"ගෑස් සිලින්ඩර් පිපිරෙන්න අරන්.. සමාගම් සංයුතිය වෙනස් කරලා," ඔහු කියාගෙන ගියේ ය..

"මේක අවදානම්. මේ අලුත් ගෑස් සිලින්ඩරය ප්‍රවේසම් සහගත ද කියලා විශ්වාස කරන්න අමාරුයි"

උසස් පෙළ ජීව විද්‍යාවට ඒ සාමාර්ථ තුනක් ම ගෙන සූම් එකෙන් මෙඩිකල් ෆැකල්ටි යන මගේ අක්කා කඩාගෙන පැන්නා ය.

"මේ රටේ ප්‍රශ්නය හරි විද්‍යා අධ්‍යාපනයක් නැති එක.. ගෑස් සිලින්ඩර පුපුරන්නේ නෑ.. යූටියුබ් එකේ වට්ස්ඇප් එකේ කොන්ස්පිරසි තියරි විකාර...

ගෑස් සිලින්ඩරය හදන්නේ ලෝහවලින්.. ලෝහවල තියෙන්නේ තන්‍යතාව, ආහන්‍යතාව.. පුපුරන්නේ භංගුරතාව තියෙන ද්‍රව්‍ය.."

අක්කා විද්‍යා පාඩමක් පටන් ගත්තා ය..

අක්කාගෙන් පාඩම් අහගෙන යාන්තම් 9 වසරේ විද්‍යාව ගොඩ දාගන්නා මම උනන්දුවෙන් අක්කාගේ පාඩමට කන් යොමු කළෙමි.. කොයිතරම් බුද්ධියක් ද?

"ලෝහ භංගුර වෙන්න නම් සෙල්සියස් ඍණ උෂ්ණත්වවලට යන්න ඕනෙ.." අක්කාගේ පාඩම සාමාන්‍ය පෙළ මට්ටම ඉක්මවා යයි..

"කාමර උෂ්ණත්වයේ තියෙන සිලින්ඩර පුපුරන්නේ කොහොම ද මෝඩයෝ" පාඩම අවසානයේ අක්කා මහ හඬින් ගුගුලා ය.

ඒ හඬට ඔහු තිගැස්සී ගියේ ය.. ඉන්පසු නිවුණ හඬකින් ඔහු කීවේ තමන් ගෑස් සිලින්ඩරය යනුවෙන් අදහස් කළේ ගෑස් පිරවූ, වෑල්ව සහිත සම්පූර්ණ උපකරණයේ ක්‍රියාකාරීත්වය මිස ලෝහ සිලින්ඩරය පමණක් නොවන බව ය..

"ලෝහ සිලින්ඩරේ ලෝහ කොටස පුපුරනවා කියලා මම කිවුවේ නෑනේ"

අකුණක් ගැසුවා සේ අක්කාගේ කටහඬ නැවතත් නිවස පුරා රැව් දෙන්නට විය..

"එහෙනම් මොකට ද මෝඩයෝ *ගෑස් සිලින්ඩර* පුපුරනවා කීවේ.. කලින් ම කියන්න එපැයි ඔය දැන් කියන කතා.. ඇන්ටි ගෑසර් කාරයෝ ඔහොම්ම මයි.. මුලින් බොරු කතාවක් කියලා පස්සේ කතාව මාරු කරනවා.."

මේ ශබ්දයෙන් කලබලයට පත් වුණු අම්මා ද විසිත්ත කාමරයට ආවා ය.. "අම්මේ මේ අයියා ඇන්ටි ගෑසර් කෙනෙක්" මම අම්මාට කීවෙමි..

"ඔය ගෑස් සමාගම්වල ඉන්න උගත්තු මාස ගණන් පරීක්ෂණ කරලා ඔය ගෑස් හදලා එවන්නේ.. නිකම් එවන්නේ නෑ.. ඒවා ලොකු සමාගම්.. අනික විද්‍යාඥයෝ රිසර්ච් කරලා නෑ කියද්දී ඔය ළමයා නිකම් පුටුව උඩ ඉඳන් තමුන්ගෙම රිසර්ච් කරලා හරියනවා ද?"

බැරෑරුම් පෙනුමක් ගත් ඔහු බෑරෑරුම් කටහඬකින් මෙසේ කියන්නට ගත්තේ ය.

"මේක අලුත් සංයුතියක්.. බොහොම කෙටිකාලයක් ඇතුළෙයි ඔය කෙරුණු පරීක්ෂණයක් කෙරිලා තියෙන්නේ..

විද්‍යාගාර තත්ව යටතේ ගන්න සංඛ්‍යානයේ බොහෝ ප්‍රායෝගික තත්ව මඟ ඇරෙනවා.. මේකෙත් පරීක්ෂා කළේ හොඳ ම රෙගියුලේටර්, බට, එක වර්ගයක ලිප් එහෙම පාවිච්චි කරලා නම් එතන දී හරි ගියාට සාමාන්‍ය ගෙවල්වල වරදින්න පුළුවන්.. අනික පරීක්ෂණ කාලය අස්සේ පොඩි නියැදියකින් ඔක්කොම අහු නොවෙන්න පුළුවන්"

අම්මා කතා කළේ එතරම් සතුටු මුහුණකින් නොවේ.

"ගෑස් කම්පැනිවල විද්‍යාඥයින්ට වඩා ඔය ළමයා දන්නවා ද? තමුන් දන්න දෙයක් බලාගෙන හිටියා නම් හොඳ නැද්ද?"

අම්මා කතා කරන්නේ යම් තරමක ආවේගයෙනි..

"ඔය ළමයා ඉඳුල් කට ගෑවේ ගෑස් ලිපකින් උයපු බත් නෙමේ ද? ඔය ළමයා ලොකු මහත් වුණේ ගෑස් ලිපේ බත් කාලා නෙමේ ද? අපිත් ගෑස් ලිපේ බත් කනවා.. මෙහෙම හැදිලා වැඩිලා දැන් ගෑස්වලට බනින එක වැරදියි."

"ඔහොමමයි අම්මේ ඔය ඇන්ටිගෑසර්කාරයෝ මතක නෑ තමුන් ජීවත් වෙන්නේ කොහොම ද කියලා"

අක්කාගේ තීව්‍ර ස්වරය නැවතත් ගෙදර පුරා රැව් දෙන්නට විය..

"ලංකාවට ගෑස් එන්න කලින් තිබ්බේ දර ලිප් භූමිතෙල් ලිප්. දර ඇවිලිලා භූමිතෙල් ලිප් පෙරලිලා මිනිස්සු මැරිලාත් තියෙනවා. තාම ගෑස් නිසා මැරුණ ද? ගෑස් එන්න කලින් සාමාන්‍ය ආයු කාලය 50 ගාණක්. දැන් 79ක්. අපිව ආයෙ ගල් යුගේට ගෙනියන්න ද හදන්නේ"

ඔහු පිළිතුරු බඳින්න වූයේ ය. "ඉස්සර ඉඳලා ගෑස් තිබ්බා තමා.. ඒත් මේ සංයුතිය ආවේ ළඟදි නේ.. කලින් තිබුණු සංයුතිය ගැන අපි කාලාන්තරයක් තිස්සේ දන්නවා.. ඒකේ වෙන්න පුළුවන් දේවල් අපි හොඳට දන්නවා"

"තමුසේට දැන් විද්‍යාව මතක නැද්ද?" අක්කා කෑගෑවා ය. "සංයුති මොනා වුණත් ඕකේ තියෙන්නේ හයිඩ්‍රොකාබන.. ඒ හයිඩ්‍රොකාබන හොඳ නම් මේකේ මොකක් ද අමුතු අවුල"

"මහ පිස්සු කතානේ අම්මේ මේ ෆේස්බුක් වට්සැප්වල යන්නේ.. සිලින්ඩරේ පුපුරනවාලු.. කැප් එක ගැලෙව්වා ම ගෑස් ලීක් වෙනවාලු"

"ඒක තමා අක්කේ රෙගියුලේටරයට ගැහුවට පස්සේ නම් ලීක් වෙන්නේ නෑ කියලා ජර්මන් ලෙක්චරර් කෙනෙකුත් කීවා" මේ විද්වත් කතා බහ මැදට අක්කාගේ සහයට පැනීමට නො ඉවසිල්ලෙන් බලා සිටි මටත් අවසානයේ පොටක් පෑදිණි..

අම්මා ද ඊට කරුණු එකතු කළා ය "අර විද්‍යා කුට්ටිය ඇමතිතුමාත් කීවේ ප්‍රශ්නයක් නැහැ කියලා..එතුමා පිළිගන්නේ උගතුන් කියන දේවල් කියලා.. සමහරු යනවානේ උගත්තුන්ටත් වඩා පණ්ඩිත වෙන්න"

හැම විට ම විද්‍යාව මුදුනෙහිලා විශේෂඥ උපදෙස් මුල් තැන තබා කතා කරන නිසා ම විද්‍යා කුට්ටිය යන අපර නාමයෙන් හැඳින්වෙන එම කෘතහස්ත දේශපාලකයා ගැන තාත්තා නිතර කතා කරන්නේ ඉමහත් ගෞරවයෙනි. විද්‍යාව වෙනුවට මිථ්‍යාව කරේ තියාගෙන යන ඇමතිවරුන්ගෙන් පිරුණු ආණ්ඩුවේ, උගතුන්ගේ විශේෂඥයින්ගේ නිවැරදි ප්‍රාමාණික අදහස් ඉදිරියට ගෙනයමින් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් අතර විද්‍යා කුට්ටිය ඇමතිතුමා ඉහළින් ම සිටී. රටට අවශ්‍ය ගෑස්, එන්නත් විශ්වාස කරන එවන් ඇමතිලා මිස දෙවියන්ගෙන් ලැබුණු කල්පිත පරීක්ෂා කරන ඇමතිවරු නොවෙති.

ඊයේ කෑම මේසයේ දී තාත්තා කීවේ වට්ස්ඇප් ෆේස්බුක්වල යන විකාරවලට පරීක්ෂණයක්වත් පැවැත්විම නුසුදුසු බව ය. ඔය සමාජ ජාලාවල මේසන් බාස්ලා වඩු බාස්ලා ද විද්‍යාව ගැන පෝස්ට් ෂෙයා කරති. ඕවායේ යන හැම එක ම ටෙස්ට් කරන්න ඕනේ නැත. ටෙස්ට් කළ යුත්තේ සුදුසුකම්ලත් විද්‍යාඥයින් පරීක්ෂණාගාර තුළ දී මතු කරන ප්‍රාමාණික මතවාදයන් ය. මේ අයියා වගේ ම ඇන්ටි ගෑසර් කෙනකු වෙන උඩහ ගෙදර මාමාට තාත්තා බැන්නේ ඔය ගෑස් බටේ කොහේට දෝ ගහගනිං කියාය.

එක්වර ම මා නැවතත් වර්තමානයට ආවේ ඇන්ටි ගෑසර් අයියාගේ කතාවකට ය..

"ඔයාලා මොනවා කීවත් ඉස්සර වගේ නෙමේ දැන් හරියට ගෑස් පිපිරෙනවා"

පහසු උඩපන්දුව අක්කා දෑතින් ම රැකගත්තා ය..

"ඉතින් මොට්ටයෝ හැම තැන ම භූමිතෙල් ලිප් දරලිප් පාවිච්චි කරපු කාලේ ගෑස් පිපිරීම් නැති වුණාට දැන් හැම ගෙදර ම ගෑස් පාවිච්චි කරද්දී ගෑස් පිපිරීම් එනවා තමා.. ඒත් ගෑස් නැතුව හාමතේ මැරෙන්න සම්භාවිතාව ගෑස් පිපිරීමකින් මැරෙන්න තියෙන සම්භාවිතාවට වඩා අතිශය වැඩියි"

ඉස්කෝලේ විවාද කණ්ඩායමේ නායිකාව වූ අක්කා මෙඩිසින් දැනුමෙන් ඇන්ටි ගෑසර් අයියා කොර කරවෙන්නට ගැසූ තුරුම්පුවට මට ද ආඩම්බර ය.. ඒ මගේ අක්කා..

පරාජිතව ඒ අයියා අපේ ගෙදරින් පිටත්ව යද්දී අම්මා අක්කාට අවවාද දුන්නේ ගෙදරින් පිටත දී කාටවත් ඇහෙන්නට ඒ අයියාගේ ඇන්ටි ගෑසර් කතා කියන්නට නොදෙන ලෙසයි..

"ඔව් අම්මේ මටත් ලැජ්ජාව" අක්කා කීවා ය "මම එයාට දාන්නංකෝ නීතියක් වෙන වෙන ලිප්වල කාලා අපේ ගෙදර පැත්ත පලාතේ එන්න එපා කියලා.. බලන්නකෝ බබා වගේ ගෑස් එකේ උයන් කන විදිහ එතකොට.. මං ඒ ගෙදර හිටියා නම් එයා මේ කාලේ කාලා හමාරයි"

නිවසේ ගාලගෝට්ටි මැකී යද්දී අම්මා සැඳෑ අඳුරේ වෙළී පැවති කුස්සියට ගොස් විදුලි බුබුළ දල්වන්නට ස්විචයට අත තැබුවා ය.

නිමි..

(නම් ගම් ප්‍රදේශ මනඃකල්පිතයි)

නවතම ලිපි