ගොළු හදවත සහ අප පිළිබඳ විවරණයක්!

“මොනවද දම්මි බොන්නෙ?”

“කැමති දෙයක්”

“කස ඇට දාල අයිස් සරුවත්වලට ඔයා තාමත් ආසද?”

ප්‍රථම වරට ඔහුගේ මුහුණේ සිනාවක් මතු විය. ඈ ද සිනාසෙන්නට උත්සාහ ගත්තා ය.

සේවකයා දොරට තට්ටු කරන හඬ ඇසිණි.

“ඔයාට ඕව තවම මතකයි”

(ගොළු හදවත 10 පිට)

golu hadawatha2

පැටි වියේ සිටම සාහිත්‍යයට ලැදි වූ, දහහතර හැවිරිදි යොවුන් වියේ සිටි කොළුවෙකුව මුල් වරටත්, අවසන් වරටත් හැඬවූ කෘතියක් වූයේ නම් ඒ ගොළු හදවතයි. පංතියේ පීරියඩ් අතර, ඩෙස්කුවේ පහත කොටසේ සඟවාගෙන ගොළු හදවත කියැවූ මේ යෞවනයාට එදින තම කඳුළු සඟවා ගන්නට කිහිප විටක් පංතියෙන් පිටතට යෑමට සිදුවිණි. එදා ඒ යෞවනයාගේ දෑස් තෙත් වූයේ සුගත් වීරසේකර ප්‍රේමයෙන් පරාජිතව විඳි වේදනාව හා සහකම්පනය වූ හෙයිණි. ඉන් වසර ගණනාවකට පසු ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ ගොළු හදවත සිනමාපටය  නරඹන වාරයක් පාසාත්, ගොළු හදවත චිත්‍රපටයේ ගීතයට සවන් දෙන වාරයක් පාසාත්, තරුණ වියට පා තැබූ එම කුඩා කොළුවාට නැවත නැවතත් එම හද බිඳුම් වේදනාව දැනෙයි. මේ සටහන, ඒ කුඩා කොළුවාගේ හදට දැනුණු ගොළු හදවතෙහි අප්‍රකාශිත ප්‍රේමය පිළිබඳ ඉසිරි විසිරි ප්‍රකාශනයක්ම වෙයි.

නුහුරු නුපුරුදු රහස පිළිබඳ

මිහිර ආදරයයි කියා…

පවුරු බැදගෙන ‍සිතක වැජබුනු

රසවතී නෑ කොයි ගියා…

යොවුන් වියේ බොළඳ ප්‍රේමය මොනවට දැක්වූ “බොළඳ නවකතාවක්” ලෙසින් ඇතැමෙකු විසින් තොරම්බල් කර දැක්වූ ගොළු හදවත, සැබවින්ම මුද්‍රණ වාර පිට මුද්‍රණ වාර ගණන් තැබූ ජනප්‍රිය කෘතියක් වූයේ, සැබවින්ම පාඨකයා එය හදවතින්ම බදා වැළඳගත් හෙයිනි. 1961 දී  කරුණාසේන ජයලතුන් විසින් ගොළු හදවත රචනා කරයි. එය 1962 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම-සම්මානයද ලබාගනී. මුල් පොත ලියැවී වසර සතකට පමණ පසු, ලෙස්ටර් ජේම්ස් පීරිසුන් විසින් ගොළු හදවත සිනමා කෘතියක් ලෙසින් ප්‍රතිරචනය කරයි. එතැන් පටන් අද වන විටත්, ශ්‍රී ලාංකීය සාහිත්‍යයේත්, සිනමාවේත් ඉසියුම් තැන් ස්පර්ෂ කළ රොමාන්තික කෘතියක් ලෙසින් ගොළු හදවත පවතී. ගොළු හදවත කෘතියට සම්මාන ලැබෙනා විටත්, එය මහත් ජනාදරයට පාත්‍ර වන විටත් එයට “බොළඳ නවකතාවක්” ලෙසින් යම්තාක් දුරකට අවඥාසහගත ආකාරයකින් සැලකූ ප්‍රවීණයන් සිටි බැව් කණින් කොණින් කියැවේ. එනමුත් අද වන විට පවා ගොළු හදවත ‘ක්ලැසික්’ නවකතාවක් වී ඇති යැයි කීම අතිශයෝක්තියක් නොවේ. කරුණාසේන ජයලතුන්ගේ ප්‍රථම නවකතාව ලෙසින් සනිටුහන් වන ගොළු හදවත, සිංහල නවකථාවේ ජනප්‍රිය රැල්ලක ආරම්භයද වූයේ යැයිද අදහස් දැක්වී තිබේ.

golu hadawatha 3

ලෙස්ටර් ජේම්ස් පීරිසුන් විසින් කළ ගොළු හදවත ප්‍රතිරචනයේදී සුගත් සහ දම්මි චරිත වලට පණ පෙවීම සඳහා තෝරාගැනුණු වික්‍රම බෝගොඩ සහ අනුලා  කරුණාතිලකත්, එතැන් පටන් සදාතනිකව අප සිත් තුළ සුගත් සහ දම්මිගේ රූපකායයන් ලෙසින් සනිටුහන් විණි. ජයලතුන්ගේ මනස් පුත්‍රයන් වූ සුගත්ගේ ගැටවරයෙකුට වඩා ළමයෙකුට ආසන්න පෙනීමක් පළ කළ පෙනුම වික්‍රම බෝගොඩ ඔස්සේ ලෙස්ටරයන් නිර්මාණය කළ සුගත්ට වඩා වෙනස් විණි. නමුත් ගොළු හදවත චිත්‍රපටයද නැරඹූ අප සිත් තුළ බොහෝ විට සුගත් ලෙසින් සනිටුහන් වූයේ වික්‍රම බෝගොඩගේ රූපකායේ සහ සාමාන්‍ය වෙලාවට දැඩි කල්පනාභරිත බවක් හෝ සංවේගයකින් සිටින බවක් පෙන්නුම් කළ, එහෙත් සිනහසුණු විට අහිංසක කම උතුරා යන්නේ යැයි ජයලතුන් සඳහන් කළ බුද්ධිමතෙකුට හිමි රූපකායේත් සම්මිශ්‍රණයකි. එහෙත් නවකතාවේ එන දම්මිගේ, වයසට වඩා ළාබාල පෙනුමැති සිහින් දිගටි මුහුණ සහ සිහින් අඟපසඟ ඇති දැරියට වඩා අප සිත්හි දම්මි ලෙසින් කැටයම් වූයේ, වඩා පිරිපුන් අඟපසඟින් සහ චන්ද්‍රමුඛීයක් මෙන්වූ, දඟකාරකමට වඩා කාන්තා ලාලස සුන්දරත්වය උතුරා යන වටකුරු මුහුණින් යුතු අනුලා කරුණාතිලක මැවූ දම්මීත් වෙයි.

ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි…

අසිරිමත් ලෙස වැඩුනු දේදුනු

කළුවලාවෙන් යට වුනා

මිහිරියාවිය අනේ දවසක

ඔබේ හදවත ‍ගොළුවුනා..

කරුණාසේන ජයලතුන්ගේම ගී පද රචනයකින් නිර්මාණය වූ ගොළු හදවත ගීය ඇසෙනා සෑම මොහොතකදීම, තක්ෂිලාවට පැමිණ දම්මි හා ප්‍රේමයෙන් වෙළුණු, ප්‍රේමය යනු කිමැයි පවසන්නට හෝ නොදත් ජීවිතයේ අරුණෝදයේදීම හදවත බිඳීයෑමේ මහත් ඛේදයට මුහුණ පාන්නට සිදුවූ සුගත් ගැනත්, ඒ සුගත් පිළිබඳව පිටු පරණ වූ නවකතා පිංචකින් කියැවූ ඒ යොවුන් වියේ හුන් කොළුවා පිළිබඳවත් මහා සංවේගයකින් මගේ සිත පිරී යයි. ළමයින්ට අනුරාගී ආලයක් පිළිබඳ සිතන්නට වයසක් නැති යැයි වැඩිහිටියන් පැවසුවත්, යොවුන් වියට පා තබමින් සිටි ඒ කුඩා කොළුවාටද කරුණාසේන ජයලතුන් අකුරු කොට ඉදිරිපත් කළ යෞවන ආලය මැනවින් දැනුණු සෙයකි.

සැබවින්ම යොවුන් ආලය වනාහි ජීවන අත්දැකීම් වලින් හෝ වැඩිහිටි හැඟීම් වලින් කිලිටි නොවූ, නුපුරුදු අනුරාගී හැඟුම් ගෑවී නොගෑවී යන අහිංසක හැඟීම් සමුදායකි. ජීවිතයේ අඩක් ගෙවා සිටිනා මේ මොහොතේ සිට නැවත එම අතීතය ආවර්ජනය කර බලන මට, යොවුන් පාසල් ප්‍රේමයක නොඉඳුල් මිහිර නැවත නැවතත් දැනේ.

“සුගත් නිවාඩු කාලෙ එන්න දවසක අපේ ගෙදර” වාර විභාගයෙන් පසුව දවසෙක මිතුරියනට හොරෙන් දමයන්ති කිවා ය.

“මම හිතන්නෙ නෑ, මට එන්න වෙයි කියල”

“ඒ ඇයි ?”

“හෙට එයි අයිය එක්ක යන්න. දැන් අයියලටත් නිවාඩු”

“නිවාඩු කාලෙ කොහෙ ද, ඔයා ඉන්නෙ ?”

“අපි වත්තට යනව. මම ලියුමක් එවන්නම්”

“එපා, එපා, ලියුම් එවන්න එපා”

“ඒ ඇයි?”

“අම්මල කැමති නෑ, ලියුම් එවනවට”

“මම නිකම් සැප සනීප කියල එවන්නම්”

“ඒත් එපා”

“එහෙනම්. ගෙදර එන්න කිව්වෙ ?”

“ඒක වෙනම එකක්. ලියුම් විසයි “ඈ සිනාසුණා ය.

ඔහු ද සිනාසීමට උත්සාය්හ කළේ ය.

“වත්තට ගිහිල්ල මොනවද කරන්නෙ ?”

“මොනවද, ඔහේ ඉන්නව. ගඟේ නාන්න යනව, ගම්මානයෙ ඇවිදින්න යනව…”

“උඩරට ගම්වල ලස්සණ මැණිකෙලත් ඇති ?”

“ඒ හිටියට අපිට මොක ද ?”

“ඇයි සුගත්ට නරක ද, මැණිකෙ කෙනෙක් යාළු කර ගන්න ?”

“ඇයි ඔයා ඉන්නෙ ?” දැඩි උත්සාහයක් නංවා ගෙන ඔහු කීය.

“මම හිටියට ? ලස්සණ මැණිකෙ කෙනෙක් යාළු කර ගන්න මේ නිවාඩුවට ගියාම”

ඇයගේ මුහුණේ සිනාව මොහොතකට අතුරුදහන් විය, ඔහු සිනාවෙමින් ඇය දෙස බලා සිටියේ ය. ඔහු තමා දෙස බලනු, ඈ හදිසියේ දුටුවා ය. එසේ දකිත් ම සිනාව යළි ඇයගේ මුහුණ අරක් ගත්තේ ය.

(ගොළු හදවත 58, 59 පිට)

golu hadawatha 5

යොවුන් ප්‍රේමය බොහෝ විට වැඩිහිටියෙකු සැහැල්ලුවෙන් පසෙකලන්නේ, එහි කිසිදු ගැඹුරක් නොපවතින්නේ ය යන අදහසේ හිඳිමින් බව රහසක් නොවේ. ඇතැම් විට කරුණාසේන ජයලතුන්ගේ ප්‍රථම නවකතාව වූ ගොළු හදවතට සාහිත ලෝකයේ සාධාරණය ඉෂ්ට නොවීමටද හේතුව, ඊට ප්‍රස්තුත වූයේ ‘බොළඳ’ යැයි සම්මත යොවුන් පාසල් ප්‍රේමයක් වීම ම විය හැකියි. එය එසේ වුවත්, ප්‍රේමයේ වූ සංකීර්ණ ගැඹුරත්, ඒ හා බැඳි සිතුම් පැතුම් වල ආකූල ව්‍යාකූල බවත් ගොළු හදවත නැවතත් කියවන මුහුකුරා ගිය අයෙකුට දැනෙනවාට අනුමානයක් නැත. යොවුන් කොළුවෙකු ලෙසින් ගොළු හදවත කියවන විට ප්‍රේමයෙන් සීසීකඩ වන සේ බිඳී ගිය සුගත් කෙරෙහි මහා සංවේගයක් පළවූවා විනා, කෙදිනක හෝ දම්මි කෙරෙහි සංවේගයක් සිතෙහි පහළ නොවූ බව දැන් මට සිහිපත් වෙයි. නමුත්, ජීවිතයේ බොහෝ දේ දැක මුහුකුරා ගිය මිනිසෙකු ලෙසින් ගොළු හදවත කියවන මට දම්මිගේ චිත්ත සන්තානයේ වූ රසබර හැඟීම්ද, ගොරතර හැඟීම්ද, කෙයොටික ව්‍යාකූලත්වයද මොනවට හඳුනා ගත හැකි වෙයි. අද ගොළු හදවත කියවන මසිත ඇතිවන සංවේගය දම්මි සහ සුගත් දෙදෙනාම වෙනුවෙනි. 

“සුගත්, මට ඉඳල හිටල සැපදුක් කියල ලියුම් ලියන්න. මාස දෙක තුනකට වරක් අපේ ගෙදර ආවටත් කමක් නෑ”

මේ වචන ඇගේ මුවින් ගිළිහෙනු ඇසීමට ඔහු කෙතරම් කලක් බලාපොරොත්තුව සිටියේ ද?

ඈ ඉතා අමාරුවෙන් යළි ඔහු දෙස මොහොතක් බලා සිට ඔහුගේ දෑතේ මිරිකෙන සිය අත්ල දෙස නෙත් යොමු කළා ය. ඇයගේ දෙ නෙත්හි මොර ගෙඩි තරම් කඳුළු බිඳු දෙකක් පිරී ඇත.

“අපි මැරෙන තුරු වුනත්, මේ විදියට ආශ්‍රය කරමු සුගත්…”

“ඔව්! විවාහ වෙන්න බැරි වුණොත්, අපි එහෙම මැරෙණ තුරා වුණත් මේ විදියට ඉම්මු. ඔයා නොලැබුණොත්, මමත් ඒක තමයි කරන්න අදහස් කර ගෙන ඉන්නෙ”

“සුගත්…… මාව ඔයාට අයිති වෙන්නෙ නෑ, සුගත්”

මෙතෙක් සන්සුන් ව තිබුණු මහ මුහුද හදිසියේ දිය දෙබෑ වී, හෙණ හඬක් බඳු මහා ශබ්දයක් නැගී කන් අඩි පිපිරී ගියාක් මෙන් ඔහුට දැනුණේ ය. හිසට කෙනකුගෙන් බලාපොරොත්තු නැතිව හදිසියේ වැරෙන් පොලු පහරක් වැදී, අවට සියලු දේ බ්‍රමණය වන්නාක් මෙන් ඔහුට දැනුණේ ය. හදවත මහා වේදනාවක් පිරී පිපිරෙන්නට එන්නාක් මෙන් ම උගුරත් පපුවත් අතර මොකක් දෝ ගුළියක් හිර වී කතාව බැරි වී යන්නාක් මෙන් ද ඔහුට දැනුණේ ය.

“ඔව් සුගත්, මා ගැන බලාපොරොත්තු තියාගන්න එපා! ඔයා දකින්නත් කලින් ඉඳල, මම වෙන කෙනෙකුට ආලය කරනවා. ඔයා මා ගැන අදහස අත් හරින්න”

“ද…ද….දම්මි, ඔයා… දම්මි, ඔයා මට කවදාවත්… ආලය… කළේ නැද්ද ?”

“”නෑ, සුගත්! මම කවදාවත් ඔයාට ආලය කළේ නෑ”

(ගොළු හදවත 97, 98 පිට)

කරුණාසේන ජයලතුන් ගොළු හදවත චිත්‍රපටය වෙනුවෙන් ලියූ ගීතයේ පද වැල් සැබවින්ම ගොළු හදවත නවකතාව එක් ගීතයකට කැටි කොට ගැනීමට සමත් වී තිබෙයි. දම්මි සහ සුගත්ගේ ආලයේ වූ නිසියුම් තැන්, සියුම් තැන් මැනවින් ස්පර්ෂ කරනා මේ ගීයේ පද තුළ සුගත් දම්මිව “මිහිරියාවිය” හෝ “රසවතිය” යනුවෙන් ආමන්ත්‍රණය කරන විට, දම්මි සුගත්ට ආමන්ත්‍රණය කරන්නේ “හිතවත” ලෙසින් බව වටහා ගැනුම තුළ නැවත නැවතත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් මහත් සංවේගයක් සිත් තුළ පහළ වෙයි.

ආදරෙයි මම ආදරෙයි..

දම්මි තවමත් ආදරෙයි..

ආදරය එක අතක ප්‍රේමය

තව අතක මා නැති වුනා

සාගරය වැනි වේදනාවක

අ‍හෝ හිතවත තනිවුනා..

golu hadawatha 6

ගොළු හදවත නැවත වතාවක් කියවන මසිත බර කරවූ ශෝකය ඇතැම් විට සම්පූර්ණයෙන්ම සුගත් සහ දම්මි වෙනුවෙන් වෙන් නොවූයේ යැයිද ආපසු සිතන විට මට කල්පනා වෙයි. ඇතැම් විට මේ සංවේගී හැඟුම් පහළ වන්නට ඇත්තේ වැඩිහිටියෙකු වූ විට මා හට අහිමි වූ ඒ යොවුන් අහිංසකත්වය වෙනුවෙන් යැයි මට සිතේ. යෞවන වියෙන් තරුණ වියට පා තැබූ පසු ජීවිතයේ කෙදිනකදී හෝ එම සුපුෂ්පිත නොවී තවමත් මෝදු වෙමින් එන අනුරාගී ලාලසාවන්ගේ සලකුණු රැඳි, නමුත් ඊට වඩා අහිංසකත්වයෙන් උතුරා ගිය යොවුන් ප්‍රේමය නැවත අත්විඳ නැතැයි අවබෝධ වීම ඒ සංවේගීත්වය තීව්‍ර කරයි.

නැවතත් ඒ යෞවන වියට පා තබමින් හිඳි කොළුවා බවට පත්ව, සුගත් දම්මි වෙනුවෙන් පිදූ විරූ යොවුන් ප්‍රේමයක ඉමිහිරි බව විඳීමේ නොස්ටැල්ජියාවකින් මා වෙළී යයි.

ආදරෙයි මම ආදරෙයි…

සුගත් තවමත් ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි..

දම්මි තවමත් ආදරෙයි…

ආදරෙයි..

සිංහල සිනමාවේ රොමාන්තික ශානරයට නව ආකෘතියක් හඳුන්වා දෙමින්, ලෙස්ටර් ජේම්ස් පීරිසුන් නිර්මාණය කළ ගොළු හදවත සිනමා ප්‍රතිරචනය, සිංහල සිනමාවේ තවත් ඉමක් සනිටුහන් කළ බව කොහේ හෝ කියැවූ බවට මතකයක් සිත වෙයි. සැබවින්ම සාම්ප්‍රදායික සිංහල චිත්‍රපටයක දක්නට ලැබෙන පැහැදිලිව බෙදා වෙන් කළ හැකි වීරයා හෝ දුෂ්ටයා හෝ නොමැති ගොළු හදවත තුළ සිටින්නේ කවුරුන්ද? එහි සිටින්නේ ජීවිතයේ වැඩිහිටි වියට පා තැබීමටත් පෙරම හද බිඳුම් වේදනාව හඳුනාගත් පාසල් වියේ පෙම්වතෙකු සහ කෙදිනකවත් තමන් ඔහුට ප්‍රේම කළ බවක් හෝ හඳුනා ගැනීමට නොහැකි වූ පාසල් පෙම්වතියක පමණි. හද බිඳුමක වේදනාව පමණි.

(ගොළු හදවත කියවා, ගොළු හදවත ගීතය අසා රිදුම් දෙන හදවත සුව කරගනු වස්, අඩු තරමින් පමා වී හෝ සුගත්හට ජීවිතයේ විමුක්තියත්, ප්‍රේමයත් නැවත හමුවූ අයුර කියැවෙන ‘බඹා කෙටූ හැටි’ නවකතාව කියැවිය යුතුයි)

නවතම ලිපි