ජනාධිපතිතුමා ජාතිය අමතනවයි කියලා දැන ගත්ත වෙලේ ඉඳං උන මරගාතේ හිටපු සිරිමතුන් හිටියේ අමුතුම කික්කෙකකිංය.

"මේ සැරේනං දෙකෙං එකක් කරයි වගේ.."

එතුමා නිතරම මිමිනුවාය.

"කොරයි..කොරයි..බලාන ඉන්නවා.."

ඒ හැම වෙලාවෙම ආර්යාවගේ රිප්ලයි එක පුල් නෙගටිව් වොයිස්සෙකකිං එලි බැස්සේ එකම රිද්මයටය.

ඊයේ හවස එතුමං ⁣බවනිං නික්මෙන්නට හැදුවේ ටවුමට ගොස් ටොපි රටකජු ටිකක් අරං එන්නටය., ජනාධිපතිතුමා ගේ කතාව යන අතරේ හප හපා ඉන්නටය.

ඒත් ආර්යා තොමෝ සිය නිෂේධ බලය යොදා ඒ ගමන අත් හිටුවා , සුදු නැන්දලාගේ කඩෙං චුයිංගම් අ⁣ටක් ගෙනවිත් මේසය උඩ තැබුවාය.

සිරිමතුන්ගේ බලාපොරොත්තු සිඳ බිඳ දමමින් හවස හය වෙනකොටම විදුලිය විසන්දි විය.

හවස හත වෙනකොටවත් කරන්ටෙක නාවේය.

"ඒයි හරි යන් නෑ වැඩේ..මං සාජං මාත්තයාලයෙ දිහා ගිහිං එන්නං..එහෙ සෝලා පැනල්ලෙකක් තියෙනවා.."

සිරිමතුන් කීය.

කොන්දේසි දහ නවයක් යටතේ එතුමන්ට අවසර ලැබින.

කෙසේ වෙතත් එතුමන් බවනෙං නික්ම යනවාත් එක්කම කරන්ට්ටෙක ආවේය.

ජනාධිපතිතුමා ද ගානට ජාතිය ඇමතුවේය.

තෙල් මිල වැඩි වෙන්නේ ගෝලීය අර්බුද හේතුවෙං බවත්, ඒකට එතුමාට කරන්ඩ දෙයක් නැති බවත්, කෙසේ වෙතත් ඒ තත්වය ගැන එතුමා තදින් සිටින බවත් එතුමා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කලේය.

කතාවේ හැටියටනං එතුමා රුසියාව පවා ප්ලැට් කරනු ඇතැයි සිතා මට අහිංසක රුසියන්කාරයෝ ගැන දරා ගත නොහැකි දුකක් ඇති වුනාය.

කෙසේ වෙතත් ජනාධිපතිතුමා ගේ කතාවෙං පැය කාලකට විතර පස්සේ ආර්යා තොමෝ දුරකතනයෙන් සිරිමතුන් ඇමතුවාය.

"මොකද කරන්නේ?"

"මොනා කරන්ඩද..ප්‍රසිඩන්ට්ගේ කතාව අහනවා...දැං තමා පටං ගත්තේ..."

සිරිමතුන් ගේ කටහඬ අනෙක් පැත්තෙන් ඇහුනු ගමං ඇතා වගේ සාලෙට වෙලා නිදි කිර කිර උන්නු ෂුද්ධා ආර්යාව දෙස බලා තාලෙට නැට්ට වැනුවේය.

ආයෙමත් පැය කාලකිං විතර එතුමිය සිරිමතුන් ඇමතීය.

"කතාව තව ඉවර නැද්ද..මොකද ප්‍රසිඩන්ට් කියන්නේ?"

" සව්බාගයේ දැක්ම කියවනවා...මූටනං පිස්සුම තමා..මිනිස්සු කන්ඩ බොන්ඩ නැතුව හිඟා කන මට්ටමට වැටිලා..ජීවත් වෙන්ඩ විදියක් නැතුව හොරකං කරනවා, මංකොල්ල කනවා..මේ යකා බයිලා ගහනවා.."

ෂුද්ධා නැවතත් නැට්ට වනා උගේ වටිනා සුවාමියාගේ හඬට ගරු කරන බව ප්‍රකාශ කල අතර, දුරකතනය විසන්ධි කල ආර්යාතොමෝ වහාම මේසය උඩ තිබුනු ඇගේ මුදල් පසුම්බිය පරික්ෂා කලාය.

එතුමියගේ මුව තඹර ක්ලියෝපැට්‍රාගේ මුහුන මෙන් රත් පැහැයට හැරෙනු පෙනින.

"දුප් පරයා එලියට...ගේ ඇතුලෙද තොට මුර කරන්ඩ තියෙන්නේ.."

ෂුද්ධාට ඒ සමඟම එල්ල වුනු කික් සොට්ටෙකට ෂුද්ධා නතර වුනේ අල්ලපු වත්තේ නැන්දලාගේ සැටිය යටය.

ඊ ලඟ වතාවේ එතුමිය ඇමතුවේ සාජං මාත්තයාටය.

"කොහෙද විමල් අයියා ඉන්නේ..?"

" ගෙදරනේ..ඇයි මොකෝ නංගී..?"

සාජං මාත්තයාගේ කට හඬ ටිකක් අමුතුය.

" නෑ නිකං..මාත්තයා මොකද කරන්නේ..?"

"ටී.වී.එක අස්සටම රිංගං අර පිස්සගේ කතාව අහනවා..ඇයි මොකෝ...ඔහොට කරන්ට් ආවද..?"

"මෙහෙටනං කරන්ට් ඇවිත් ගොඩක් වෙලා...ඔහෙ කරන්ට්ටෙක තියෙනවද බලන්ඩ මං ගත්තේ..."

"හා...ඇත්තද..මොකද සර්ට කියන්ඩෝනෑ..?"

" කියන්ඩ ඕනැ හරිය මං ම කියන්නං..පරිස්සමෙං ගෙදර එන්ඩ කියන්ඩකෝ..."

එයිං විනාඩි දහයක්වත් යන්ඩ කලිං සිරිමතුන්ගේ නිල රථය මිදුලේ ප්‍රාදූර්භූත විය.

විශාල මල්ලකුයි , කුඩා සොපින් මල්ලකුයි අරං එතුමා බවනට සම්ප්‍රාප්ත විය.

" මෙලෝ රහක් නැති කතාවක්නෙ...ෂිහ් විතරක්.... ඒක නෙවෙයි..අජියා හාල් වගේකුයි පොල් ගෙඩි ටිකකුයි දුන්නා.තියලා තියෙනවා.....මේකේ බිත්තර රොටී වගයක් ඇති..කාලා නිදා ගන්නවා.."

" ප්‍රසිඩන්ට්ගේ කතාව ඉවර වෙනකල් ඇහුවද?"

මේසේ උඩම තියා බිත්තර රොටී පාර්සලය දිග අරින ගමං ආර්යාතොමෝ විචාලාය.

"එහෙනං...?? පැයක් එකහමාරක් තිස්සේ මොනාද ඒ යකා කීවේ..?..ඌ හිතාන ඇති ඔය වැල්බයිලා ගහලා අපිව අන්දන්ඩ..හුහ්..මේ අපිව අන්දන්ඩ...!"

"කියලා වැඩක් නෑ..බතුත් තියෙනවා..කාලා ගිහිං නිදා ගන්ඩ..පින්නටද කොහෙද , සෙමත් බුරුල් වෙලා...උනත් වැඩි වෙලාද මංදා...කෝකටත් පැනඩෝල් දෙකකුත් බීලම නිදා ගන්ඩ.."

ආර්යාතොමෝ කිසිම අමුත්තක් නැතුවම දෙසා වදාලාය.

බිත්තර රොටියක්ම එක කටට ගිල දැමූ ෂුද්ධා ගෙයි දොරකඩ පත බෑ වී තපින්නට වුනෙං මාධ්‍ය වාර්තාකරනය අත් හිටුවන්නට මට සිදු විය.

ඒ වගත් මෙසේම,

- සිරිමත් උක්කුං බංඩා.

බවනේ මාධ්‍ය ප්‍රකාශක.

නවතම ලිපි