මේ මොහොතේ දී සියලු ශ්‍රී ලාංකිකයින් විසින් නැරඹිය යුතු යැයි මා විශ්වාස කරන චිත්‍රපටයක් පසුගිය වසරේ දී තිර ගත වුණා.

යුක්රේනියානු සිනමා කරුවෙක් වන SERGEI LOZNITSA ගේ අධ්‍යක්ෂණයක් වූ එය නම් කර තිබුණේ STATE FUNERAL හෙවත් ‘රාජ්‍ය අවමංගල්‍යය’ නමින්. 1953 මාර්තු 5 වන දින සිදු වූ සෝවියට් නායක ජෝෂප් ස්ටාලින්ගේ මරණයෙන් පසු දින හතරක් පුරා පැවති ඔහුගේ රාජ්‍ය අවමංගල්‍යය මේ චිත්‍රපටයට පසුබිම් වෙනවා. එම දින හතර තුළ සෝවියට් රාජ්‍යය විසින් කැමරාකරුවන් සිය ගණනක් යොදවා රූපගත කරන ලද රූපාවලීන් එකිනෙක අමුණමින් එම අවමංගල්‍ය උත්සවය පිළිබඳ චිත්‍රයක් අප ඉදිරියේ ජීවමාන කරන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ ගන්නවා.

state 1

ස්ටාලින් පිළිබඳ ප්‍රශස්ති කතා, කවි ගායනා ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඇසෙද්දී සිය දහස් ගණනක් ජනතාව වැළ නොකැඩී දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන්නේ කඳුලු සලමින්. ඔවුන් ඔසවාගෙන එන්නේ සජීවී පුෂ්පයන්ගෙන් සමන්විත දැවැන්ත මල් වඩම්. ගැහැනුන් සිය ලේන්සු මුහුණට තද කර ගනිමින් වැළපෙන්නේ සිය සහෘදයෙකු, පවුලේ අයෙකු මිය ගිය ආකාරයෙන්. සියලුම කම්හල් ඔවුන්ගේ වැඩ නවත්වා නිහඬව සිටිමින් නායකයාට අවසන් ආචාරය පුද කරනවා. දේහය තබා ඇති මොස්කව් නගරයේ පමණක් නොව ඈත සයිබීරියාවේ ජනතාව පවා ස්ටාලින්ගේ රුව ඉදිරියේ සිටිමින් මෙසේ කඳුලු හෙලන සැටි රූප ගත කොට තිබෙනවා.

state 2

ස්ටාලින්ගේ දේහය ලෙනින්ගේ දේහය අසලින් තැන්පත් කරෙන මොහොතේ දී අවමංගල සභාව මෙහෙයවන්නේ කෘෂෙව් විසින්. ස්ටාලින්ගේ අනුප්‍රාප්තිකයා වන ජෝර්ජි මැලන්කොව් සහ ලැව්රෙන්ටි බේරියා සභාව අමතමින් ස්ටාලින්ගේ අභාවය සෝවියට් දේශයට පමණක් නොව මුළු මහත් මානව වර්ගයාටම පිරිමැසිය නොහැකි පාඩුවක් බව විස්තර කරන්නේ භාවාතිෂය ස්වරයෙන්. අවමගුල සංවිධානය කරන්නේ ද ස්ටාලින්ගේ ‘අභ්‍යන්තර කවය’ට අයත් මේ පිරිස විසින්.

 

state 4

අවුරුදු සැත්තෑවකට පසු මේ අවමංගල්‍යය නැරඹීම අපට වැදගත් වන්නේ ඇයි? ස්ටාලින් යනු කවුද, ඔහු කළේ කුමක් ද යන්න අද වන විට හෙලි වී අවසන්.

ලෙනින්ගෙන් පසු සෝවියට් දේශයේ බලය උදුරා ගත් ස්ටාලින් ඉන්පසු සමාජවාදයේ පෙර ගමන් කරුවාත්, සෝවියට් දේශයේ ගැලවුම්කරුවාත්, ලෝක කම්කරු ජනතාවගේ පීතෘවරයාත් ලෙස පෙනී සිටිමින්, තමාගේ මතයට විරුද්ධ වූ කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනතාව මිලියන 27 කට වැඩි ගණනක් වධ බන්ධනයට ලක් කර ඝාතනය කළ බවත්, මිලියන 15 ක් ජනතාව කුසගින්න හේතුවෙන් මිය ගිය බවත් වාර්තා හෙළි කරනවා. මේ නොපනත්කම් වසා ගැනීමට, සාධාරණය කිරීමට ඔහු යොදා ගන්නේ ප්‍රතිරූප වන්දනාව. ඔහු තමාව ඇදහිය යුතු පුද්ගලයෙක් බවට පත් කර ගැනීම දක්වාම තමාව උත්කර්ෂයට නංවා ගැනීමට කටයුතු කරනවා. ඔහුගේ අවමංගල්‍යය තනි පුද්ගලයෙකු අත දේශපාලන බලය සංකේන්ද්‍රණය වීමේ ප්‍රතිපලය කවරාකාර දැයි ප්‍රේක්ෂකයා හමුවේ විදහා පාන්නේ උත්ප්‍රාසජනක ආකාරයෙන්.

state 9

මේ උත්ප්‍රාසය ජනිත වන්නේ කෙසේ ද?

ස්ටාලින්ගේ මරණය, ලෙනින් සමාධිය මත නැග ඔහුගේ දේහය ඉදිරියේ තබාගෙන ගුණ ගයන, හඬා වැළපෙන අභ්‍යන්තර කවයේ සාමාජිකයින්ගේ ම කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්. ස්ටාලින්ගේ අණ ක්‍රියාක්මක කරමින් විරුද්ධ මත ධාරීන් මරා දමන ලැව්රෙන්ටි බේරියාට මේ ගුණ කථනයෙන් පසු ජීවත් වීමට ලැබෙන්නේ මාස කීපයක් පමණයි. ඔහුට මරණීය දණ්ඩණය පැනවෙන අතර වෙඩි තබා මරා දමනවා. අවමංගල්‍යයෙන් වසර තුනක් ඇවෑමෙන් කොමියුනිස්ට් පක්ෂයේ 20 වෙනි සම්මේලනයේ දී ස්ටාලින්ගේ පාලනයත්, ඔහු විසින් දියත් කළ ප්‍රතිරූප වන්දනයත් විවේචනයට හා හෙළා දැකීමට බඳුන් වෙනවා. මේ ප්‍රහාරය එල්ල කරන්නේ බලයට පත් වන කෘෂෙව් විසින්. එපමණක් නොව 1961 දී ස්ටාලින්ගේ දේහය සමාධියෙන් ඉවත් කර මිහිදන් කෙරෙනවා.

state 7

කැමරාකරුවන් විසින් වැරදීමෙන් රූ ගත කළ අවස්ථා ද මේ අවමංගල්‍යයේ සැබෑ මුහුණුවර ප්‍රේක්ෂකයාට හෙලි කරනවා. ලේන්සුව මුහුණට තද කර ගනිමින් අඬමින් එන තරුණියක්, සිනමා කැමරාව දුටු සැනින් ලේන්සුව ඉවතට ගෙන මද සිනා පානවා. පෝළිමේ සිනා පාමින් එන එක් ගැහැනියකට ආරක්ෂකයෙක් අවවාද කරන අතර ඇය මුහුණ සඟවා ගන්නවා. කණ්ඩායම් වශයෙන් රැගෙන එන මල්වඩම් පිළිබඳව නිලධාරියෙක් සටහන් තබා ගන්නවා. මේ අවමංගල්‍යය බලකිරීමෙන්, නීති පැනවීමෙන් හා රජ්‍ය බලය අවභාවිතයෙන් කෘත්‍රීම ලෙස නිර්මාණය කරන ලද්දක් බව රූපාවලිය සියුම් ලෙස කියවීමෙන් ප්‍රේක්ෂකයාට වැටහෙනවා. අවමංගල්‍යය වෙනුවෙන් පාලනයකින් තොරව මොස්කව් නගරයට ජනතාව කැඳවා ගැනීම නිසා දහස් ගණනක් තෙරපීමෙන් මිය ගිය බව ද කියැවෙනවා.

state 3

මේ චිත්‍රපටය ලාංකික අපට වැදගත් වන්නේ ඇයි? නිදහස ලැබීමෙන් පසු ලාංකික දේශපාලනය රඳා පැවතුණේ පුද්ගල සාධක මුල් කර ගනිමින්. දේශය ගොඩ නැංවීමට, සුඛිත මුදිත කිරීමට හැකි දියසෙන් කුමරෙකුගේ ආගමනය බලාපොරොත්තු වෙමින්, ඒ චරිතය පුද්ගලයෙකුට ආරෝපණය කරමින්, ඔහුට හෝ ඇයට අසීමිත බලයක් ලබා දීමට ජනතාව ක්‍රියා කළා. එහෙත් ඒ කිසිවෙකුගෙන් ජනතාව අපේක්ෂා කළ කිසිවක් පෙරළා ලැබුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ බලය සංකේන්ද්‍රණය වූ පුද්ගලයා බලයෙන් උමතු වීමත්, ඔහුගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් රට තව තවත් අගාධයට තල්ලු වීමත් පමණයි.

 

state 5

අද වන විට ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් පුද්ගල වන්දනයේ දරුණු ප්‍රතිවිපාක අප අත්විඳිමින් සිටිනවා. අත්තනෝමතික තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය විනාශ මුඛයට ගමන් ගනිමින් තිබෙනවා. එහෙත් හාස්‍ය ජනක කාරණය වන්නේ විකල්ප උදෙසා ඇති දේශපාලන බලවේග සියල්ලම පුද්ගලයින් මුල් කරගෙන ක්‍රියාත්මක වීමයි. ඔවුන්ගේ අපේක්ෂාව බලය ඇති පුද්ගලයා වෙනුවෙන් තවත් පුද්ගලයෙකු ආදේශ කිරීම පමණයි.

state 8

පුද්ගලයින් ධාතු කරඬු සේ කර පින්නාගෙන යන දේශපාලන ව්‍යාපෘතිවලින් අවසානයේ දී ඉතිරි වන්නේ අත්තනෝමතික, වියරු පාලකයෙක් පමණක් බව ලාංකිකයින් වටහා ගත යුතුව තිබෙනවා. අනාගතය සුබවාදී වීමට නම් තනි පුද්ගලයෙක් වෙත අසීමිතව බලය ඒකරාශී වන්නා වූ දේශපාලන ක්‍රමය වෙනස් කරන, ඒ වෙනුවට බලය විමධ්‍යගත වන, පාර්ලිමේන්තුවට වග කියන දේශපාලන ක්‍රමයක් අප සකසා ගත යුතුව තිබෙනවා.

චිත්‍රපටය ගැන විචාරයක් ලියන ෂීලියා ඕමැලී නැමැති ලේඛිකාව මෙසේ පවසනවා :

‘මේ චිත්‍රපටය එක්තරා ආකාරයක අනතුරු හැඟවීමක්. නායකත්වයෙහි , දේශපාලනයෙහි හා සංස්කෘතියෙහි සිදු විය යුතු සහ නොවිය යුතු දේ මොනවා දැයි ඉතිහාසය අපට පාඩම් කියා දෙනවා. අප එයට සවන් දිය යුතුයි. දැක බලා ගත යුතුයි.’