සොර දෙටුවකුට පෙම් බැඳි කුණ්ඩල කේශී..

පණ්ඩිත් අමරදේවයෝ  දිනක් ඩෝල්ටන් අල්විසුන් මුණගැසීමට පැමිණියහ. අමරදේවයන්  හදිසියේම ඩෝල්ටන් හමුවීමට  පැමිණියේ ඔහු විසින් නිර්මාණය කරන ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට  ගීතයක් ලියවා ගැනීමටය. "ඩෝලේ" (ඩෝල්ටන් අල්විසුන්ගේ මිතුරන් ඔහුට ආදරයට කතා කළ නම) අපි කොහෙ හරි යමුද?අමරදේවයෝ ඇසීහ.අමරදේවයන්ගේ යෝජනාවට ඩෝල්ටන් ද එකපයින් එකඟ විය.අනතුරුව අමරදේවයන්ගේ මෝටර් රියෙන්ම දෙදෙනා  ගාලු මුවදොර බලා පිටත් වූහ.අමරදේවයෝ කෙළින්ම තමාගේ අවශ්‍යතාව ඩෝල්ටන්ට කීහ.

තරමක් කුතුහලයෙන් හිස සැලූ ඩෝල්ටන් අලුතින් ලියන්නේ කුමක්දැයි  කල්පනා කළේය. ඔවුහු මුහුදු සුළං පහස විඳිමින් සැඳෑ  වෙරළේ ඇවිදිමින් සිටියහ.මෙහිදී එකවරම  දුටු දසුනකින්  ඩෝල්ටන් විස්මයට පත්වූයේය.අක්බඔරු දිගු කේශ කලාපයක් සහිත  රූමත් යුවතියක් ඔහුගේ නෙත ගැටිණ.දිගු  වරලස සුළඟට මුදාහරිමින් කෙළිදෙලෙන් හැසිරුණු ඇය දුටු මතින් ඩෝල්ටන්ට බෞද්ධ කතා පුවතක් වන කුණ්ඩල කේශී කතා වස්තුව  සිහිපත් විය.එසැණින් සාක්කුවේ රුවාගෙන සිටි කොලයයි පෑනයි අතට ගත් ඩෝල්ටන් ගීතයේ මුල් පද පේළිය ලියුවේය.

නීල වරල නිල් චාමර
පවන් සලන්නී
කුණ්ඩල කේශී
කුණ්ඩල කේශී

ගීතයේ ස්ථායි කොටස පමණක් අමරදේවයන් අතට පත්කළ ඩෝල්ටන් ඉතුරුටික ⁣ගුවන් විදුලියට ගිහින් දෙන්නමි යැයි පැවසීය.අමරදේවයෝ ගීතය ලද සැණින් ඊට කිසියම් තනුවක් තනන්නට තතනමින් සෙමෙන් වචන මුමුණන්ට වූහ.අනතුරුව මෝටර් රිය පණ ගැන්වු අමරදේවයෝ ඩෝල්ටන් කැටුව  ගුවන් විදුලි සංස්ථාව බලා ගියහ.රිය පදවන අතරතුර තනුව මුමුණමින් සිටි අමරදේවයෝ එකවරම නිදහස් චතුරස්‍රය වටා මෝටර් රිය තෙවරක් කරකවන්නට වූහ. මේ සිද්ධියෙන් අන්දුන්කුන්දුන් වූ ඩෝල්ටන් තරමක් තැති ගත්තේය.

අවසානයේදී ඔහු "මොකද අමරේ වාහනය එකම තැනක කරකවන්නේ" යැයි  ඇසීය.එවිට අමරදේවයෝ "හරි ඩෝලේ වැඩේ හරි"යැයි කියමින් මහ හයියෙන් සිනාසුණහ.කුණ්ඩල කේශී වූකලි ඔවුන් දෙදෙනාගේ  සුසංයෝගයෙන් බිහිවුණු ඒ විශිෂ්ට ගීතයයි.

 

 

මේ ගීතයට පසුබිමින් කුණ්ඩල කේශී කතා වස්තුව තිබුණ ද කතා⁣වේ සාරය මුළු ගීතයේම අන්තර්ගත නොවේ. මේ වුකලි කුණ්ඩල කේශී නමි සුන්දර ලලනාව පිළිබඳ වැනුමකි.එහෙත් එම ලිය වැනුම ඔස්සේ රචකයා සහෘද රසිකයා සුන්දර ඉසවිවකට කැඳවාගෙන යයි. දෙවැනි අන්තරා කොටසෙහි පමණක් කුණ්ඩල කේශීගේ ස්වාමියා ඇය මරා දැමීමට කඳු මුදුනකට යෑමට කරන ඇරියුම පිළිබඳ කිසියම් ඉංගිතයක් සපයයි. මේ ගීතයේ ස්ථායි කොටස පවා ඉතා කෙටිය. මෙහිදී ඩෝල්ටන් අල්විසුන් සංගීතඥයාට වැඩි ඉඩක් දී ඇත.එමෙන්ම ගීතය කවියෙන් වෙන්කර ගැනීමට අල්විසුන් දරන ප්‍රයත්නය ද පැසසිය යුතුය.ගීතය පිළිබඳ පුළුල් රසවින්දනාත්මක එළැඹුමකට ප්‍රවේශ වීමට පෙර අපි ඊට පසුබිමි වු කුණ්ඩල කේශී නමි කතා පුවත කුමක් දැයි සැකවින් විමසා බලමු.

කුණ්ඩල කේශී නමි සිටු දියණිය සර්වනාරි ලාලිත්‍යයෙන් ද සර්වාභරණයෙන් ද සුවිභූෂිත වූ අභිරූපිකාවකි.රූපශ්‍රීයෙන් අගතැන්පත් මේ සිටුකුමරිය වරදේ බැඳේවි යැයි මවුපියෝ බිය වූහ. ඔවුහු තම දියණිය සොළොස් වියට පා තැබීමත් සමඟ මාලිගයේ උඩුමහලේ සිර කළහ. දියණියගේ ආරක්ෂාව වෙනුවෙන් මවුපියෝ මේ පියවර ගත්හ.එහෙත් දිනක් සඳලුතලයේ සිට පාර දෙස බලාගෙන සිටි කුමරිය අපූරු දසුනක් දුටුවාය. මරණ දඬුවමට  රැගෙන යන සොරදෙටුවකු ඇගේ නෙත ගැටිණ. ආරෝහ පරිනාහ දේහයෙන් යුතු කඩවසම් තරුණයා පිළිබඳ ඇයට ආදර සිතක් පහළ විය. චිත්ත පීඩාවෙන් නිවාස අඩස්සියේ සිටි කුමරිය අවසානයේදී එම සොරදෙටුවා සමඟ සරණ බන්ධනයට පිවිසීමට කල්පනා කළාය.එහෙත් මවුපියෝ තම දියණියගේ කැමැත්තට එකඟ නොවූහ. දිවා රෑ නොකා නොබී සොරා වෙනුවෙන් වැළපුණු කුමරියගේ දුක දැක අවසානයේ මවුපියෝ තම පණ මෙන් සුරැකි දියණිය සොරාට සරණපාවා දුන්හ. එහෙත් කුමරියගේ සිතේ උපන් අකලංක ප්‍රේමය හඳුනානොගත් එම සොරදෙටුවා තෘෂ්ණාවෙන් මඬින ලද  සිය ජන්ම ගති පසක් කරමින්  බිරිය මරා ඇය සතු සියලු රන්,රිදී,මුතු,මැණික් දේපළ සොරා ගන්නට සිතුවේය.

බාරයක් ඔප්පු කිරීමට යැයි මුසාවක් ගොතා ඔහු බිරිය  රැගෙන දෙවියන් වැඩ සිටින කඳු මුදුනකට ගියේය.සැමියාට පණමෙන් ආදරය කළ අැය ඔහුගේ රැවටීමි බහට මුළාවූවාය. සැමියාට අවශ්‍යවූයේ තම ධනවත් බිරිය කන්දෙන් පහළට තල්ලුකර මරා සියලු දේපළ තමා සතුකර ගැනීමටය.එහෙත් අවසානයේදී සිටුදේවියට නුවණ පහළ විය. ඇය සැමියාට පෙර ඉස්සර වූවාය.ඇය සිය කෛරාටික සැමියා ආලයෙන් මත්කොට කන්දෙන් පහළට තල්ලු කර මරා දැමුවාය.ජීවිතය පිළිබඳ කලකිරී අන්තිමේදී ඇය බුදුන් සරණ ගියාය.අක්බඔරු කේශ කලාපයක් සහිත තැනැත්තියක වූ හෙයින් ඇයට කුණ්ඩල කේශී නමි පට බැඳුණි. සද්ධර්ම රත්නාවලියේ එක් කතා පුවතක් ලෙසින් එන කුණ්ඩල කේශී කතා වස්තුවෙන් එහි කතුවර ධර්මසේන හිමියෝ මානව ⁣ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ අපට බොහෝ තතු කියා දෙති. මේ කතා පුවත තුළ තිබෙන අතිශය සංකීර්ණ මානව ක්‍රියාදාමය ඩෝල්ටන් අල්විසුන් ගීතයට විෂය කර නොගත්ත ද පෙ⁣ර කී පරිදි ඔහු ගීතයේ දෙවැනි අන්තරා කොටසින් කිසියම් ඉඟියක් පළ කරයි.එහෙත් මේ ගැඹුරු කතා පුවත සරල ගීතයකින්  රසවත් භාෂා හරඹයකින් ඉදිරිපත් කිරීමට ඩෝල්ටන් අල්විසුන් ගෙන ඇති ප්‍රයත්නය ප්‍රසංශනීයය.

නෙත උපුලින් වත කමලින්
ගත දුලවන්නී
සිහින් සිනා කැන් දහරින්
මන බැඳලන්නී

ඇගේ ඇස් ඕලු මල් මෙනි. සුන්දර⁣ය, පිවිතුරුය, සුපැහැදිලිය, කාන්තිමත්ය. සුන්දර සිරුර රක්ත වර්ණයෙන් දිදුළන නෙළුමක් බඳුයි. මෙතරම් සුන්දර පියුම් සදිසි රුවනාරී ළඳකගේ ගත කෙසේ නමි නොබබළවයිද? ⁣මෙහිදී රත්න ශ්‍රී විජේසිංහයන් ලියු ඒ හා සමාන පද අරුත් සහිත  ගීතයක් ද මගේ මතකයට නැගේ.ඒ ජනප්‍රිය ගායක චන්දන ලියනාරචිචි ගයන "සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්" නමැති අතිශය ජනප්‍රිය ගීතයයි.එම ගීතයේ  ස්ථායි කොටසෙහි නෙත නිලුපුල් වත රතුපුල් යනුවෙන් විජේසිංහයෝ ලියති.මෙහිදී යුවතියගේ ඇස් නිල් මහනෙලකටත් සිරුර රතු නෙළුමකටත් විජේසිංහයෝ  සමාන කරති.කෙසේ වෙතත් කවි සිළුමිණ හෙවත් කුසදාවත නමැති මහාකාව්‍ය රචනා කළ  කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමන් පබාවතියගේ රූසපුව වර්ණනා කිරීමට ද රතුපුල්,උපුල්,නිලුපුල් යන මල් වර්ග උපයෝගී කොට ගනී.එහෙත් පරාක්‍රමබාහු කිවිඳුන් එහිදී රතුපුල් නමැති වචනය යොදා ගනුයේ පබාවතියගේ දෙතොල්  වර්ණනයටය.

දසන් වැල සිඳුවර මුව මී විතැපිලැ දුලු
දල වන් ලවන් රතුපුල් වෙසෙසත් බසැත් ල' තමා

මෙහිදී කවියා පබාවතියගේ  දෙතොල් මධු භාජනයක පාවෙමින් බැබළුණු රතුපුල් හෙවත් රතු නෙළුම් පියලි දෙකකට සමාන කරයි.  ඩෝල්ටන් අල්විස් සූරීහූ ද මේ ගීතයට උපමා උපමේය මනරම් අයුරින් භාවිත කරති.

සිහින් සිනා කැන් දහරින්
මන බැඳලන්නී

ඇගේ සුන්දර මුව කමල  සිහින් සිනාවකින් පිරී ඇත.මනස්කාන්තය. සිත්ගන්නාසුලුය. ඕලූ නෙළුම් මල් මෙන් සුදිළෙන එරන් රූසපුවක් ඇත්තියෝ වරඟනෝය.වරඟනෝ නමි අපරිමිත රූපශෝභාවෙන් සමලංකෘත වූ යෞවනියෝය.

ගිරි දේවිය විලස රුවන්
භරණින් ගත සරහාගෙන
ගිරි මුදුනත දෙවි අරණට
යමු අපි ළඳුනේ නොලසින
කුණ්ඩල කේශී
කුණ්ඩල කේශී

කුණ්ඩල කේශී කතා වස්තුව කෙටියෙන් හකුළා දක්වමින්  ලියා ඇති එකම පද  පේළිය මෙයයි.කුණ්ඩල කේශීගේ සොරදෙටු සැමියා බාරය ඔප්පු කිරීමට ඇය කැටුව කඳු මුදුනට යාමට කරන ආයාචනය මේ පැදි පෙළෙන් සුවිශද වෙයි.කන්ද මුදුනේ සිටින ගිරිදේවිය මෙන් රන් අභරණින් සැරැසි එහි තිබෙන දේව ආරණ්‍යයට ඉක්මනින් යමු යැයි ඔහු ඇයට පවසයි.ඔහු මෙතරමි ආදරයෙන් ඇය කඳු මුදුනට කැටුව යන්නේ කුමකටද?ඇය සතු සියලු සේසත සොරා ගැනීමටය.බැලු බැල්මට අභව්‍ය කතා පුවතක් ලෙස මෙය පෙනුණ ද මිනිස් චෛතසිකයේ ගැඹරු පැතිකඩක් ඉන් නිරූපණය වෙයි.අමරදේවයන්ගේ කර්ණරසායන හඬ පෞරුෂය ද නාද සංයෝජනය ද ඩෝල්ටන් අල්විසුන්ගේ අතිවිශිෂ්ට පද සංයෝජනය ද  සහෘද රසිකයා සංකල්ප රූප රස මංජරියක ගිල්වයි.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ

නවතම ලිපි