අශෝක හදගම, රූකාන්ත ගුණතිලක, නවරත්න ගමගේ සහ උමාලි තිලකරත්නගේ සුසංයෝගයෙන් ‘‘කලු ලිලී මල් කැකුළී‘‘ නමින් ගීතයක් යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබුණා.

ඒ මගින් කෙරෙන්නේ හමේ පාට කලු පාට කිසියම් සෞන්දර්යාත්මක වින්දනයකට ලක් කිරීම. මේ ගීතය දැක්කාම මට 2002 දී ‘‘අදුරු පරිච්ඡේදය‘‘ නමින් මම කළ ප්‍රදර්ශනයේ ‘‘ගැහැණු අවතාරය‘‘ හැටියට නම් කළ මෙහි පළමුවැනියට දක්වලා තියෙන මගේ චිත්‍රය මට මතක් උනා. දෙවෙනි ඡායාරූපයේ ඉන්නේ ගීතය වෙනුවෙන් දෘෂ්‍ය ආඛ්‍යානයේ එකම මනුෂ්‍ය රූපය වන උමාලි යි. ගීතයට අනුව හගවන කලු ලිලී මල් කැකුළිය ඇයයි.

මේ ගීතය හරි ම රසවත්. ගොඩ කාලෙකින් පස්සේ රූකාන්තගේ ගීතයක් අහන්න ලැබීම ගීතයේ සෞන්දර්ය අද්දැකීමට වඩා වැඩි දෙයක්. මට මේ ගීතය අහන්න ගන්න කොට ම ඉබේට ම වගේ ඉන්ද්‍රාණි පෙරේරා ගයන ‘‘ඔබ සොයනා කලු කෙල්ල මමයි‘‘ ගීතයත් මතක් උනා. මේ ගීතයට පෙර කලුබව සෞන්දර්යයක් කරපු ගීතයක් වන්නේ එම ගීතයයි. මගේ චිත්‍ර කලා භාවිතයේ සක්‍රීය සුහුඹුල් අවධියේත් මගේ කලාවේ පොදුගුණාකාරයේත් නිලයත් කලු පාටයි. මට හිතුණා මගේ චිත්‍රයත්, කලු පාටට අපේ ජන විඥානයේ තියෙන තැනත් එක්ක මේ ගීතය විනිවිදින්න. 

මගේ චිත්‍ර කලාවේ කලුපාට විශේෂ වෙන්න තව හේතුවක් තමයි කලුවර. කලුවර කියන්නේ කලුපාට හැටියටයි අපි හැමෝ ම දන්නෙ. අපේ කුඩා කාලේ අපේ ගමට ලයිට් තිබුණෙ නැහැ. ලයිට් තිබුණෙ නැති උනාට රෑ නමය විතර වෙනකං අපි ගමේ පාරවල් වල එහෙට මෙහෙට ගියා. සමහරෙක් ටෝච් එකක් අතැතිවයි ගමන් කරේ. සමහරෙක් හුලු අත්තක් පත්තු කරගෙනයි ගමන් ගියේ. පුස්සයිකල් වල ඩයිනමෝව මගින් එළිය ලබා ගන්නා ලාම්පු එළියෙනුයි සමහරෙක් ගමන් ගියේ. නමුත් වැඩි දෙනෙක් ගමන් ගියේ කලුවරේමයි. අඩි සද්දය හෝ බයිසිකලේක ටයර් ගුරු පාරේ ගැටෙන සද්දය හෝ බයිසිකලේක ප්‍රීවිලරය සමග චේන් එක ගැටෙන සද්දය එහෙමෙත් නැත්නම් උරුහන් බෑම, බීඩියක ගිනිපුළුගු වල එළිය, බීඩි ගද, තනියම මුමුණන ගීතයක හඩ, ඔන්න ඕවාගෙන් තමයි ලගට හමු වෙන්න කලින් ඉදිරියේ පැමිණෙන හෝ බයිසිකලේකින් තමන් පසු කරගෙන යන කෙනෙකු අපි හදුනා ගත්තේ. මේ කලුවරේ පුස් සයිකල් වල යන ගොඩාක් අය කවුරු හරි පාරෙ ඇතිය කියලා හිතාගෙන කොහොමටත් සද්දෙ දමාගෙන තමයි යන්නෙ. ඒ වගේ ම ඒගොල්ලන් ඉතාම හෙමීටයි කලුවරේ යන්නෙ. කාගෙ හරි ඇගේ හැප්පුණත් ඒ යන වේගයේ හැටියට අනතුරක් වෙන්නේ නැති තරම්. මම කලුවරේ ෆුස් සයිකලේ යන කොට ඒ ශික්ෂණය මට තිබුණෙ නැහැ. මම ගොඩාක් වෙලාවට අනතුරු වලට මූණ දුන්නා. අනතුරක් උන වෙලාවට මොලේ පෑදුණත් ආයෙමත් ටික දොහකින් ඒක අමතක වෙනව ඉතිං. දවසක් මම කලුවරේ හරකෙකුගෙ ඇගේ හැප්පිලා බයිසකලේත් එක්ක විසි වෙලා කටුපදුරු ගාලකට වැටුණා. ඒ වෙලාව එලොව ගිහින් මෙලොව ආවා වගේ අවස්ථාවක්. උදව්වටවත් කවුරුවත් නැහැ. ඒ මදිවට පේන්නෙත් නැහැ. කවුරු හරි එනකං කටුවැල් ගොඩ උඩ ඉන්නත් බැහැ. එක අතක් උස්සන්න හදන කොට ඇගේ තව පැත්තක් තව දුරටත් කටුවැල් ගොඩ ඇතුලට ගිලා බහිනවා. ඔන්න ටික වෙලාවක් ගියාම තමයි අපේ තාත්තාගේ අම්මාගේ නංගීගේ පුතෙක් උන බාල මාමා එතැනින් ගියේ.

කලුවරේ උනත් කටහඩින් රූපයට වඩා එකිනෙකා හදුනා ගැනීමේ හැකියාව ඒ කාලෙ හරි ඉහලයි. බාලෙ මාමා ඉක්මනට ලග පාත සිරිපාල මාමලාගේ ගෙදරට ගිහින් සිරිපාල මාමත් එක්ක ටෝච් එකක් අරගෙන ඇවිල්ලා දෙන්නාම එක්ක එකතු වෙලා පැය භාගයක තරම් මෙහෙයුමකින් පස්සේ ඔන්න මම කටුවැල් ගාලෙන් නිදහස් කර ගත්තා. නිදහස් උනාට පස්සේ ‘‘තොට කොච්චර කිව්වත් අහනවයි කලුවරේ හයියෙන් යන්න එපයි කියලා. ඔයින් ගියා ඇති‘‘ කියලා බාලෙ මාමාගෙන් ටොක්කක් කන්න වෙච්ච එක කටු අකුළේ වැටුණාටත් වඩා අමාරු උනත් මම ඒකට කේන්ති ගත්තෙ නැහැ.

නන්නාදුනන පළාතකදි වගේ නෙමෙයි තමන් දන්නා කියන පළාතකදි කලුවරේ උනත් පරිසරය ගැන අවබෝධයක් තියෙනවා. රූප වල ඡායාවකුත් යාන්තමට පේනවා. ඒක මහ පුදුම දෙයක්. දවසක් මම අපේ ඉස්කොලෙ පිටිපස්සේ ගෙදරට ගියා මී කිරි ගේන්න. එදා ගියෙත් කලුවරේ ම තමයි. අපේ ගෙදර ටෝච් එකක් තිබුණාට බැලූ වෙලාවක් ඇත්නම් ඒකෙ බැටරි බැහැලා. බැටරි බහින කොට අලුත් බැටරි කෑලි තුනක් දමන්න ගොඩාක් වෙලාවට සල්ලි තිබුණෙ නැහැ. තාත්තා කඩේක බොර්ඩ් එකක් ඇදලා සල්ලි ගත්ත දවසකදිනම් ඔන්න බැටරි අලුතින් ගන්නවා. ඒත් හැමදාක ම එහෙම නෑ. ණය තුරුස් ගෙව්වම සල්ලි ඉවරයි. ඒ නිසා අපේ ගෙදර ටෝච් එක බැටරි නැතුව බර නැති බොල් ටෝච් එකක් හැටියට අහුමුල්ලක අරක්ගෙනයි හැමදාම තිබුණෙ. හුලු අත්තක් පත්තු කරන් යන්න කියලා අම්මා කොච්චර කිව්වත් මම ඒකනම් කරේ ම නැහැ. හුලු අත්තක් පත්තු කරන් කලුවරේ යන්නේ වයසක උදවිය සහ ගෑනු මිසක් නාඹර කොල්ලන් නොවන බවයි මම හිතුවේ. අනෙක හුලු අත්ත නිවුණට පස්සෙ තියෙන කලුවර ගෙදරින් පිට වෙන කොට තියෙන කලුවර වගේ නෙමෙයි. කරකවලා අතෑරියා වගේ යන්නෙ කොහේද මල්ලෙ පොල් වගේ මාව පට්ට අවුල් කරනවා. ඉතිං එදා මම මී කිරි ගේන්න ගියෙත් කලුවරේමයි. හුංගම ටවුම තියෙන පාරට වැටිලා පාර හරහා අතුරු පාරකින් තමයි මී කිරි තියෙන ගෙදරට ගියේ. ඒ කාලේ භීෂණ කාලේ මුල් ළකුණු පෙන්නන්න ගත්ත කාලෙ. අතරින් පතර යම් යම් ඝාතන උනාට ජන ජීවිතය සාමාන්‍ය වදියටයි තිබුණෙ. ඔන්න මම මීකිරි ගෙදර ආසන්නයට ගියා විතරයි පාර දෙපැත්තේ සූරිය ගස් උඩ ඉදලා කුඩා අතු ඉති කඩාගෙන ම කලුවරේම දෙතුන් දෙනෙක් බිමට පැන්නා. සපත්තු දා ගත්ත කට්ටිය බව තේරුණේ සපත්තු සද්දයෙන්. එක්කෙනෙක් මගේ මූනට ටෝච් එක ගැහුවා. මම හොදට ම බය උනා. කොහේද යන්නෙ කියලා ඇහුව ම මම කිව්වා මී කිරි ගේන්න යන්නෙ කියලා. මගේ මූණේ ඉදලා කකුල් දෙක වෙනකං එයාලා ටෝච් එක ගහලා බැලුවා. ඒ ටෝච් එලියට යාන්තමට මම දැක්කා ඒගොල්ලන්ගෙ ඇදුම් හමුදා ඇදුම් වගේ ම ඇදුම් බව. හැබැයි පාට කලු පාට. ඒගොල්ලන් මට යන්න කිව්වා. ඒගොල්ලන් ගැන කාටවත් නොකියන්න කියලා මට තර්ජනය කරලයි ඒගොල්ලන් මාව පිටත් කරේ. මී කිරි අරගෙන නැවත මම ගෙදර බලා යන කොට ඒගොල්ලන් මට හමු උන ඉසව්ව මම පහු කරේ හරිම අමාරුවෙන්. පපුව ගැහි ගැහී තමයි මම ඒ ගොල්ලන් මට හමු උන ඉසව්ව නැවත පහු කරේ. ඒගොල්ලන් ඇදගෙන හිටපු කලුපාට, කලුපාට කලුවර අතරින් ම මට හිතින් මැවිලා පෙනුණා. කලුපාට මත කලුපාට වෙන් වෙලා පේන තරමට සූක්ෂමතාවක් ඒක. පහුවදා ආරංචි උනා මී කිරි ගෙදරට අල්ලපු ගෙදර සරත් ගාමිණි අයියා හමුදාවෙන් උස්සලා මරලා දමලා කියලා. සරත් අයියා අපේ ඉස්කොලේ ජ්‍යෙෂ්ඨ පන්ති වල කෙනෙක්. සරත් අයියා ජේ.වී.පී. කරා.

හිතින් උනත් මේ කලුවරේ කලුපාට පෙනුනත් කලු මනුෂ්‍යයින්ට දුක හිතුණාම සහ තරහා ගියාම මූණ රතු වෙන හැටිනම් පේන්නෙ නැහැ. අපේ ගම පිහිටි හුංගම ටවුමට අල්ලපු ටවුම තමයි තංගල්ල. තංගල්ල බටහිර සුද්දන් නිතර නිතර ගැවසෙන මුහුදු තීරයක් තියෙන කලාපයක්. ඒ නිසා අපි සුද්දන්ගෙ හැටි නිතර දකිනවා. මේ සුද්දන් අව්වේ ඉන්න කොට මූණු රතු වෙනවා. මූණේ තියෙන රුධිර කේශනාලිකාත් වෙලාවකට පේනවා. ඇග කොහේ හරි කැසුවත් එතැන රතු පාට වෙනවා. නමුත් කලුපාට හමක් තියෙන අයගෙ එහෙම පේන්නෙ නැහැ. පේන්නෙ නැති උනාට සුදු හමක් තියෙන අයගෙ වගේ ම ඒ දේ ම වෙනවා. ඉතිං මට පේන්නෙ නැති ඒ දේ කලුපාට අතරින් පේන්න සළස්සන්න ඇත්නම් කියලා මට පසු කලෙක හිතුණා.

අපේ අම්මා සුදු උනාට අම්මගේ අම්මා නම් කලුයි. සීයා සුදුයි. අපේ ආච්චි නිතරම අඩනවා. සමහරෙක් කිව්වේ ආච්චි බොරුවට අඩන බවයි. මමත් එහෙම නොහිතුවත් නෙමෙයි. නමුත් දවසක් ආච්චි අඩන හැටි දැක්කා ම මට හරියට දුක හිතුණා. අපේ ආච්චි සිගරට් බොනවා. ආච්චි තරුණ කාලේ ඉදලා ම සිගරට් බීපු බවයි පවුල් වල උදවිය කියන්නෙ. ආච්චි බිව්වේ ත්‍රී රෝස් සහ බ්‍රිස්ටල් යන සිගරට්. ආච්චිගේ සිගරට් බීම මුලු ගමට ම පට්ට සාමාන්‍ය දෙයක් වෙලයි තිබුණේ. නමුත් ආච්චිගේ සිගරට් බීම නිසා පාරෙ බැහැලා යන්න බැහැ කියලා ආච්චිගෙ එක පුතෙක් වන හිච්චි මාමා ගෙදර බඩු මුට්ටු පොළේ ගහලා ආච්චිගේ සිගරට් බීම නවත්තන්න වැඩ කරපු දවසකයි ආච්චි කවුරුවත් නැති තැනක අඩන හැටි මම දැක්කෙ. අපේ අම්මලාගේ පවුලේ උදවියගෙන් මේ හිච්චි මාමා විතරයි උසස් පෙළ වෙනකං ඉගෙන ගත්තෙ. හිච්චි මාමා ඉගෙන ගත්තෙ විද්‍යා අංශයෙන්. එදා ආච්චි අඩපු හැටි මට තාම මතකයි. ඒ අවස්ථාව මගේ හිතේ රෙජිස්ටර් උනා. හිච්චි මාමාගේ මතයත් එක්ක පිරිමි විතරක් නෙමෙයි ගෑණුත් ඔක්කොම එකතු උනා. ආච්චි තනි උනා. ආච්චි ඇඩුවාට මූන රතු නොවුණාට අපේ අම්මා අඩන වෙලාවල් වලදි මූණ රතු වෙනවා මම දැකලා තියෙනවා. ඉතිං කලු හමක් තියෙන ගෑණු සහ මිනිස්සුන්ගේ හැගීම්බර අවස්ථා මේ නිසා මට විශේෂ උනා. මේ ‘‘ගෑණු අවතාරය‘‘ කියන චිත්‍රයෙන් කලු මැද්දෙ රතු රුධිර වාහිණී සහ කේශ නාලිකා පේන ගෑනියක් තමයි මම ඇන්දෙ.

මේ කලු පාට ගැන දකුණු ආසියාතික කලාපයේ ගොඩක් අය හිතන්නේ අසුබවාදී පාටක් හැටියටයි. අපේ රටේ යක්ෂයා නිරූපණය කරන්නේ කලු පාටින්. ඒ වගේ ම ඇස් ලොකු, බඩ ඉදිරියට නෙරා ගිය, කොණ්ඩය කැරලි ගැහුණ, උසින් අඩු, මූණ රවුම් මෙන්න මේ වගේ දේහ ලක්ෂණ වලින් තමයි අපේ පන්සල් චිත්‍ර සහ මූර්ති වල යක්ෂයා නිරූපණය කරලා තියෙන්නේ. අදටත් යක්ෂයා පිළිබද හැගවුම දෙන්න අපි ඇදී යන්නේ මේ දේහ ලක්ෂණ වෙතටයි. ඇත්තටම විජයගේ පැමිණීමට පෙර ලංකාවේ වාසය කළ කුවේණි නියෝජනය කළ ජනයා හැදින්වෙන්නේ යක්ඛ යන ගෝත්‍රයට අයත් අය හැටියටයි. තත්වය එහෙම උනාට බටහිර රට වල මේ යක්ෂයා කියන්නේ හමේ පාට සහ දේහ ලක්ෂණ වලින් විශේෂ කරලා පෙන්වන කෙනෙක් නෙමෙයි. ආකල්ප අනුව චෛතසිකව යක්ෂයකු වන ආත්මයක් හැටියට. මම හිතන්නේ අපේ ආකල්ප ගැටළුවක් නිසයි කලු පාට වෙනුවට සුදු පාට අධිනිෂ්චය උනේ. යක්ෂයා හැර අනෙක් සියලුම චරිත සුදු කිරීමටත් පන්සල් කලාව වැඩ කරලා තියෙනවා. මෙහෙම පසුබිමකයි ලංකාවට කාර්මික තාක්ෂණයත් එක්ක පැමිණි බටහිර ජාතික සම්භවයක් තියෙන ලයනල් වෙන්ඩ්ට් කලු-සුදු ඡායාරූප මගින් ලංකාවේ කලු හමක් තියෙන මනුෂ්‍යයින් ඡායාරූපගත කරන්නේ. එක පැත්තකින් ඡායාරූප තාක්ෂනය හොයා ගත්ත රට වල මිනිස්සු ඡායාරූපයෙන් සුදු හම තියෙන මනුෂ්‍යයින් ඡායාරූපගත කරද්දී ලංකාවේ ලයනල් වෙන්ඩට් කලු හම තියෙන මනුෂ්‍යයින් ඡායාරූප ගත කළ නිසා ඡායාරූප කලාවේත් තාක්ෂණයේත් කාලරේඛීය ඓතිහාසික සළකුණක් ඇති උනා. තව පැත්තකින් කලු හමේ අසිරිය යක්ඛ කියන ගර්හිත තත්වයෙන් නිදහස් උනා. අද වන විට තත්වය වෙනස් උවත් ලංකාවේ කලාවේදී අතිශ්‍ය සාමාන්‍ය විදියට උනේ සුදුහම අසිරිමත් කිරීමේ පරිකල්පනයයි. මේ තත්වය තුළ කාන්තාවකගේ කලුපාට සුදු අතර විශේෂ කරලා ඉදිරිපත් කරන ‘‘කලු කැකුළී‘‘ ගීතය එක පැත්තකින් නව ශෘංගාරයක්.

සාමාන්‍ය යෙන් මම කලු වර්ණයේ සිට අවම වර්ණ පැහැ අන්තරයන්ට අදාළව සුදු පාට පාටක් හැටියට කලුත් එක්ක මිශ්‍ර කරන්නේ නැහැ. මම චිත්‍ර අදින්නේ කලු පාටින් ම විතරයි. මේ චිත්‍ර යේත් මම සුදු පාට පාටක් හැටියට අරගෙන නැහැ. කැන්වස් එකේ පසුබිම් සුදු පාට ඉතුරු වෙන්න සහ ලේයර් හැටියට ඇසේ දෘෂ්ටි විතානයෙන් මිශ්‍ර වෙන්න සැලැස්වීමයි මම කරන්නෙ. එතකොට තමයි කලු පාට පාටක් හැටියට දැනෙන්නෙ. සාමාන්‍යයෙන් මගේ හමේ පාට සුදු පාට හැටියටයි සැළකෙන්නෙ. සුදු පාටයි කියන මම කලු පාට ගැන උනන්දු උන එක හේතුවක් තමයි මම උපාධි පාඨමාලාවට මූර්ති තෝරා ගැනීම නිසා මූර්ති මාධ්‍යයයේ තියෙන ක්‍රියාවලිගතව කාලයත් එක්ක ඔට්ටු අල්ලන්න සිදු වෙන නිසා මගේ ක්ෂනික මෝචන මනෝභාවයට මූර්ති නොගැලපෙන නිසා මම මූර්ති හදනවා වෙනුවට මූර්ති අදින්න ගැනීම. මූර්ති වල ප්‍රධානතම මූලධර්මය ස්කන්ධයයි. මේ ස්කන්ධය වඩාත් හොදින් දනවන්න පුලුවන් කලුපාටින්. ස්කන්ධය කියන වචනයේ තේරුමින් සාක්ෂාත් කරගෙන නොහිටියත් මම මගේ කුඩා කාලයේ මේ ස්කන්ධය කියන එක තේරුම් ගත්තේ මීට පෙර මම කියා ඇති පරිදි ඇලේ වතුර යට කිමිදිලා නාන වෙලාවටයි. වතුර යට නාන වෙලාවට නානවාට වඩා මම කරේ වතුර යට බෘෂ්ලිගෙ සටන් ජවනිකා පුහුණු වීමයි. වාතාශ්‍රෙය්දී වගේ ගුරුත්වාකර්ශනයට යටත්ව අනතුරු සිදු නොවීමත් ලෝකයාගෙන් හැංගිලා මෙය කරන්න පුලුවන් වීමත් නිසා තමයි මම ඇලේ වතුර තෝරා ගත්තේ. ඒ වගේ ම ඇලේ වතුර යටදි එල්ල කරන පහරක වේගයට පුරුදු උනා ම වාතාශ්‍රෙය්දී ඒ පහරේ වේගය ගැන හිතා ගන්නවත් බැහැ. මේ නිසා ම මම මට කෙණහිලිකම් කරන යාලුවන්ව හැම තිස්සෙ ම මග ඇරියා. මම හිතාගෙන හිටියා මගේ අතින් උන්ට පහරක් එල්ල උනොත් ඒ කෙනා අනීවාර්යයෙන් ම මැරේවිය කියලා. දවසක් මාව සපා කෑ බල්ලෙක් නැවත නැවත මගේ ඉස්සරහට බුර බුරා ආපු වෙලාවක වෙන දෙයක් ගැන නොසිතා මම උගේ ඉදිරියටම ගිහින් මගේ ඇගට පනින බල්ලාගේ කටේ උඩු ඇන්දයි යට ඇන්දයි දෙකම අල්ලගෙන කට දෙපැත්තට වෙර වීරිය දමලා හයියෙන් ඇද්දා. ඊට පස්සෙ ‘‘ජරාස්‘‘ ගාලා සද්දෙට උගේ කට ඉරිලා ඇදි දෙක ගැලවිලා එල්ලා වැටුණා. ඊට පස්සෙ මට ඌ ගැන දුක හිතුණා. මාව සපා කෑමටත් වඩා මනෝපාරක වෙලිලා මම ගමන් කරන වෙලාවක අනපේක්ෂිත වෙලාවක එක සැරේට කොහේදෝ ඉදලා මගේ ඇගට කඩා පැනපු නිසා ඇති වුණ තිගැස්සීමත් එක්ක ඇති වුණ ක්ෂනික භ්‍රාන්තිය වෙන්න ඇති මම එහෙම දෙයක් කරන්න හේතුව. මේ වතුර යටදී මට මාව දැනුණ ආකාරයේ විකාශනයක එක අවස්ථාවක් තමයි මගේ කලු ප්‍රකාශන ආර.

මගේ කලු ප්‍රකාශන ආර චිත්‍රමය සෞන්දර්යයක් උනාට එය කලු මනුෂ්‍යයින් නිරූපණය කිරීමේ කලාවක් නෙමෙයි. කලු උවත් සුදු උවත් ස්කන්ධය නිරූපණය කිරීමේ කලාවක්. හදගම කලු-සුදු සිනමාවක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් මේ ගීතය සදහා හදගම තෝරගෙන තියෙන්නේ කලු-සුදු රූප භාෂාවක්. හදගම රචනා කළ මේ ගීතය ආරම්භයේදී මෙහෙම කියනවා.

අළු පාට හැන්දෑවක

සුදු පාට මල් යායක

කිරි සිනා කැටිව මුව අග

කළු පාටට ඔබ පිපුණා

කළු ලිලී මල් කැකුලී..

මෙතැන අලු පාට හැන්දෑව තමයි කලුයි සුදුයි අමුණන සෞන්දර්යයාත්මක හදබස. ඒක වතුර යටදි සිරුරක ස්කන්ධය පේනවා වගේ තත්වයක්. මොකද වතුර යට කලුවර නැහැ. නමුත් අලෝකයෙන් නිරවුල් වෙලත් නැහැ. කලුවර කිව්වාම කලුවර කලු පාට උනත් මට මතක කලු ඇදුම් ඇද ගත්ත හමුදාව ගැන මතකයක් එක්ක ගත්තා ම කලුවරට වඩා කලු පාටයි කලු ඇද ගත් හමුදාව. හදගමගෙ කලු-සුදු රූප රචනයේ කලුවරක් නැහැ. ඒක අහම්බයක් නෙවෙයි දේශපාලනික සවිඥානයක්.

කේමදාස හැරුණු විට මම ආසා කරන සංගීත නිර්මාපකයින් දෙන්නෙක් තමයි එච්.එම්.ජයවර්ධන සහ නවරත්න ගමගේ. මේ දෙන්නාගේ ගීත වල එක්තරා වැලපුම් තානයක් වගේ ම ශෘංගාර චමත්කාරයක් තියෙනවා. මේ ගීතයේ නවාගේ මැදිහත්වීම අපූරුයි. උමාලිගෙ රංගනයත් අපූරුයි. ඒ වගේ ම වෙනදා තියෙන දැගලිල්ලට වෙනස්ව කිසියම් පරිණතකමකින් නමුත් අභ්‍යන්තර ගීතවත් දැගලිල්ල තරමක් තනුකව එලියට විසි කරන රූකාන්තගේ ගායනයත් අපූරුයි. මේ සෞන්දර්ය අද්දැකීම දුන් හැමෝට ම ස්තුතියි.

නවතම ලිපි