යුග දිවියක් ගෙවන කාන්තාවක් සහ පිරිමියකු යනු ම එක් ආකාරයකට තම තමන්ගේ පුද්ගලික නිදහස ස්වයං වාරණයකට ලක් කර ගත්තෝ වෙති.

නමුදු මේ අතුරෙන් ද කාන්තාව යනු වඩ වඩාත් තම නිදහස අහිමි කරගත් පුද්ගලයෙකි. කුමන හෝ පාර්ශ්වයකින් ගෙන බැලුව ද යථාර්ථය එය යි.


විවිධ නිර්මාණකරුවෝ තම තමන්ගේ නිර්මාණ තුළින් එකී කාන්තාවගේ පීඩාකාරී බව සහ ඇගේ නොනිදහස්භාවය පිළිබඳ විවිධාකාරයේ නිර්මාණ බිහි කර ඇත. වෙසෙසින් ම කෙතරම් බාධා මධ්‍යයේ වුව ද පුරුෂ පාර්ශ්වය තමන්ගේ නිදහස භුක්ති විඳීමේ වරප්‍රසාදය අත්පත් කරගෙන ඇත.

සිතා රංජනීගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන ‘‘උරග විංසතියක කුරුලු බිත්තර’’ කෘතියේ එන කවි අතර ද ස්ත්‍රියගේ පීඩාකාරිත්වය පිළිබිඹු කෙරෙන නිර්මාණ කිහිපයක් ම අන්තර්ගත ය. ඒ අතුරෙන් ‘‘නිල නොනිල’’ නමැති නිර්මාණය තුළින් පිරිමි පාර්ශ්වය තම නිදහස කෙතරම් සූක්ෂ්මාකාරයෙන් භුක්ති විඳින්නේ ද යන්න ඉතා මැනවින් ඉදිරිපත් කර ඇත.


ලෝකෙට පරකාසේ
නිල ලත් කුටුම්බයක්
ලෝකෙට අප්‍රකාසේ
නිල නොලත් කුටුම්බයක්
වැඩි නොවන වැටුපට
හැමදාම බැන බැන
කුටුම්භ දෙකටම
අනුයුක්ත කළ රැ වැඩ මුර
බෙදා හදාගෙන
බෝ පැළයක චරිතය රඟන්න
පුළුවන්ද කසාද ගැහැනියකට
කසාද පුරුෂයකුට ම මිස?



මෙම නිර්මාණයේ මතු නොව ‘‘උරග විංසතියක කුරුලු බිත්තර’’ කාව්‍ය සංග්‍රහයේ එන බොහෝ නිර්මාණ එස්. ටි. කොලරිජ් පවසන ආකාරයට වඩා සපුරා ම වෙනස් ය. එනම් කොලරිජ්ට අනුව ‘කවිය යනු හොඳම වචන හොඳ ම පිළිවෙළට යෙදීම’ ය. නමුදු සීතා රංජිනීගේ මෙම කෘතියේ ‘‘හොඳ ම’’ යැයි සම්මත වචන අවම ය. එමෙන් ම එබඳු වචන තිබුණ ද ඒවා ‘‘හොඳ ම පිළිවෙළට’’ තබා නැත. එහෙත් අදාළ කෘතියේ කියවා විඳිය හැකි කවි බාහෝ ප්‍රමාණයක් අන්තර්ගත ය.

යට සඳහන් කවිය ඉදිරිපත් කිරීමේ දී කිවිඳිය සාම්ප්‍රදායික අරුතෙන් බැහැරව මෙන් ම කාව්‍යාලංකාර කිසිවක් භාවිත නොකරමින් වුව ද පවුල් කුටුම්භය තුළ පිරිමියකු තම ස්වයං නිදහස කුමනාකාරයෙන් භුක්ති විඳින්නේ ද යන්න ඉතා කදිමට ඉදිරිපත් කර ඇත. එහි දී ඇය යොදන විශේෂණ පද ත්‍රිත්වයකි. එනම්,



බෝ පැළයක චරිතය රඟන්න
පුළුවන්ද කසාද ගැහැනියකට
කසාද පුරුෂයකුට ම මිස?



යන්න ය. විවාහ කුටුම්භය තුළ සිරව සිටිනා ඇතැම් පුරුෂයෝ මෙන් ම කාන්තාවෝ ද ‘අනියම්’ යැයි සම්මත සබඳතා පවත්වති. නමුදු එකී සබඳතා ද වාත් නිදහසේ භුක්ති විඳීමේ වරම පුරුෂ පාර්ශ්වයට හිමි වී ඇති බව ද නොරහසකි. කිවිදිය මෙලෙස කියා පාන්නේ එකී යථාර්ථය යි; ඒ යථාර්ථය මගහැර යන්නට හෝ එය පිටුදකින්නට කිසිවකු අසමත් වනු ඇත.

උපදින ඕනෑම පුද්ගලයෙකු කෙදිනක හෝ මිය යන බව ඒ සෑම පුද්ගලයෙකු ම හොඳින් ම දැන සිටියි. නමුදු කිසියම් පුද්ගලයෙකුගේ ජීවත් වන කාලය මෙපමණක් යැයි වෛදයවරයෙකු හෝ වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රකාශ කරනු ලැබුව හොත් කුමක් සිදුවේ ද...? ඔහු හෝ ඇය ‘මරණය නියත’ බව කෙතරම් දැන සිටිය ද, මරණයට බිය නොවී සිටිය ද, මිය යන දිනය හෝ කාලවකවානුව නිශ්චිත ලෙස දැනගත් සැණින් එම පුද්ගලයා ක්‍රියාත්මක වන්නේ වෙනස් ම ස්වරුපයකිනි.

සිතා රංජනී යනු ද සැබෑ ජීවිතයේ දී මෙකී යථාර්ථය අත් විඳි සහ තව දුරටත් අත් විඳිමින් සිටින කාන්තාවකි. ඇය එකී යථාර්ථයට මුහුණ දෙන ආකාරය ‘‘ඒ දවසට සුදානම්’’ නමැති නිර්මාණය තුළින් ඉතා ඍජුව මෙන් ම නිභයව ඉදිරිපත් කර ඇත.


ශරීරය නුඹ කුමක් සිතුවද
පළක් නැත.
හිතුමනාපෙට
පැහැර ගන්නට ඉඩ නොදෙමි
මේ, මගේ ජීවිතය
නුඹට පමණක් නොව
දුක
මටත් හොඳටම හුරුය.


දවසක් ඒවි
එතෙක් මම නුඹ නඩත්තු කරමි
කැමති වුවත්,
නොවූවත්,
ඒ නුඹ නිසාමත් නොවේ
නුඹ ගැන කියන්නට
බොහෝ දේ ඇති නිසාමත් නොවේ
මට කරන්නට
බොහෝ දේ ඇති නිසාවෙනි.


නුඹේ නොහැකියාවට නොව
අපට සමපාත වන්නට සිදුවන
නුදුරු දිනයක වුව
සියලු වැඩ අත්හැර
දමා යාමට මටද,
නොහැකියාවක් නොමැත
හැර දමා යා නොහැකි
කිසිවක් නොමැත


නමුත්,
දැන සිටින එක හොඳයි,
ශරීරය නුඹ සුළු දෙයකි
ජීවිතය යනු මහමෙරකි.


මෙම නිර්මාණය කියවා අවසන් වන විට ඇතැම් විට එය ‘මාරයා’ නමැති සංකල්පීය චරිතයට කළ අභියෝගයක් නොවේදැයි හැඟේ. මන් ද කවිය ඉදිරිපත් කරන්නා හෝ කරන්නිය ‘මරණය’ නමැති ක්‍රියාවලියේ යථාව අවබෝධ කරගෙන සිටිය ද එයට බරපතළ අභියෝගයක් ද එල්ල කර ඇත.

 

නුදුරු දිනයක වුව
සියලු වැඩ අත්හැර
දමා යාමට මටද,
නොහැකියාවක් නොමැත



යට සඳහන් වදන් කිහිපය ඊට සාක්ෂි සපයයි. නමුදු කථකයා හෝ කථකාව මිනිස් සිරුර සහ මිනිස් ජීවිතය යනු එකක් නොව දෙකක් ම බව ඉතා දැඩිව අවධාරණය කරයි. ඒ...



ශරීරය නුඹ සුළු දෙයකි
ජීවිතය යනු මහමෙරකි.


යනුවෙන් එකතු කර ඇති පද යුගලෙනි. මිනිස් ජීවියකු ලෙස උපත ලබන අපි ඉතා ගැඹුරෙන් අවබෝධ කරගත යුතු කරුණකි මෙය. එනම්,

අපි ජීවත් කළ යුත්තේ, නඩත්තු කළ යුත්තේ ‘මිනිස් සිරුර’ නොව ‘මිනිස් ජීවිතය’ බවයි. කවිය ඉදිරිපත් කරන්නේ කථකයෙක් ද කථකාවක් ද යන්න දර්ශනය නොවුණ ද මේ අන් කිසිවක් නොව කිවිඳියගේ ම ජීවිතාවබෝධය තුළින් ලබාගත්, වැඩි දියුණු කළ කිසියම් දාර්ශනික සංකල්පයක් බව නොරහසකි; එය මිනිස් ජීවියකු ලෙස උපත ලබා ඇති මමත්, ඔබත් ඉතා ගැඹුරින් අවබෝධ කරගත යුතු යථාර්ථයකි.

යට විමංසනයට ලක් කළ නිර්මාණයට පසුව ඇති නිර්මාණය ද (ඉඩං නඩුව) මිනිස් ජීවිත පිළිබඳ යථාවබෝධයක් ලබාදෙන කදිම නිර්මාණයකි. මෙම නිර්මාණය රස විඳි සැණින් මට සිහිපත් වූයේ මහාචාර්ය සරත් විජේසූරිය විසින් රචිත නිරානන්දය ප්‍රබන්ධ නිර්මාණය යි. එම නිර්මාණයට පාදක වන්නේ ද ඉඩම් ආරවුලකි; එඩමක මායිමක පිහිටි ගසක් වෙනුවෙන් දීර්ඝ කාලයක් නඩු කියන කතාවකි.

 


ඉව්වා බත් මාළු
සේදුවා හැළි වළං
ඇපිල්ලුවා රෙදි පෙරදි
ඇමදුවා ගේ මිදුල්
මැද්දා කක්කුස්සිය...


නැළෙව්වා දරු පැටවු
කැව්වා, පෙව්වා
ලොකු මහත් කෙරුවා
නිදි මැරුවා මඟ බලන්...


උයනවා
සෝදනවා
අපුල්ලනවා
අමදිනවා
මදිනවා
නිදි මරනවා
නළවනවා දැන් යළිත්
කවනවා, පොවනවා
දරුවන්ගෙ දරු පැටව්

උසාවිය නිශ්ශබ්දයි
සංසාර චක්කරේ
මේ ඉඩං නඩුව!



මෙම නිර්මාණය තුළින් ‘ඉඩම් නඩු’ නමැති ඛේදවාචකය මෙන් ම මෙරට පවත්නා නීති පද්ධතියේ දුර්වලතාව ද ඉතා මැනවින් ප්‍රකට කර ඇත.

එමෙන් ම කවිය ඉදිරිපත් කරන්නේ කථකාවක් බව හැඟෙන ආකාරයේ ව්‍යංගාර්ථ උපස්තම්භක කරගැනීමට කිවිඳිය සමත්ව ඇත. පෙර සඳහන් කළ පරිදි ම එකී ව්‍යංගාර්ථ උදෙසා වුව ද ‘ලස්සන’ යැයි සම්මත වදන් භාවිත නොකළ ද අදාළ වදන් තුළින් නිර්මාණයේ ව්‍යංගය මැනවින් අවබෝධ කරගත හැකි ය.

යට විමංසනයට ලක් කළ ‘‘නිල නොනිල’’ නිර්මාණයට සමගාමී වුව ද එහි වෙනත් පර්ශ්වයක් පිළිබිඹු කෙරෙන නිර්මාණයක් ලෙස ‘‘ඒ ආදරේ’’ නමැති නිර්මාණය හැදින්විය හැකි ය.

 

මෙහි දී කිවිඳිය යත්න දරා ඇත්තේ විවාහක බිරිඳකගේ අපේක්ෂාසහගත භාවය යි. නමුදු මෙම තත්ත්වය පුරුෂ පාර්ශ්වය අරුත් ගන්වන්නේ බිරිඳගේ ආඥානකම හෝ මූඪත්වය ලෙස ය. එසේ සිතන පිරිමි සංහතියට ම මෙම නිර්මාණය අතුල් පහරක් බව නම් පැවසිය යුතු ම ය.

තවත් පසෙකින් ගත් විට ලාංකිය සමාජය තුළ පවත්නා ‘‘කොල්ලෙක් (පුරුෂයෙක්) නං නාවල ගෙට ගන්න පුළුවං... ඒ උනාට කෙල්ලෙක්ට (කාන්තාවකට) එහෙම කරන්න පුළුවංද...’’ යන කියමන ද මෙම නිර්මාණය තුළින් දැඩි අභියෝගයට ලක් කර ඇත.



වට වන්දනාවේ ගිහින්
වට රවුම් කැරකිලා
පරංගියා කෝට්ටෙ ගියා වාගේ
ඇඹරිලා, ඇද වෙලා.
ඇද බෑවේ නැතෑ
ආදරණීය ගජ බින්නයක්
‘‘ඔයා විතරයි මගේ පණ’’


රාජකාරියට පිට ගිහින්
දවක් දෙකක් ගතවෙලා
උකුසු ඇස්වලින් වහං වී ඉඳලා
පිරුවටය වාගේ පේ වෙලා
ඇවිත් කිවත් ඇත්ත ම ඇත්ත මං
පිළිගනීවිද වට වන්දනාවේ ගිය එයා
‘‘ඔයා විතරයි මගේ පණ’’


 

සැබැවින් ම මේ පවතින යථාර්ථය ඉතා කෙටියෙන්, සරල ව සහ සියුම්ව ඉදිරිපත් කළ අවස්ථාවක් නොවන්නේ ද...? යළිත් කොලරිජ්ගේ කියමන සිහිපත් කරමින් පැවසිය යුතුතේ ‘‘ලස්සන වදන් ලස්සනට, පිළිවෙළට’’ නොලීව ද කිසියම් සමාජ ඛේදවාචකයක් හෝ සමාජ ප්‍රශ්නයක් සරලාකාරයෙන් පැවසීමට කිවිඳිය කතරම් දුරට සමත් වී ඇති ද යන්න මෙම නිර්මාණය කදිම නිදසුනකි යන්න ය.

සිංහල වදන් මාලාවේ එන ඇතැම් වදන් බහු අරුත් සහිත ය. එමෙන් ම එකී වදන් තුළින් කියැවෙන අරුත් සාපේක්ෂ ය. ‘‘හොඳ - නරක’’, ‘‘රස - නීරස’’, ‘‘යුද්ධය - සාමය’’ යනාදි වදන් ඒ අතුරෙන් කිහිපයකි. එබදු ම වදනක් ලෙස ‘‘උපේක්ෂාව’’ යන්න හැඳීන්විය හැකි ය. එම වදනෙන් පිළිබිඹු වන අරුත අවස්ථා ද්වයක දී ද්විත්වාකාරයට බලපාන ආකාරය ‘‘උපේක්ෂාව’’ නමැති නිර්මාණය තුළින් ප්‍රකට කර ඇත. පළමුව නිර්මාණය වෙත අවධානය යොමු කරමු.




ඒක හොඳ ලස්සන වචනයක්
තියෙන හැටියට කන කොට
තියෙන හැටියට අඳින කොට
දේසෙ හැටියට වාසෙ හිතමින්
ජීවිතේ රස විඳිනකොට


ඒක හරි දුක්බර වචනයක්
වැස්ස පැල් බඳින කොට
නියඟය ගිනි පිඹිනකොට
මිනිස් සිතකට කළ හැකි දෙයක් නැති කොට


ඒක මහ කැතම කැත වචනයක්
යුක්තිය වල් වැදෙන කොට
අවිචාරය රජකරන කොට
දැත් බැඳං, කට පියං,
ඔහේ බලං ඉන්නකොට




මෙම නිර්මාණයේ කාව්‍යාලංකාර නොමැති තරම් ය; කාව්‍යෝක්ති තැවරී හෝ නොමැති තරම් ය. එහෙත් බෞද්ධ ඉගැන්වීම්වල පවා එන සිවු බඹු විහරණවලට අයත් වදනක; එකී වදනට අනුකූලව කටයුතු කරන ආකාරය පිළිබඳ විරුද්ධාර්ථය මෙම නිර්මාණය තුළින් කදිමට විවරණය කෙරේ. එහි වචනාර්ථයෙන් පිළිබිඹු කෙරෙන දෙයෙහි සාපේක්ෂතාව ද මෙගින් කදිමට විවරණය කෙරේ. එහි වඩාත් ප්‍රබල ම අවස්ථාව වන්නේ...


 

යුක්තිය වල් වැදෙන කොට
අවිචාරය රජකරන කොට
දැත් බැඳං, කට පියං,
ඔහේ බලං ඉන්නකොට...


 

එකී වදනට අනුව කටයුතු කිරීම ම කෙතරම් දුරට මිනිසාගේ යහපැවැත්මට බාධා එල්ල කරන්නේ ද යන්න ය; එවන් අවස්ථාවල ද එකී වදනේ, වදනාර්ථයේ ම ඇලි ගැලී සිටීම කෙතරම් දුරට සාධාරණ ද යන්න ය.

කාව්‍ය නිර්මාණ හතළිස් පහකින් සමන්විත ‘‘උරග විංසතියක කුරුලු බිත්තර’’ කෘතියේ මට; කියවා, විඳ, විමංසනය කරනට තරම් රුචිකත්වයක් දැනවූ නිර්මාණ විසි දෙකක් තිබිණ.

ඒ අතුරෙන් යට විමංසනය කළ නිර්මාණ පහට අමතරව: ‘‘හුස්ම’’, ‘‘වැස්ස’’, ‘‘උපාසක ඇත්තෝ’’, ‘‘අස්තංගත’’, ‘‘කන්නගී’’, ‘‘ආවේක්ෂණය’’,‘‘හැටේ ළමිස්සි’’, ‘‘හැඩය’’, ‘‘අවනත වීම’’, ‘‘වැළමිටෙන් පිරිමැදීම’’, ‘‘කතන්දර’’, ‘‘කොදෙව්ව’’, ‘‘රැඩිකල්’’. ‘‘තේ කඳු’’, ‘‘ත්‍රිකෝණ කම්කරුවාගේ ඉතිහාසය’’, ‘‘කූඹියෝ’’, සහ ‘‘රුපාන්තරණය’’ යන නිර්මාණ ද කියවා රස විඳි බව පැවසිය යුතු ම ය.


ප: ලි: උපුටා ගැනීම් සියල්ලෙහි අක්ෂර වින්‍යාස සහ පද බෙදිම් කෘතියේ අන්තර්ගත පරිදි ම ය

@Theleader.lk