නෙරූදා නොලියු හඳගම ලියු කවිය.........

සිනමා අධ්‍යක්ෂවරයා යනු අප දැන සිටියා වු යථාර්ථය වෙනස් කරන්නෙකි. හඳගමයානු සිනමාව තුළ හඳගම විසින් අපේ යථාර්ථය කුඩුපට්ටම් කරමින් ඔහුගේ යථාර්ථය වෙත අප මත තබන්නට "ඇල්බොරාදා" හරහා සමත්ව ඇත. විශ්ව සම්භාවනාවට පත් ලෝක පුජිත පැබ්ලෝ නෙරූදා කවියාව, හඳගමගේ 'ඇල්බොරාදා"හරහා අසූචි ගොඩකට සමාන වීම කෙතරම් දුරට ඛේදජනකබවක් ගෙන දේද? අධෝ මුඛයෙන් පිටවන හුදු ගූ බෙට්ටකට පැබ්ලෝ නෙරූදා ලඝු වීම පැබ්ලෝට ආදරය කළ රසිකයන් කෙතරම් නම් කම්පනයට පත් කරන්නට ඇත්ද?

pablo2

නෙරූදා වන් ලෝක පුජීත කවියකු අසුචි බාල්දියකට සමාන කිරීම හඳගමගේ සිනමා හපන්කමයි. එය හාස්‍යයට ලක් වෙන සිදුවීමකි. පැබ්ලෝ නෙරූදලා වැනි කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතයන්හි දියාරු බව සහ එහි ස්වභාවය මෙයාකාරයෙන් බව හඳගම ඇඟිල්ලෙන් ඇණ පෙන්වන්නට "ඇල්බොරාදා" හරහා සමත්වෙයි. හඳගමගේ නිර්භීත බව මම අගයමි. පැබ්ලෝ නෙරූදා වැනි විශිෂ්ට කවියකුගේ ජීවිතය "ඇල්බොරදා " හරහා කෙළසු බව, නෙරූදාගේ බිග් ෆැන්ස්ලා හඳගමට දෙස් දෙයි. පහර ගසති. හඳගමගේ දෘෂ්ටිවාදය වන්නේ නෙරූදා නම් කවියා උමතු කාමයෙන් පෙළෙන, ගැහැණු සමඟ නිඳිවදින, ගැහැණුන් දූෂණය කරන හුදු සක්කිලියකු බවය.

මෙතනදි එක් ගැටලුවක් පැන නඟී. ඒ හඳගමගේ දෘෂ්ටිවාදය සමඟ එකඟ වනවාද? නැතහොත් නෙරූදාගේ ස්වයං චරිතාපදානය කියවා නෙරූදා සුචරිතයකු ලෙස අප භාරගන්නවා ද යන දෙකොණවිලක්කුවකට ප්‍රේක්ෂකයා මැදි වීමයි. ලංකාවේ බහුතර සිනමා ප්‍රේක්ෂකයා නෙරූදා පිළිබඳ සවිඥාණික නැත. අනිවාර්යයෙන්ම හඳගම විසින් චිත්‍රපටය හරහා ගොඩනඟන දෘෂ්ටිවාදයට නතු වීම වැළැක්විය නොහැකිය. එනමුත් පැබ්ලෝ නෙරූදා පිළිබඳ සවිඥාණික ප්‍රේක්ෂකයා හඳගම සමඟ එකඟ නොවනුවා ඇත.

ඒ කෙසේ හෝ වේවා "ඇල්බොරදා" චිත්‍රපටය හරහා ගැඹුරු සත්‍යයක් පිළිබඳ තතු විවර කරති. පිරිමියා ස්ත්‍රීය කෙරෙහි ඇති ආශාව පිළිබඳ ඇල්බොරදා චිත්‍රපටය හරහා කතා කරයි. ස්ත්‍රීය යනු පිරිමි ආශාවේ වේදිකාවයි. පිරිමි ලිංගික ආශාවේ ගොදුරක් බවට පත්වන ස්ත්‍රීය පිළිබඳ "ඇල්බොරදා" තුළ කථිකාවතක් ඇති කරයි. බුරුමයේ සිට එන ජොසී වැනි රැඩිකල්වාදී ගැහැණුන් ඉදිරියේ පැබ්ලෝ නෙරූදා වෙව්ලති. එහෙත් අසුචි බාල්දිය නිතර දෙවේලේ අස් කරන සක්කිල ගැහැණිය ඉදිරියේ නෙරූදා පැන්තරයෙකි. සමාජයෙන් ප්‍රතික්ෂේප වු තංගම්මා වැනි සක්කිළි ගැහැණුන් නෙරූදාගේ විජිතය ඉදිරියේ දණ නමයි. සක්කිළි යුවතිය නෙරූදා අතින් දුෂණයට ලක්වද්දී රත්නයියාට එය වැළැක්විය නොහැකි වුයේ යටත්විජිතවාදයට හසුවීම නිසා නොවේද? උපහාසය දනවන්නකි.

pablo1

චිලී දේශයේ මහා කවියා වු පැබ්ලෝ නෙරූදා 1929 ලංකාවට එන්නෙ චිලීහි කොන්සල්වරයෙක් විදිහට. චිත්‍රපටය ආරම්භ වෙන්නේ එතැනිනි. එතැන් පටන් ඔහු මුහුණ දෙන සහ අත්විඳින ස්ත්‍රී අලකලංචි රැසකි. නෙරූදාගේ ස්ත්‍රී ලෝලීත්වය කෙතරම්ද යත් පාර්වතීගේ පිළිමය ඉදිරියේ ආශාව උතුරා යති. පරිකල්පනීය පාර්වතිය පිළිබඳ නෙරූදාගේ තිබු ෆැන්ටසිගත ආශාව සක්කිළි යුවතිය හරහා මැඩගනී. නෙරූදාගේ ලංකා සංචාරය තුළ හමුවන ලයනල් වෙන්ඩ්ට් වැනි කලාකරුවකුගේ චරිතය හඳගම මැනවින් ඔපමට්ටම් කර තිබේ. ඔහුට මනුෂ්‍යත්වය පිහිටා තිබේ. රත්නයියා වැස්සේ තෙමෙන විට ඔහුට කුඩය අල්ලන්නට ලයනල් වෙන්ඩ්ට් නිරහංකාරයෙක් බව පසක් කරයි. 1929 යටත්විජිතවාදී දශකය ප්‍රතිනිර්මාණය කරන්නට හඳගම මැනවින් වෙහෙසී ඇත. දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය කරන ලද 1929 කොළඹ - වැල්ලවත්ත පෙදෙස හි පසුතල, ආලෝකකරණ අභ්‍යාස පිළිබඳ චිත්‍රපටය තදින් ඇඳබැඳ තබාගන්නට සමත් වෙයි.

චන්න දේශප්‍රියගේ අපුරු රූපරාමු චිත්‍රපටයේ වියමන බවට පත්වෙයි. රක්ත වර්ණ සාරිය, පාර්වතී පිළිමය, හිස මත තබාගෙන යන අසුචි බාල්දිය චිත්‍රපටයේ විශිෂ්ට සංකේත සහ රෑපකයෝ ය. නෙරූදාගේ බැල්ම(Gazing) යොමු වී ඇත්තේ පාර්වතී දෙවඟනයේ ප්‍රතිමාව වෙත ය. නෙරූදා නොලියු කවිය හඳගම ලියා තිබෙන්නේ අපව විශ්මයට පත් කරමිනි. නෙරූදාලා වැනි කලාකරුවන්ගේ ජීවිතයෙන් පෙත්තක් කපා පෙන්නන්නට එවැනි කලාකරැවන්ගේ සංකීර්ණත්වය පිළිබඳ හඳගම "ඇල්බොරදා " හරහා පෙන්වයි. හඳගම සිනමාකරුවා කළ යුත්තේ හුදු කාමාතුරයෙකු ලෙස නෙරූදා නිරූපණය කිරීම ද, නැතහොත් මනුෂ්‍යයෙකුගේ අභ්‍යන්තරය විෂයෙහි යථාර්ථයක් නිරූපණය කිරීම ද? සිනමාපටය අවසන නෙරූදා සක්කිලියකු බවට පත් කරන්නේ හඳගමම ය.

නවතම ලිපි