එතෙක් මෙතෙක් හැම ඉතිහාසයක් ම ලියන ලද්දේ අදාළ යුගයේ දේශපාලන හා ආගමික බලය උසුලන

පාලක + පූජක පැළැන්තීන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ට පක්ෂපාතී අයුරිනි! කාලිංඝ මාඝ දුෂ්ට ආක්‍රමණික පාලකයෙකු පමණක් වී ඔහු කළ සාධනීය කර්තව්‍යයන් සම්මත ඉතිහාසයෙන් හිතාමතා බැහැර කරලනු ලබන්නේත්, සීගිරි කාශ්‍යප පීතෘ ඝාතකයෙක් ලෙස හංවඩු ගැසෙන්නේත් ඒ අනුවය! කාලිංඝ මාඝට ඉතිහාසයේ සිදු වූ අසාධාරණය යම් තරමකට නිවැරදි කරනු වස් මහාචාර්ය ඒ.වී. සුරවීර විසින් පසුකලෙක " අඳුර දුරලන රැස්" නමින් නවකතාවක් ලියන ලදී. මොහාන් රාජ් මඩවල මිත්‍රයා තම " නිල් කට්රොල්" ප්‍රබන්ධ කතාව තුළින් ද උත්සාහ දරනුයේ එවන් "ඓතිහාසික වරදක්" නිවැරදි කිරීමට ද?

"ඉන්පසු කීරාළ සැබෑ ලෙසම සිදු වූ සිද්ධි සමුදාය දේවමිත්තට කීවේය. කාශ්‍යප අභිබවා මුගලන්ට රජකම දීමට මහා විහාරයට තිබූ උවමනාවත්, එය මඟහැර ධාතුසේන රජු කාශ්‍යපට රජකම දී අනුරාධ නගරයේ හුදකලාව විසීමත්, හොඳටම රෝගාතුරව කාශ්‍යපගේ රාජාභිෂේකයෙන් දෙවෙනි අවුරුද්දේ සිදු වූ ඔහුගේ මරණයත්, කවරෙකු තුළ වුවද ඊර්ෂ්‍යා පරවශ හැඟීම් දනවන සිහිගිරියෙහි වූ අසාමාන්‍ය රාජ්‍යත්වයත් ඔහු පියවරෙන් පියවර සඳහන් කළේය.

'එහෙම බලනකොට කාශ්‍යපට අකමැති කෙනෙක් ඔහු පීතෘ ඝාතකයෙක් විදිහට නම් කරන එක පුදුමයක් නෙමෙයි... හැබැයි එක ඇත්තක් එතන තියෙනව.'

mohanraj 2

අනතුරුව ඔහු එය මෙසේ විස්තර කළේය.

' ධාතුසේන රජ්ජුරුවො පණ පිටින් පස් ගහල මැරුවෙ කලාවැවේ බැම්මට නොවුණට,උන්නාන්සෙ මිය ගියහම ඒ දේහය කාශ්‍යප කුමාරයා ගෞරවනීය ලෙස ආදාහනය කළේ කලා වැවේ බැම්ම ළඟ...'

( " නිල් කට්රොල්" - 270 පිටුව)

මෙම කෘතියෙහි පළමු කොටස තුළ කතුවරයා විසින් ඇතුළත් කර තිබෙන වර්තමාන (අනාගත?) කතාව තුළ තාක්ෂණික ක්‍රමවේද මගින් (තාක්ෂණයේ බලයෙන්!) තමා රිසි ස්ත්‍රී (පුරුෂ) ශරීරයක් අයත් කරගැනීමත්, අතීත රජ කතා තුළ රාජකීයයන් එවැනි අභිප්‍රායයන් තම රාජකීයත්වයේ බලයෙන් මුදුන් පමුණුවා ගැනීමත් යම් සමානත්වයක් දරන්නේ යැයි ඔහු විසින් අදහස් කරන්නේ ද?

" වෙල්කම් ටු වර්චුවල් සි(Z) ප්‍රඩක්ෂන්ස්... ආයුබෝවන් මිස්ටර් අමේෂ් දේවසුරේන්ද්‍ර... ඔබට ඔබේ යටහත් සේවිකා ප්‍රියංවදා ලෙස... මගේ සේවය අවශ්‍ය නම් ඔබේ අනුමැතිය පළ කරන්න...'

ඔහු නැවත කුඩා ස්විචය ස්පර්ශ කළේය. අමුතු බීප් බීප් ශබ්දයකට පසු,මොනාලිසාගේ ස්වරූපයට පෙර රෝසපාට දුහුල් නයිටියක් හැඳ සිටි සරාගී විලාසයෙන් ප්‍රියංවදා පෙනී සිටියාය.

' ඉතිං කොහොමද ඔයාට...'

ඔහු සිනාසුණේය. පසුව 'මං හොඳින් යැයි' ඇයට පෙරළා පිළිතුරු දී තමා නාන කාමරයේ සිට නා කියාගෙන පැමිණෙන විට උදෑසන ආහාරය පිළියෙල කර තබන ලෙස නියම කළේය.

' බිත්තර දෙකයි. බේකන් පෙති දෙකයි. දුඹුරු පාන් පෙති තුනක් එක්ක ෆ්‍රෙන්ච් වැනිලා කොෆි එකයි...'

' ඕකේ සර්. උපරිම මිනිත්තු දහයක් දෙන්න...'

ඔහු නාන කාමරයට යන්නට සැරසුණේය. එහෙත් හදිසියේම නැවතී ඇය දෙස බැලුවේය.

' තව එකක්... මං කැමතියි අද ඔයා සීගිරි අප්සරාවක් වගේ ඇවිත් මගේ උදේ කෑම සර්ව් කරනවට.'

' සීගිරි අප්සරාවක්...?'

(" නිල් කට්රොල්" 32 පිටුව)

mohanraj 1

කාලයක් ලංකාවේ සිනමාව ඓතිහාසික රජ කතා උන්මාදයකට හසු වී කුණු කුජීත වී ගියේය. මෑත කාලීනව මොහාන් ලියූ නවකතා කිහිපයක් ම ඓතිහාසික තේමාවන් සහිත ශෘංගාරාත්මක අඩුවැඩියෙන් යුතු ඒවා වූ අතර එම කෘතීන් බෙහෙවින් ජනප්‍රිය වෙමින් අලෙවි වාර්තා තබන්නට සමත් විය. යට කී ඊනියා ඓතිහාසික රජකතා සිනමා කෘතිවලින් වූ හානිය මොහාන්ගේ නවකතාවලින් මෙතෙක් සිදු වී නැතැයි සිතමි! ඊට හේතුව ලෙස මා තවමත් විශ්වාස කරන්නේ "බෝදිලිමා" වැනි සාර්ථක කෙටිකතා සංග්‍රහයක් තිළිණ කළ ශූර ප්‍රබන්ධකරුවා ඔහු තුළ සිටිතැයි හැඟෙන බැවිනි!

නවතම ලිපි