ධනයට උපදෙස් දෙන්නම මේ පණ්ඩිතයෝම පැමිණ සිටිති]
 
ඌව - පැල්වත්තේ ගොවියෝ එක එක්සිත් ඇතිව “බුකර් ටේට්” දෙවියන් සරණ ගියහ. අපට ඉතිරි වූයේ මේ ගොවි සටනට ගිය රත්න ශ්‍රී විජේසිංහ ලියා ගුණදාස කපුගේ ගායනා කළ “බිම්බරක් සෙනඟ ගැවසුනු චන්ද්ර සූර්යා ඉපදුනු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ” ගීතය, සිංහල ගීත සාහිත්‍යයට එකතු වීම පමණි. එච්. ආර්. ජෝතිපාල ගැයූ “ඔබේ සැප මඟේ සතුටයි” ගීය ගයමින්, ගෙන ගිය කඩමාළු හකුලාගෙන අපි කොළඹට පල්ලං බස්සෙමු. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර නායකයෙක් වූ හා දරදඬු පාලකයෙක් සේ කුප්‍රකට ජෙනරාල් රන්ජන් විජේරත්න [එකල ඔහු ජෙනරාල් කෙනෙකු නොවීය] බුකර ටේට් හි ලංකා සමාගම වූ ‘පැලවත්ත සීනි සමාගමේ’ සභාපතිවරයා හැටියට පත් කර තිබුනේ ය. “හොඳහොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” ගමේ තොවිල බලද්දී එන කියමන සිහිකරමින් අපි ඒ විවෘත ආර්ථිකයේ හැන්දෑව නිදහසේ ගෙවෙන්නට ඉඩ හැරියෙමු.
 
සුමනේ නැවතත් අපට හමුවෙන්නේ 1989 අවුරුද්දේ ය. ඔහු භීතියට පත් වී සිටියේ ය. බුකර් සමාගම ඌව- පැල්වත්තට ස්වර්ගයක් මවා දුන් පසු මේ විපරියාසය කුමක් දැයි අපට ප්‍රෙහේලිකාවකි. ඒ සුමනේ කට අරින තෙක් පමණි.
 
“සමාගම සේවකයන්ට සැලකුවේ වහල්ලුන්ට වගේ, ඒ නිසා වෘත්තිය සමිතියක් හැදුන. උක් ගෝවීන්ගේ සමිතියකුත් හැදුන. දැන් භිෂණය පිටින් දාල මේ සමිතිවල නායකයෝ ක්‍රියාකාරිකයෝ පැහැරගෙන යනව. මරණව. මම ජීවිතේ බේරගන්න පැනල ආව. සමාගමේ සභාපති රන්ජන් විජේරත්න. එයත් එක්ක මොනම සාකච්චාවක්වත් තියන්න බෑ. එයා සමාගමේ සභාපති විතරක් නෙවෙයි රටේ ආරක්ෂක ඇමති. මිනිස්සු පණ බයේ ජීවත්වෙන්නේ.”
 
ඇතිලිවැව සුමනසේන රන්ජන් විජේරත්න යටතේ පැල්වත්තේ නිර්මාණය වූ භීෂණයෙන් දිවි ගලවා ගත්තේ ය. එහෙත් පැල්වත්ත සමාගමෙන් අයිතිවාසිකම් ඉල්ලු කම්කරු නායකයන්ට හා උක් ගොවි නායකයන්ට ඒ වාසනාව අහිමි විය. ඔවුහු මොණරාගල - වැල්ලවාය පාරේ මඟ දෙපස ඉදි වූ ටයර් සෑ මතින් “බුකර් ටේට් ස්වර්ගයට” ගියහ. එතැන් පටන් ඌව - පැල්වත්ත පැත්තෙන් කෙදිරියක් වත් නෑසුනේ ය. හරියටම 1818 ඌව - වෙල්ලස්ස සටනින් පසු කාලය වගේ ය. ‘මිනිස් පරිණාමයේ දී වගේම දේශපාලන පරිණාමයේ දි ද රැකෙන්නේ වෙනස්විමට හැකි සත්වයන්ට පමණකි’ යි කියා අපි හිත හදා ගත්තෙමු.
 
1991 අවසානයේ දි පමණ යලිත් බුකර් සමාගමේ කම්කරු ආරවුල් ඇවිළුනේ ය. වාර්තාකරුවෙක් හැටියට එවිට අපට පැවරී තිබුනේ ‘වෙනස් කිරීම’ වෙනුවට ‘සිදුවීම්’ වාර්තා කිරීමය. ඒ වනවිට සමාගමේ සභාපති රන්ජන් විජේරත්න ජීවතුන් අතරේ නොවී ය. ඔහු කාර් බොම්බයකින් පැමිණි කොටි මිනිස් බෝම්බයක ගොදුරක් වී ජෙනරාල් තනතුරකට පත් වී සිටියේ ය. සමාගමේ කම්කරුවෝත් - උක් ගොවියෝත් යළිත් සංවිධානය වී සිටියහ. එකාවන්ව යුක්තිය ඉල්ලා උද්ඝෝෂනය කලහ. භීෂනය අවසන් වී තිබූ නිසා පැහැර ගනීම් සිදු නොවුනේ ය. ඒ වෙනුවට සමාගමේ ආරක්ෂාව විශාල පොලිස් හමුදාවක් යොදවා තිබුණි. අපි සාමකාමී උද්ඝෝෂණය වාර්තා කළෙමු. එයින් වූ සුබසෙතක් නොසෙයුවෙමු.
 
වසර 2000 වෙද්දී එනම් අවුරුදු 15කට පසු බුකර් ටේට් සමාගම පැල්වත්ත උක් කර්මාන්තයෙන් ඉවත් වුණේ ය. නිසරු වූ භූමිය හා අබලන් වූ සීනී කර්මාන්ත ශාලාව ස්වදේශික ව්‍යාපාරයක විකුණා දැමුවේ ය. ඒ වන විට ලංකාවේ රැකියා වෙළඳ පොලට අලුත් රැකියාවක් එම සමාගම හදුන්වා දී තිබුනේ ය. ඒ ‘වන අලි එලවිමේ කම්කරු’ රැකියාවය. පාරම්පරික භූමිය අහිමි වූ යාල අලි ‘ප්‍රාණ භුක්තිය’ ඉල්ලා සමාගමේ උක් ඉඩම් වලටබ් කඩා වැදුනාහ. මේ නිසා පැය 24 පුරාම අලි එලවීම කළ යුතු විය. මුල දී මේ වෙනුවෙන් විදුලි වැට ඉදි වුණේ ය. පසුව යාල හා සමාගම් භූමිය අතරේ අලින්ට තරණය කළ නොහැකි අගලක් කැණුනේ ය. එහි වෙසෙන මනුශ්‍යන්ට වඩා ඥාණාන්විත වූ යාල අලි ගස් කඩා දමා අගලෙන් ද එගොඩ වූහ. අවසානයේ පෙර කී අලුත් රස්සාව පැමිණියේ ය. එහෙත් තවමත් එහි අලි මිනිස් සටන අවසන් නැත. ඒ බව හැන්දෑවක ‘හඳපානගල’ වැවට යන ඔබට පහසුවෙන්ම තේරුම් ගනීමට පුළුවනි.
වසර 2007 දී යලිත් බුකර් ටේට් සමාගම වෙල්ලස්සේම නිල්ගල [බිබිල] භූමියේ අක්කර 65,000ක උක්වවන්නට සුදානම් වූයේ ය. එකල අප සිටියේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ‘වැද්දන්’ පිළිබඳ පර්යේෂණයකට සහභාගි වෙමිනි. ලොකයේම ගෞරවයට පාත්‍ර වු [ එකල ඔහු ඇමරිකා එකස්ත් ජනපදයේ ප්‍රින්සටන් සරසවියේ, මානව විද්‍යා දේපාර්තමේන්තුවේ ප්‍රධානියාය] ඇතිවෙමින් තිබෙන තත්වය සාකච්චා කළ පසු මහාචාර්ය ඔබේසේකර “ කුළුදුල් භූමිය දුෂණය නොකරනු” නමින් ලිපි පෙලක් ලිවේ ය. වාසනාවට ඔහුගේ ශිෂ්‍යයෙකු වු අචාර්ය සරත් අමුණුගම එවකට ආණ්ඩුවේ බලවත් ඇමතිවරයෙක් විය. මේ පුත්ගලික සම්බන්ධය නිසා බුකර් ටේට් සමාගම මේ වතාවේ වෙල්ලස්සෙන් පසු බැස ගියේ ය.
 
2014 අවුරුද්දේ අපි ඌව - පැල්වත්තට යන්නේ පුවත්පතක තිබූ වාර්තාවක් නිසාය. එහි වාර්තා වු ආකාරයට ‘පැල්වත්ත සීනි සමාගමේ’ ගෝවින් හා කම්කරුවන් අතරේ මාරාන්තික රෝග පතිරෙන්නේ ය. වකුගඩු රෝගය ඉන් ප්‍රධානය. එහි සංකේත ග්‍රාමය වී තිබුනේ බුත්තල ‘ලිඳආරගම’ ය. අප එහි ගියේ මේ කතාව සොයන්නටය. ගමට ‘මරණාධාර’ සමිතියක් තනාගෙන මළ ගෙවල්වලට උපකාර කරණ සහ නායකත්වය සපයන කිරිබණ්ඩේ හමුවන්නේ මේ ගමනේ දිය.
 
“මොකක් ද ඔහේලට වුණේ ?”
කිරිබණ්ඩේ හුස්ම නොගෙනම උත්තර දුන්නේ ය.
 
“අපි පදිංචිවෙලා හිටපු ඉඩම්වලට ඔප්පු තිබුන. අපි ගොවිතැන් කරගෙන දෙයියනේ කියල ජිවත් වුණා. සමාගම අපෙන් ඉඩම් ගත්ත, ගෙවත්තට අක්කර දෙකයි, උක්වගාවට අක්කර හතරක් දෙනව කියල. අපි දැන් මේ ඉන්නව ඒ කිසිම දෙයක් නතුව. ඉඩම් තියා කඩදාසි කෑල්ලක් ලබුනේ නෑ. අපි උක් වවනව. අවුරුද්ද පුරාම නර දුක් විඳල. දවසකට රුපියල් 50 ක ආධායමක් වැටෙන්නේ නෑ. ඊටත් වඩා මේ ඔක්කොම ලෙඩ්ඩු. මේ ගමේ වැඩි දෙනෙක් සමාගමේ උක් වගාවට කෘෂි රසායන යොදපු කම්කරුවෝ. ඒ ඔක්කම ලෙඩ්ඩු. දැන් මේ ගමේ ලිඳක වතුර බොන්න්වත් බෑ. ඕන්න අපට වෙච්චි දේ”
 
අසරණකම බැන වැදිම විසදුමක් නොවේ. ගම පුරා යද්දී අපිට ගමේ පමණක් නොව පැල්වත්ත සිනී සමාගම අවට ගම්වල පොදු ඉරණම අවබෝධ විය. දැන් අඩුම තරමින් ඔවුන්ට “සුවසෙත මරණාධාර සමිතිය” වත් උපකාරය සිටී. එයි හිත හදාගන්නට බැරි ද?
 
දැන් ඉතින් මේ කතාවේ පුර්වාපර සංධි ගැලපිය යුතුය. ශෙහාන් කරුණාතිලක නම් අති දක්ෂ රචකයාගේ ‘මාලී අල්මේ දාගේ සත් සඳ’ [The Seven Moons of Maali Almeida] ඉංග්‍රිසි නවකතාවට බුකර් ටේට් සමාගම ආරම්භ කළ බුකර් සාහිත්‍ය තෑග්ග මෙවර [2022]හිමි වී තිබේ. බුකර් තෑග්ග දිනාගත් දෙවැනි ලාංකිකයා ශෙහාන් ය. මායා යාථාර්තවාදී රීතියෙන් ලියැවුණු මේ නවකතාවට පසුබිම වන්නේ 30 වසරක් පුරා ලංකාවේ ඇවිළි ගිය සිවිල් යුද්ධයයි. එහි බිහිසුණු භාවයයි. ඉතින් ඇතිලිවැව සුමනෙලා, ජෙනරාල් රන්ජන් විජේරත්නලා හා වරුණගම කිරිබණ්ඩේලාගේ ඉරණමට සම්බන්ධ නවකතාවකට ලෝක ප්‍රකට සම්මානය දෙන්නේ එම භීෂණයේ ම කොටස්කරුවෙකු වූ බුකර් ටේට් සමාගම විසින්මය. ඉතිහාසයේ කොතනකහෝ බරපතල වැර දිමක් ද? නතිනම් අපට අපේම වලගය පෑගී මේවා ලියවෙනවා ද?
 
මෙහි පොදු අත්දැකිම අනෙකකි. ඔබට ඉතිහාසය මහමෙරක් සේ නොගන්න. කවර වර්ගයක අපරාධවලින් හෝ උපයා ගත් මුදලින් එක සම්මානයක් දෙන්න. එවිට ඔබේ නම්බුව රැකේ. හරියටම මාළු අයිනකට කෑම දුන්නාසේ ඔවුන් පොරකමින් එය භුක්ති විදිනු ඇත.
 
[ 23/10/22 ඉරිදා අරුණ ]
@Nandana Weerarathne
 
“ලංකාවේ දිළිදු ගෝවින්ට බුකර් තෑග්ග” [2014] වාර්තා චිත්රපටය මේ ලිංකුවෙන් නැරඹිමට පුළුවන.
 

නවතම ලිපි