ස්ත්‍රියකගේ චරිතය ඇසුරෙන් ස්ත්‍රී කේන්ද්‍රීය නවකථාවක් ලිවීමටත් වඩා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ම

එකී ස්ත්‍රී චරිතය විදාරණය වන කථාවක් ලිවීම ලේඛිකාවකට මෙන් නොව ලේඛකයෙකුට එක්තරා අභියෝගයකි.මෑත කාලයේදී එබඳු අභියෝග භාර ගත් ලේඛකයින්ගේ නිර්මාණ අපි කියැවීමු. "නිම්නාගේ ඉතිහාසය " එහි ආසන්නත ම අත්දැකීමයි.

ඒ අතර අප අත පත් 'පුරුෂාශ්‍රය 'ද ස්ත්‍රී කේන්ද්‍රීය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු කෘතියකි.මෙහිදී එකී ස්ත්‍රියගේ චිත්ත ස්වභාවය මැනැවින් අවබෝධ කරගෙන ඒ ස්ත්‍රී චරිතයට සාධාරණය ඉටු වන අයුරින් නව කථාව ගොඩ නැගීමට කතුවරයා ගත් උත්සාහය මුලින්ම අගයමි. ස්ත්‍රී පුරුෂ මානුෂීය සබඳතා සේම මනුෂ්‍යත්වය විනිවිදින "අවිදු අඳුර ", 'නිරානන්දය' වැනි පාඨක ප්‍රසාදය දිනා ගත් ඇතැම් සම්මානිත කෘති ඇසුරෙන් මේ කතුවරයාගේ ලේඛන ශෛලිය ද නිරායාසයෙන් අප මතක යට නැගුණේ මේ කෘතිය කියවාගෙන යද්දීම ය.

මෙහි කතා ආඛ්‍යානය පාඨකයා ආමන්ත්‍රණය කරන ඒක පාර්ශ්වීය කතාවක් වැන්න.'ක්ලේරා' නමැත්තිය මෙය කියවන අපට මේ කතාව කියයි.ඇය ඇගේ කතාව සරත් විජේසූරිය නම් ලේඛකයා ලවා ලියැවූ බවක් මුලින්ම සඳහන් වේ.

එතැන් සිට අප කියවන්නෙ ඇය කියූ,ඇය ලියූ ,අවසානයේදී අපේ කතුවරයා ලවා සකස් කොට නැවත ලියවූ ඇගේ කතාවයි.

"මගේ සැමියා අකාලයේ මිය ගිය බැවින් දොළොස් වසරකට කිට්ටු වූ මගේ -'අපේ' විවාහ ජීවිතය ශෝචනීය ලෙස නිම විය..."

ඇය ඇගේ කතාව පටන් ගනුයේ එතැනිනි.ඒ ආරම්භක පරිච්ඡේදය එක්තරා විදිහක ඒක පාර්ශ්වීය විවරණයකි. එක්තරා වාර්තාරූපී බවක් ඊට එක්ව තිබුණු බවක් දැනුණේ කතාවක් එසේ "මට වෙච්චි දෙයක්" කියාගෙන යන ස්වරයෙන් ගලාගෙන යාම පාඨක කුතුහලයට,පාඨකයාගේ පරිකල්පනය පුබුදුවාලීමට බාධාවක්යැයි අප සිතන බැවිනි.

මේ සමස්ත කතාවේ අත්දැකීම කොතැනකින් ඇරඹී කොතැනකින් කෙළවර වූවක්දැයි සිතා බලත්ම එහි ආරම්භය පිළිබඳ මට ඇත්තේ එක්තරා විවේචනයකි.මේ වන විට මා මේ කෘතිය කියවා ටික කලක් ගතව ඇතත් ඒ විවේචනය අදටත් මගේ සිතෙහි කොණකින් මතු වෙයි.මා බලා සිටියේ කල් යත්ම එබඳු විමසුම් මගෙන් අලුත් වනු ඇතැයි සිතමින් වුවද මේ කෘතිය කියවා යම් කාලයකින් පසුව ද ඒ අදහසම යළි මතු වීම මගේ වින්දනය පිළිබඳ බලපෑම් විය හැකියැයි සිතමි.ඒ නිසාම මේවා විචාර නොව හුදෙක් මගේ විඳුම් ,විමසුම් පමණකැයි තරයේ ම විශ්වාස කරමි.විචාරය ඊට වඩා සංවිධිත යමකි.

ක්ලේරාගේ පුරුෂාශ්‍රය මුලින් උදේනගේ ප්‍රේමයෙන් ඇරඹෙයි.මොවුහූ එකිනෙකාගෙ බාහිර ස්වරූපය පිළිබඳ ආකර්ෂණයෙන් බැඳුණාහු වෙත්.ඔවුනොවුන්ගේ සමාජ පසුබිම අධ්‍යාපනය , තෝරා ගත් විෂයයන් රුචිඅරුචිකම් ඈ විවිධ බාහිර සාධක ඔස්සේ එකී සබඳතාව පිළිබඳ යම් යම් නිරීක්ෂණ සහිත නිගමනවලට එළඹීමට පාඨකයාට හැකි වෙතත් මෙහිදී මේ ක්ලේරා නමැති කතා නායිකාවගේ දුබලතා ද ප්‍රශ්න කරමින් එය කියැවීමට පාඨකයාට අවස්ථාව සැලසේ.

දෙවනුව ඇයගේ ආශ්‍රයට එන ලෙනාර්ඩ් උදේනට වඩා වෙනස් අවසානයේදී යම් යම් වංචනික ගති මතු වන පුද්ගලයෙකි.මේ පුරුෂයින් දෙදෙනාගේ ම ප්‍රේමය හුදෙක් ලිංගිකත්වය මත පදනම් වූ සෙයක් පාඨකයාට හැඟෙන අතර ලෙනාර්ඩ් ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු වන හුදු අනුරාගික ප්‍රේමයත්, උදේන බලාපොරොත්තු වූ හුදු කායික තෘප්තියත් අතර විඩාපත් වූ මේ ගැහැනියගේ සිත කියවා ගැනීමට අප උත්සාහ කරනුයේ ඇගේ ඒකපාර්ශ්වීය විවරණයට කන් දෙමින් හුදෙක් ඇගේ හඬට කන් දෙමිනි.මෙහිදී වඩා උපක්‍රමශීලීව සිය රචනා විලාසය වෙනස් කර ගත හැකිව තිබූ අවස්ථා කතුවරයාට මග හැරී ගියා සේය.මෙකී සංකීර්ණ ස්ත්‍රීමය සිතුවිලි ආශ්‍රයෙන් මේ පිරිම් චරිත වඩාත් විවෘතව දකින්නට පාඨක අපට ඉන් අවස්ථාව අහිමි වූ සෙයක් හැඟෙයි. උත්තම පුරුෂ කෝණයෙන් පාඨක අප සිය ග්‍රහණයට ගත් 'ක්ලේරා' සහ ඇගේ ස්ත්‍රීත්වය පවා මෙයට වඩා ගැඹුරින් දැකීමට අපට තිබූ ඉඩකඩ මේ කතාව කියාගෙන යෑමේ ආඛ්‍යානය නිසා මග හැරුණු බවක් දැනෙයි.එමගින් ඒ කතාවේ එන ඇතැම් සංසිද්ධි ,අත්දැකීම් හෝ අවස්ථා මැනැවින් රූපණය වන්නට ඉඩ තිබිණ .

උදේනගේත් ,ලෙනාර්ඩ්ගේත් පුරුෂාශ්‍රයෙන් අනතුරුව ක්ලේරාගේ චරිතය වෙනස් මගකට හැරෙන තැන ලකුණු වනුයේ සචිත්‍රාගේ ආශ්‍රයයි. එකී චරිතය සහ එයින් මතු වන ස්ත්‍රිත්වය තවත් මානයකින් කියවා ගැනීමට මෙහිදී පාඨක අපට තව දොරටු විවර වන අතර කතාවේ සිදු වීම් පවා එතැනින් වෙනත් මානයකින් දිග හැරුම සැබෑ වෙනසකි. කතාවේ වඩාත් සක්‍රිය චරිත සහ ගැඹුර මතු වනුයේ ද මේ අඩ හරහායැයි සිතෙයි .එතැන් පටන් ක්ලේරා ඇගේ ස්ත්‍රීත්වය වඩාත් උද්‍යෝගිමත් ස්වරයෙන් ප්‍රශ්න කිරීමට පෙළඹෙයි. ඇගේ ඒ වෙනසට අවිවාහක ව ම ගබ්සා වී පසුව විවාහයකයකු හා පෙමින් බැඳී වැඩි කල් නොයා ඔහු සමගම විවාහ වන මේ තරුණ ස්ත්‍රියගේ ආශ්‍රය තීරණාත්මක බලපෑමක් කරයි..තවද, ක්ලේරාගේ ජීවන ශෛලිය පිළිබඳ වඩාත් වේගයෙන් සිදු වන වෙනස්වීම් සමග ම ස්ත්‍රියකගේ ස්වාධීනත්වය පිළිබඳ ඇය තමාව ම පිරික්සා බලන අවස්ථාවන් පවා මේ චරිතය වඩාත් සාධාරණීකරණය කරවන වැදගත් එලඹුමක් බැව් කිව යුතුය..ක්ලේරාගේ කතාව කියවන පොදු ස්ත්‍රී පාඨකයාගේ ද ආත්මයට කතුවරයා ළං වනුයේ එතැනින්දෝයි මට විටෙක සිතෙයි.මෙය කියවා බලන පුරුෂ පාඨකයා පවා එතැනින් මේ කෘතිය නැවත කියවා ගැනීමට පෙලඹෙන බැව් දනිමි .සක්‍රියව ගොඩ නැගෙන සචිත්‍රාගේ සජීවි චරිතය හා ගැටෙන මේ ක්ලේරා නමැති අප කතා නායිකාවගේ සීමා සහිත ලෝකය වහා වෙනස් වන ආකාරය පාඨක අප ද එක් වන අත්දැකීමක් බවට හැරෙයි.ඇය තනිවම සිනමා ශාලා, කලාගාරවලට යන එන ගමන් සේම ජීවිතය විඳින්නට සොයා පාදා ගත් තමා අභිමත මාර්ග ඔස්සේ පාඨකයා කැඳවාගෙන යන ඉසව් පවා සොඳුරු ය..මන්ද යත්,මුලින් 'ඇයට වෙච්චි දේ' අසාගෙන සිටි අප එතැනින් එහාට 'ඇයට සිදු වන දේ 'අත්විඳින නිසා ය. මෙහිදී ඇයට හමු වන අපූරු සිත්තරිය සහ ඇගේ සහකාර සිත්තරා සමග ක්ලේරාගේ සම්බන්ධය ඇගේ ජීවන ලාලසාව වඩවන අයුරු අපට මැනැවින් දැනෙන ක්ලේරා ය. ඔවුන් දෙදෙනා සහ ඇය අතර ඇති වන එකී සුවිශේෂී සම්බන්ධය සියුම් දැක්මකින් සහ වෙනත් මානයකින් නිරූපණය කිරීමට ලේඛකයාට හැකි වී තිබේ. ක්ලේරාගේ චරිතය වහා දෙදරා නොයන එහෙත් බරපතළ වෙනස්කම් කීපයකින් අපට ළං වන ඒ සිදුවීම් සහ අවස්ථාවන් විශ්වසනීය ලෙස ගොඩ නැගෙද්දී අපි ඇගේ චරිතයේ බොහෝ ආ ගිය තැන් යළි යළිත් විමසා බැලීමට පෙලඹෙමු. ඒ අපට ක්ලේරා හමු වන තැන් ය. එහෙත් මුලින් ඇයගේ ස්ත්‍රී සමාගමය පවා සීමා වූයේ හුදෙක් පාසලේදී ,විශ්ව විද්‍යාලයේ දී හෝ කාර්‍යාල ජීවිතයේදී ඇයට හමු සීමිත ස්ත්‍රී චරිත කීපයකට පමණි.ඇය තම අත්දැකීම් හා සසඳනුයේ ඔවුන්ගෙන් ඇසූ දුටු ඇතැම් අත්දැකීම් ය.මේ අනුව ඇය එක්තරා සීමිත සමාජාශ්‍ර්‍රයකට කොටු වූ ගැහැනියක බව පෙනෙයි.

සච්ත්‍රාගේ හමුවෙන් පසු සිය නිදහස ,ක්‍රියාශීලීත්වය සේම පසු කලෙක සිය විශ්‍රාම දිවිය පිළිබඳ පවා අලුතින් සිතන්නට පෙලඹෙන ක්ලේරාගේ චරිතය ඇසුරෙන් කතුවරයා උත්සාහ කරනුයේ ද කවර වයසෙදි වුව ගැහැනියකගේ තෘප්තිය හෝ ජීවිතයේ උපරි ඵලය වනුයේ සිය නිදහස ,ස්වාධීනත්වය සහ සතුට පිළිබඳ අපේක්ෂා දල්වාලීම බව කියා පෑමටයි.පමා වී හෝ ඇය ඇගේ ජීවිතය සොයා පාදා ගත් බවක් ඉන් හැඟෙයි.සැබැවින්ම ස්ත්‍රී පුරුෂ මානව සබඳතා යනු හුදෙක් ලිංගික තෘප්තිය ම නොව ඊට වැඩි පුළුල් පරාසයක විහිදෙන ආදරය , අන්‍යොන්‍ය ආකර්ෂණය , අනුරාගය සේම මිත්‍රත්වය ,අවබෝධය ,ගෞරවය සේම සහෝදරත්වය ,රැකවරණය පවා එකට එක් වූ සංකීර්ණ හැඟීම් සමුදායක් බැව් ක්ලේරා ද අපට නොකියා කියයි. එහෙයින් අවසානයේදී මේ කතාවෙන් මතු වන යටි පෙළ අරුත හෝ යථාර්ථය වනුයේ ම මනුෂ්‍යත්වය දරා උපන් පුරුෂයා ට සේම ස්ත්‍රියකට ද එකිනෙකාගෙන් අනන්‍ය වූ ගමනක් තිබේ.ඇය ඒ ගමනට තෝරා ගන්නා ගමන් සගයා අනුව ඇගේ ජීවිතයේ ඉරණම වෙනස් වීමට ඉඩ ඇතත් ඇය ඊට නතු විය යුතු නැත.ඇයට ද වෙනම ගමනක් ,අරමුණක් ,නිදහසක් හෝ ජීවිතයක් තිබේ..ඒ අනුව අවසානයේදී ක්ලේරාට හමු වන බ්‍රයන් වැනි පුරුෂයෙකුගෙන් ඇය බලාපොරොත්තු වනුයේ ඇය පැතූ පුරුෂාශ්‍රයම ද වැනි ප්‍රශ්න පාඨකයාට ඉතිරි කර කතාව අවසන් වේ.

මුලදී වාර්තාමය ස්වයං කථනයක විලාසයෙන් ගලාගෙන ගිය ක්ලේරාගේ කතාව වගේම මේ නව කථාවේ ආඛ්‍යානය ද වෙනස් වනුයේ කතාවේ අවසාන භාගයේදී ම ය.ඒ වෙනස පාඨකයා බලාපොරොත්තු වූ රූපණ ප්‍රයෝග තැනින් තැන යම් පමණින් අත්පත් කර දෙයි.තවද, ලෙනාර්ඩ් වැනි චරිතයක කළු අඳුර සහ ඔහු ක්ලේරාගෙන් ගැලවීමට සිය පවුලේ අයට ගොතා කියන බොරු විශ්වාස කරන පමණට ඒ පවුලේ ගැහැනු ඒ පිරිමියා ව්ශ්වාස කිරීම ,උදේනගේ පවුලේ අයගේ කෙනෙහිලිකම් ,අකටයුතුකම් දරා ගැනීමට තරම් මේ ගැහැනිය සාධාරණ වූයේ කෙසේදැයි යන්න විටෙක අපට ප්‍රශ්නයකි.ඇය තමාගේ නිර්දෝෂ භාවය වෙනුවෙන් සටන් නොකරම එයින් පලා ගියේදැයි තව වරෙක සිතෙයි.

ඒ කෙසේ වෙතත් මේ කෘතිය මතු නොව ස්ත්‍රී පුරුෂ ආශ්‍රය පිළිබඳ සංකීර්ණ මනෝ භාවයන් සහ විවිධ චිත්ත චෛතසික තත්ත්වයන් සේම ඔවුනොවුන්ගේ කායික මානසික සබඳතා හුදෙක් විචාරයෙන් පමණක් ම සලකා බලා නිගමනය කළ නොහෙන නිසාදෝ මේ පිළිබඳ අනවශ්‍ය තක්සේරුවක් නොකරමි.එහෙත් මෙය කියවා ජීවිතය පිළිබඳ නැවත සිතා බැලිය හැකි කෘතියකි.පුරුෂාශ්‍රයෙන් ස්ත්‍රිය පතන සතුට,සංතෘප්තිය කුමක්ද? ක්ලේරාගේ චරිතය ඇසුරෙන් අපි ඒ පිළිබඳ තවදුරටත් සිතා බලමු.ඒනම් හුදෙක් ස්ත්‍රියට මතු නොව පුරුෂයාට ද නැවත නැවතත් විවෘතව ම සිතා විමසා බැලිය හැකි පැනයකි.

ඒ වෙනුවෙන් මේ ක්ලේරාගේ කතාව නිමිත්තක් වේවා !

නවතම ලිපි