ගාමිණී රැඟුවා නම් ජෝති ගැයුවා නම් එවන් චිත්‍රපටියක් ලාංකීය ප්‍රේක්ෂකයාට මඟ හැරුණේ නැත.

ගාමිණී-ජෝති සුසංයෝගයේ රසකාමී අස්වැන්න ජේ. සෙල්වරත්නම්, නීල් රූපසිංහ සහ ලෙනින් මොරායස් වැනි අධ්‍යක්ෂකවරුන්ගේ ජනප්‍රිය ප්‍රවාහී චිත්‍රපටවල ඕනෑවටත් වඩා තිබුණේය. මෙම ගීත සිනමා තිරයේ දැකීමට ඇසීමට ප්‍රිය කළ තරම්ම සිනමා කර්මාන්තයත් රැකුණේය. ගාමිණීට ජෝති හඬ හැරෙන්නට වෙනත් හඬක් සම කළ නොහැකි ව තිබිණි. එය මෙකී යුගයේ සිනමා ක්ෂේත්‍රය පාලනය කලා වූ මහා සංස්කෘතික ප්‍රාග්ධනයකි.

70 දශකයේ මුල් වසර තුන තුළදී මෙම අධිපති සුසංයෝගයට විකල්පයක් සෙවීමට සිනමා අධ්‍යක්ෂකවරු උත්සුක වූහ. මෙදවස සිනමාව එතරම්ම කාර්යබහුලව තිබූ නිසා කලා ශිල්පීන් ශිල්පිනියන්ගේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු මෙයට හේතු වූවා විය හැක. ඒ අතරම නීල් රූපසිංහ 'හතර දෙනාම සූරයෝ' සඳහා 1971 දී ගාමිණී සමඟ සමපාත විය හැකි ජනප්‍රියත්වයකින් යුතු විජය කුමාරතුංග ද යොදා ගන්නා ලදී. මෙහි දී ජෝති හඬ විජය ගාමිණි දෙපළටම යොදා ගැනුණේ ය. නමුත් ගාමිණීට ලැබුණේ 'කොඩි ගහයට මම උපන්නේ' ගීතයේ ජෝති ගයන කොටස පමණි. මෙම චිත්‍රපටියේ අති ජනප්‍රිය වූ 'මේ දෑස මගේ පින්වන්තයි' 'අහා අහා ආදරණීය සිනා' ජෝති ගැයුවේ විජය වෙනුවෙනි. විජයගේ පෙම්වත් ප්‍රතිරූපය ගාමිණී පසුකරමින් නැගී සිටින විට ජෝති තව තවත් විජයට ගැයීමට විය. හතර දෙනාම සූරයෝ අති ජනප්‍රිය වීම නිසා නීල් රූපසිංහ තමන්ගේ මීළඟ නිර්මාණය 'ආදරේ හිතෙනවා දැක්කම' නිර්මාණය කරන්නේ සිංහල සිනමාවේ ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් ලෙසිනි. එහි අඩංගු වූ ගීත සංඛ්‍යාව 11 කි. විශේෂත්වය වන්නේ මෙම ගීත සියල්ලම පී.එල්.ඒ. සෝමපාල විසින් සංගීතය යොදා හොඳ රහක් ඇති තනු නිර්මාණය කරපු ගීත වීමයි. මෙහි ද විජය ගාමිණි එකට රඟපෑ අතර ජෝති ගැයූ ගී හතරින් තුනක්ම ගාමිණී වෙනුවෙන්ය. 'දෑසේ විමන් දොරින්', 'අඬන්නෙපා සුදු මැණිකේ' සහ තවත් ගීතයක් ගාමිණී වෙනුවෙන් ගැයූවේය. 'රෑ දවල් මල් රැඟුම් ඉඟි පානා' ජෝති ගැයුවේ විජය වෙනුවෙන්ය. නමුත් එක ගීතයක් ගාමිණී වෙනුවෙන් වෙනත් ගායකයකු ලවා පළමුවරට ගායනා කෙරෙනවා. ඒ මිල්ටන් මල්ලවාරච්චි ගයන 'මගේ ජීවිතයම වටහාගන්නට' ගීතයයි. පී.එල්.ඒ. සෝමපාල තනු නිර්මාණය කර සංගීතවත් කළ ගීතය අති මිහිරි සරල පද රටාවක් ඇති ගීතයකි.

එකම චිත්‍රපටයේ ජෝතිගේ සිට මිල්ටන්ට හඬ මාරු වීම ප්‍රේක්ෂකයා පුදුම කරවයි. නමුත් ගීතයෙහි ගාමිණී රංගනයද මුසුව එක්කර ඇති ප්‍රසාංගික විරහවෙන් ප්‍රේක්ෂකයාට ගැලවීමට නොහැක. ජනප්‍රිය තරු රිසිසේ පරිහරණය කරමින් රස නිෂ්පාදනය කෙරූ වාණිජ සිනමා අධිපතිත්වය ක්‍රමයෙන් තරගකාරී විය.

නවක අධ්‍යක්ෂකවරයෙකු වන මිල්ටන් ජයවර්ධන 1973 දී ගාමිණී-ජෝති පරිහරණය කරමින් 'සදහටම ඔබ මගේ' නිර්මාණය කරනවා. මෙම චිත්‍රපටයට මුදල් යොදවන්නේ සේන සමරසිංහ යි. සරත් දසනායක අතපය දිග ඇරලා සංගීත නිර්මාණය කරන ප්‍රථම චිත්‍රපටය ද මෙයයි.මෙහි දී ජෝති ගාමිණී වෙනුවෙන් 'අමර පෙම් ලතාවේ', 'වාසනාව දොර ඇරලා බලනවා' සහ 'දෑසේ මාගේ සැතපෙනා' යන අතිශය ජනප්‍රිය ගීත තුන ගායනා කරනවා.

මෙහි වාණිජ සාර්ථකත්වය හේතුවෙන් සේන සමරසිංහ තමාගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට පෙළඹෙනවා. ඔහු 'කස්තුරි සුවඳ' සැළසුම් කරන්නෙ මෙතැන් සිට. එහිදී සංගීත අධ්‍යක්ෂණයට සරත් දසනායක තෝරාගන්නා අතර ඉතා රසවත් ගීත හයක් නිර්මාණය වෙනවා. මේ අතර තවත් නවක අධ්‍යක්ෂකවරයකු වන විමලදාස පෙරේරා හර්බට් රංජිත් පීරිස් සමග එක්ව ගාමිණී යොදා 'සැණකෙළිය' නමින් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. 'සැණකෙළිය' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පැට්‍රික් දෙහිපිටිය විසින් කරනවා. 'සැණකෙළියේ' දී ගාමිණී-ජෝති සුසංයෝගය මුළුමනින්ම බිඳෙනවා. ගාමිණී වෙනුවට මිල්ටන් මල්ලවආරච්චි ගීත ගයනවා. 'සමනල රෑනක් සේ' සහ 'රැයක් උපද්දා' එම ගීත දෙකයි.

1974 මාර්තු වන විට සේන සමරසිංහ තම ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය 'කස්තුරි සුවඳ' සිනමාවට ගෙන එනවා. නැවුම් සුවඳැති ගීත ගුහාවක් වූ 'කස්තුරි සුවඳ' සොයා ඇදුණු ප්‍රේක්ෂක ජනයාට නුහුරු රහක් කස්තුරි සුවඳ තුළ තිබිණි. 'හද විමන් දොරින්', 'පාටපොදක් තිලකලා', 'ලස්සන ලෝකෙක ඉපදීලා' යන ගීත රසිකයින් පිස්සු වැට්ටවීමට සමත් වුණා. එදා මෙදා තුර අපූර්ව ප්‍රේම ගීත පර්යේෂණයක් වූ 'මල් වයසේ මධු සිහිනේ' වික්ටර්, ජෝති, ඇම්. එස් එකතුව ගැයූ එකම ගීතය ද ලෙස සරත් දසනායක නිර්මාණය කරන්නේ 'කස්තුරි සුවඳ' වෙනුවෙනි. කෙසේ වෙතත් ජෝති-ගාමිණී සුසංයෝගය වාණිජ සිනමාව ඔසවා සිටින තරම් තවමත් ශක්තිමත් .

 'කස්තුරි සුවඳ' තේමාව හැඳින්වූයේ ...

'ඉස්සර මම ඔබට කීවේ ඉර හඳ පවතින තාක් කල් ඔබ මගේ කියලා - අද මම ඔබට කියනවා ඔබයි මගේ ජීවිතේ කස්තුරි සුවඳ කියලා' යනුවෙනි.

කිව් පරිදිම සේන සමරසිංහගේ ප්‍රථම වෑයම සිනමාවට නැවුම් ජනප්‍රිය බීජ වැතිරූ 'කස්තුරි සුවඳක්' ම විය.

1976දී තම දෙවන නිර්මාණයට අත ගසන සේන සමරසිංහ අපූරු අවධානමක් ගන්නවා. එනම් ගාමිණී වෙනුවට ජෝති අතහැර මිල්ටන් මල්වාරච්චි යොදාගැනීම යි. මේ වන විට ගාමිණීට මිල්ටන් ගීත ගයා තිබුණේ මා ඉහත සඳහන් කළ 'සැණකෙළිය' චිත්‍රපටයටත් 'ආදරේ හිතෙනවා දැක්කම' හි එක ගීතයකටත් පමණයි. ජෝති අතහැරීම තුළ ප්‍රබල අවදානමක් තිබුනත් සේන සමරසිංහ අවදානම නොතකා අලුත් අත්හදා බැලීමකට යොමු වෙනවා. එහි ප්‍රතිඵලය 'නිල්ල සොයා'. සරත් දසනායකගේ අතින් නැවුම් ස්වතන්ත්‍ර නිර්මාණ ගීත හයක් නිර්මාණය වෙනවා. ගීත හයම හිට්! ගාමිණීගේ මුඛාභිනයට මිල්ටන් ගේ හඬ රන් රස වගේ නැවුම් විදියට ගැළපුණා. ජෝතිගේ සිට මිල්ටන් දක්වා මොන වෙනසක් ද? 'යෞවන උයනේ පියුම් තටාකේ', 'නිල්ල නගන ස්වර්ණ කිකිණි', 'පෙම් පෙම් පෙම් නද පාවේ', 'මියුරු පෙම් මදිරාවේ', 'කෙල්ලේ මා ආදර කෙල්ලේ' ගාමිණී වෙනුවෙන් මිල්ටන් ගැයුවා. 'නිල්ල සොයා' කොච්චර ජනප්‍රිය වූවාද කියනවා නම් දින සීය බලාගෙන යනකොට ගෙවී ගියා.

ඉන්පසු සේන 1978 දී ගාමිණී-මිල්ටන් සුසංයෝගය සමඟින් 'ආශා දෑසින්' නිර්මාණය කරනවා. එහි ගීත ද අතිශය ජනප්‍රිය වෙනවා. 'ආරාධනා ඉවසා', 'මුව මදහාසේ සී පද රාවේ', 'අනංග රන් හීය', 'විකසිත පැතුමන්', 'ආශා බැ‍‍ඳ‍ේ හදේ මා ආශා' එම ගීතයි. 1980 දී 'මල් කැකුළු' සඳහා ගීත හයක් නිර්මාණය වෙන අතර විශේෂත්වය වන්නේ එහි දී සේන සමරසිංහ තවත් අත්හදා බැලීමකට යොමු වීමයි. එය නම් කන්ඩායම් සංගීතයේ රැඳුණු ගායිකාවක් වන ශ්‍යාමි ෆොන්සේකා චිත්‍රපට ගායනයට යොදාගැනීමයි.ඇයගේ 'බිදු බිඳු කඳුළු ගලා' ගීතය 'මල් කැකුළු' වෙනුවෙන් නිම වෙනවා.ඒ වගේම 'මල් මල් වාරම්', 'සාගර ඉවුරේ', 'ලස්සන දෑසක්', 'හසරැල් කුසුමන් දසතින්' ආදී ගීත සමඟ සරත් දසනායක පර්යේෂණාත්මක වෑයමක යෙදෙනවා. 'ලා හිරුගේ සේයාවේ'‍ ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන සමග ගැයූ අතිශය වෙනස් කණ්ඩායම් ගීතයක්. මෙම චිත්‍රපටයට කණ්ඩායම් ගීත පහක්ම අඩංගුයි.

1981 දී 'චංචල රේඛා' නිර්මාණය කරනවා. එහි 'හස කැලුම් උදාවේවා', 'කීන දම් මිටක්', 'මී අඹ අත්තේ කොහෝ' වැනි ගීත නිර්මාණය වෙනවා. මින්පසු ගාමිණී, මිල්ටන්, සරත් දසනායක, සේන සමරසිංහ සුසංයෝගයෙන් බිහිවුණු චිත්‍රපට නිසා සිනමා සංගීතයට ජනප්‍රිය ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. සේන සමරසිංහ නිසා සිංහල සිනමාවට අලුත් ශානරයක් බිහිවෙනවා. ඒ යුගයේ දී එය හැඳින්වූයේ 'සේන සමරසිංහගේ චිරාගත ජනප්‍රියත්ව රටාව' යනුවෙනි. 1983 දී නිර්මාණය කරන 'ඈතින් ඈතට' චිත්‍රපටයට ගාමිණීව යොදා නොගත්තේ කුමක් හෝ හේතුවක් නිසා විය හැකිය. සේන කියන විදියට 'ඈතින් ඈතට' මුළුමනින්ම නවක නළු නිළියන් යොදා කිරීමේ අරමුණක් ඔහුට තිබී ඇත.මෙයද විශාල වාණිජ අවදානමක් ගත් තීරණයක් වුවත් 'ඈතින් ඈතට' ඔහු නොසිතූ ලෙස ජනප්‍රිය වෙනවා. ගාමිණී නොසිටියත් මෙම චිත්‍රපටියේ දී ද සරත් දසනායක තැනූ ගීත චිත්‍රපටියේ සාර්ථකත්වයට හේතුව වෙනවා. 'කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා', 'බෝධියේ විහාරයේ', 'සීතයි හරියට හිම ගානයි', 'අත්වැල් අල්ලා හසරැල් පාලා' සහ ශ්‍යාමි ෆොන්සේකා, නීලා වික්‍රමසිංහ ගයන 'රන්මාල රන්තෝඩු රන්දා තියා' ගීත එහි වූවා.

තිදෙනා එක්ව ගොඩනැගූ සිනමා ගීතයට අවසාන තිත තබන්නේ 'යළි හමුවෙන්නයි' චිත්‍රපටයෙනි. ඒ 1986 යි. මෙම චිත්‍රපටිය වර්ණයෙන් නිමැවෙන අතර ගාමිණී වෙනුවෙන් මිල්ටන් ගැයූ ගීත වූයේ 'ඔබයි මමයි මැවූ සිහින', 'සඳ පායා ආකාසේ', 'පොඩි පුතු ඔබ මාගේ' යන ගීතයි.

ලාංකීය සිනමා කර්මාන්තයේ බිඳවැටීමත් සමඟ සේන සමරසිංහ තම චිරාගත ජනප්‍රියත්වය රටාව සටන්කාමී බවට පත් කරනවා. ඉන්පසු එන්නේ ෆයිට් නැත්තම් ෆිල්ම් නෑ වගේ කාලයක්.

නවතම ලිපි