“කලා නිර්මාණයක් කොතරම් මිහිරි වූවත් එහි සත්‍යය යටපත්ව මනුෂ්‍යත්වයෙන් තොර නම්

එය උපමා කළ හැක්කේ බෙල්ලා රහිතව අප ආකර්ෂණය කරගන්නා ලස්සන සිප්පි කටුවකටය”: රුසියානු මූර්ති ශිල්පී එල්.ඊ. කර්බෙල්

‘අල්බොරාදා’ යනු ස්පාඤ්ඤ වචනයක්. එහි තේරුම අරුණෝදය යන්නයි. දකුණු ඇමරිකාවේ පේරුහි 1984 අවුරුද්දේ අල්බොරාදා යනුවෙන් සංගීත කණ්ඩායමක් බිහිවී ඔවුන් ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. මෙම කණ්ඩායම උතුරු සහ දකුණු ඇමරිකානු ජනයා අතර වඩාත් ප්‍රචලිත වී තිබෙනවා. ඔවුන්ගේ සංගීතයේ පදනම වුණේ දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කඳුකර ප්‍රදේශවල ස්වදේශික ඇමරිකානු ජනයාගේ සාම්ප්‍රදායික සංගීතයයි.


එමෙන්ම 2005 අවුරුද්දේ උතුරු ඇමරිකාවේ මැක්සිකෝවේ කොටස් වශයෙන් තිරගතවූ ජනප්‍රිය සෝප් ඔපෙරාවක් ද මේ නමින් තිබුණා. එයට පසුබිම් වන්නේ යටත් විජිත මධ්‍යම ඇමරිකාවේ පැනමාව සහ මැක්සිකෝව ස්පාඤ්ඤයෙන් නිදහස ලැබීමට ආසන්නව පැවති ඓතිහාසික වකවානුවට අදාළ සිද්ධිදාමයක්.

alboroda 1


අල්බොරාදා නමින් 2021 දී අශෝක හඳගම චිත්‍රපටියක් නිර්මාණය කර තිබෙනවා. කතාවේ කේන්ද්‍රීය චරිතය වන්නේ 1929 අවුරුද්දේ චිලියානු කොන්සාල්වරයා වශයෙන් මෙහි පැමිණ වසර 02ක් (1929-1931) සේවය කළ පැබ්ලෝ නෙරූදායි (1904-1973). මෙම තානාපති සේවාවට නෙරූදා පත් කෙරෙන්නේ ඔහුගේ ජීවිතයේ නව යෞවන අවධියේ 25 වන අවුරුද්දේ. යටත් විජිත ලංකාවේ ජීවත් වූ කාලයේ ඔහුගේ නවාතැන වී තිබෙන්නේ කොළඹ 06, වැල්ලවත්තේ වෙරළාසන්න ප්‍රදේශයේ අංක 42 පටුමගේ අංක 56 දරන නිවසයි. නෙරූදා ඔහුගේ මතක සටහන් වශයෙන් ලියා, පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය කර මුද්‍රණය කෙරුණු ‘මෙමොයාස්’ කෘතියට අනුව ඔහු සිය නිවෙස්නය හඳුන්වා ඇත්තේ ‘මගේ හුදකලා බංගලාව’ යනුවෙනුයි.

ලංකාවේ ජීවත්වූ කාලයේ කොළඹ 07, ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට් මාවතේ පදිංචිව සිටි ඔහුගේ මිතුරෙකු වූ ලයනල් වෙන්ඩ්ට්ගේ නිවාසයට ‘අල්බොරාදා’ යන නම යෝජනා කොට ඇත්තේ පැබ්ලෝ නෙරූදා බව කියැවෙනවා. ලයනල් වෙන්ඩ්ට් ද ඉංග්‍රීසි භාෂාව, ස්පාඤ්ඤ භාෂාව මෙන්ම වෙනත් යුරෝපීය භාෂාවන් කිහිපයක් මනාව හැසිරවීමට හැකියාව සහිත කෙනෙක්. ලයනල් වෙන්ඩ්ට්ගේ කෙටි ජීවිත කාලය තුළ ඔහුගේ නිවෙස්නය වූ ‘අල්බොරාදාව’ පාළු හෝ නිස්කලංක තැනක් නොවූ බව එකල ඇතිවූ සිදුවීම් හා ඒ අනුව ලියැවී ඇති ලේඛනවලින් පෙනී යනවා. ලයනල් වෙන්ඩ්ට්ගේ අල්බොරාදා නිවස චිත්‍ර ශිල්පීන්, නර්තන ශිල්පීන්, සිනමාකරුවන්, ඡායාරූප ශිල්පීන් ගැවසුණු ස්ථානයක් මෙන්ම පියානෝ සංගීතය රසවිඳීමත් කලා විචාර සඳහා වාද විවාදවලිනුත් පිරි සංස්කෘතික මධ්‍යස්ථානයක්ව පැවති බව පැහැදිලියි.

 

alboroda 2


හඳගමගේ චිත්‍රපටියේ නම ‘අල්බොරාදා’ වුණාට මෙම සිදුවීම් පෙළට අදාළ සත්‍ය ස්ථානය වන්නේ චිලී කොන්සාල්වරයාගේ තානාපති නිල නිවාසය වූ ‘සොලිටරි බංගලාවයි.’ 20 වන සියවසේ ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අල්බොරාදාව ක්‍රියාකාරී විශිෂ්ට සංස්කෘතික මධ්‍යස්ථානයක්. එය මෙරට සංස්කෘතික සංකේතයක් ලෙස ඍජුව බද්ධ වන්නේ ලයනල් වෙන්ඩ්ට් චරිතයටයි. නිර්මාණ කාර්යයකදී එයට උචිත නමක් යෝජනා කර ගැනීමට හා නිර්මාණ නිදහසක් නිර්මාණකරුවාට තිබෙනවා. හඳගමගේ ‘අල්බොරාදා’ චිත්‍රපටිය කලාත්මක රූප පෙළක්, කුසලතා පිරි රංගන චරිත ගණනාවකින් සමුච්චිත ඊට අනුප්‍රාණ සපයන සංගීතය එකතු වූ නිර්මාණයක් බව ටේ්‍රලරය නැරඹීමෙන් හැඟී ගියා.

අල්බොරාදා

 

alboroda 3


‘අල්බොරාදාව’ ලංකාවට වැදගත් වන්නේ එය පසුගිය සියවසේ අපේ රටේ ජීවත්වූ විශිෂ්ටතම සංස්කෘතික මිනිසෙකුගේ නිවහන මෙන්ම මෙරට කලා ක්‍රියාකාරකම් ජාත්‍යන්තරය දක්වා මෙහෙයවුණු නූතන ඉතිහාසයේ කීර්තිමත් සංස්කෘතික මධ්‍යස්ථානය ද මේ නමින් හදුන්වා තිබීම නිසායි. එය පිහිටා තිබුණේ පැරණි ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට් මාවතේ අංක 18 දරන ස්ථානයේ, අද එම මාවත නම් වෙන්නේ ‘ප්‍රේමසිරි කේමදාස මාවත’ යනුවෙනුයි.

‘අල්බොරාදා’ ලයනල් වෙන්ඩ්ට්ගේ (1900-1944) මහගෙදර නමයි. ඔහුගේ මරණයෙන් අවුරුදු 06කට පසු එනම් 1950 අවුරුද්දේ ඔහු ස්මරණය කිරීම පිණිස ඔහුගේ මිත්‍ර හැරල්ඩ් පීරිස් (1905-1981) විසින් ‘අල්බොරාදා’ නමින් වූ ඔහුගේ පැරණි ගෙදර කඩා ඉවත් කොට එම භූමියේ ලයනල් වෙන්ඩ්ට් ස්මරණය කිරීම පිණිස අද තිබෙන ලයනල් වෙන්ඩ්ට් කලාගාරය හා රංග ශාලාව ඉදිකර තිබෙනවා. එය අද හැඳින්වෙන්නේ ‘ලයනල් වෙන්ඩ්ට් අනුස්මරණ පදනම’ යනුවෙනුයි. එම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යා සැලැස්ම නිර්මාණය කර තිබෙන්නේ එවකට මෙරට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන චිත්‍ර කලා පරීක්ෂකවරයා වූ චිත්‍ර ශිල්පී ජෙෆ්රි බීලිං (1907-1992) සහ බර්නාඩ් ජී. තෝන්ලි විසිනුයි.

 

alboroda 4


ලයනල් වෙන්ඩ්ට් ජීවත්වූ කාලයේ උඩරට නර්තනය පිළිබඳ කීර්තිමත් නර්තන ශිල්පීන් වූ සුරඹා ගුරුන්නාන්සේ හා උක්කුවා ගුරුන්නාන්සේ ප්‍රමුඛ නර්තන කණ්ඩායම් කොළඹ පැමිණි අවස්ථාවල ලැගුම්ගෙන තිබුණේ අල්බොරාදාවේ.


1935 දී බ්‍රසල්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී වාර්තා චිත්‍රපට අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් බැසිල් රයිට් 1934 දී අධ්‍යක්ෂණය කළ ‘ලංකා ගීතය’ (සෝන්ග් ඔෆ් සිලෝන්) නිර්මාණය කිරීමේ සංවිධාන කටයුතු සිදුව තිබුණේද අල්බොරාදාවේ. ජුලියා මාග්‍රට් කැමරන් නැමැති ලේඛිකාවක් සමග පැවති සාකච්ඡාවකදී “මෙතෙක් ජීවත් වෙලා සිටි නිසල ඡායාරූප ශිල්පීන්ගෙන් විශිෂ්ටගණයේ කෙනෙක් තමයි ලයනල් වෙන්ඩ්ට්. මම එයාව ස්ථානගත කරන්නේ මට හමුවී ඇති හොඳම සය දෙනාගෙන් කෙනෙක් අතරටයි.” යනුවෙන් බැසිල් රයිට් ලයනල් වෙන්ඩ්ට් පිළිබඳව කියා ඇති බව ‘රිඩිස්කවරින් ලයනල් වෙන්ඩ්ට්’ ලිපියෙන් මානෙල් ෆොන්සේකා 1994 වාර්තා කර තිබෙනවා.

‘සෝන්ග් ඔෆ් සිලෝන්’ චිත්‍රපටයේ බෙරවාදන ශබ්ද පටිගත කිරීමට උක්කුවා ගුරුන්නාන්සේ හා සුරඹා ගුරුන්නාන්සේ එංගලන්තයට කැඳවාගෙන යන්නේ ද අල්බොරාදාවේ සිදුවන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිනුයි. මේ සඳහා බරපැන දරා තිබෙන්නේ චිත්‍ර ශිල්පී හැරී පීරිස් (1904-1988). උඩරට නැටුම් ප්‍රවර්ධනය කිරීමට ලයනල් වෙන්ඩ්ට්, ජෝර්ජ් කීට් (1901-1993) ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කෙරෙන සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 1920 දශකයේදී නුවර සිරිමල්වත්තේ ගුන්නෑපානේ සුරඹා ගුරුන්නාන්සේ සඳහා නර්තන පාසලක් ගොඩනගා තිබෙනවා. උඩරට නර්තන ශිල්පීන් වන උක්කුවා, ගුනයා, පුංචි ගුරු හා ජයනා ද ඇතුළත්ව මෙම නර්තන පාසල ‘මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය’ යනුවෙන් ප්‍රවර්ධනය වී තිබෙනවා. 1939 දෙගල්දොරුව රජමහා විහාරයේදී පවත්වා ඇති නර්තන ශිල්පී ජයනාගේ කලඑළි මංගල්‍යයේදී ජයනාගේ වෙස්කට්ටලය සමග බරපැන දරා පසුව ජයනාට ඉන්දියාවට ගොස් නැටුම් ඉගෙන ගැනීමට මුල්‍යාධාර ලබා දී ඇත්තේ ‘අල්බොරාදාව’ කේන්ද්‍රව මෙම කටයුතු මෙහෙයවූ ලයනල් වෙන්ඩ්ට් විසිනුයි.

alboroda 6

යටත්විජිත යුගයේ මෙරටට පත්ව ආ ප්‍රථම චිත්‍ර කලා පරීක්ෂකවරයා වූ ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පී සී.එෆ්. වින්සර් (1886-?) මෙරට රාජකාරි කළ කාලයේ (1920-1931) ඔහුගේ සමීපතම මිතුරෙක් බවට පත්වී ඇත්තේ අල්බොරාදාවේ ලයනල් වෙන්ඩ්ට්. ඒ අනුව මුල් කාලයේ ජෝර්ජ් කීට්, ජස්ටින් පීරිස් දැරණියගල (1903-1967) සහ ජෙෆ්රි බීලිංගේ පින්තාරු කිරීම් සහ ඇඳීම් එකතුවක ප්‍රදර්ශන සංවිධානය කර තිබෙන අතර ඒ සඳහා විචාරක ලිපි වින්සර් සහ ලයනල් වෙන්ඩ්ට් ලියා තිබෙනවා. ඒ සමගම පැබ්ලෝ නෙරූදා ද ස්පාඤ්ඤ බසින් ලියූ චිත්‍ර කලා විචාර ලයනල් වෙන්ඩ්ට් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට පළකර තිබෙනවා.


වින්සර් සහ ලයනල් වෙන්ඩ්ට් දෙදෙනාගේ මූලිකත්වයෙන් මෙරට නූතන යුගයේ ප්‍රථම පුරෝගාමී කලා ව්‍යාපාරය හෙවත් ‘43 කණ්ඩායම’ බිහිවී තිබෙනවා. 43 කණ්ඩායම, ලයනල් වෙන්ඩ්ට් (ප්‍රධාන සංවිධායක* චිත්‍ර ශිල්පීන් වූ හැරී පීරිස් (ප්‍රධාන ලේකම්), ජේ.ඩබ්.ජී. බීලිං, රිචඩ් ගේබි්‍රයල් (1924-2016) අයිවන් පීරිස් (1921-1988), ජස්ටින් පීරිස් දැරණියගල, ජෝර්ජ් ක්ලැසන් (1909-1999), ඕබි්‍ර කොලට් (1920-1992) එල්.ටී.පී.මංජු ශ්‍රී (1902-1982) යන අයගෙන් සමන්විතවී තිබෙනවා. ලයනල් වෙන්ඩ්ට් මිය යන තෙක්ම 43 කණ්ඩායමේ රැස්වීම් පවත්වා තිබුණේ අල්බොරාදාවේ. ඔහුගේ මරණයෙන් පසු සංවිධානයේ රැස්වීම් හැරී පීරීස්ගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ පවත්වා ඇති අතර පසුව එම නිවස හඳුන්වා තිබුණේ ‘සපුමල් පදනම’ වශයෙනුයි.

alboroda 7
පැබ්ලෝ නෙරූදා මෙරට චිලී තානාපති ලෙස කටයුතු කළ කාලයේ ඔහු වයස අවුරුදු 25ක යෞවනයෙක් වන අතර ලයනල් වෙන්ඩ්ට් ඔහුට වඩා අවුරුදු 04 කින් වැඩිමල්ව 29 වන වියේ පසු වී තිබෙනවා. හාර්ඩි සෙන්ට් මාර්ටින් විසින් ස්පාඤ්ඤ බසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇති පෙන්ගුවින් සමාගම ප්‍රකාශයට පත්කළ පැබ්ලෝ නෙරූදා පසු කලෙක ලියූ ‘මෙමොයාස්’ නම් ඔහුගේ මතක සටහන් පොතේ 93 වන පිටුවේ නෙරූදා ලයනල් වෙන්ඩ්ට් ගැන මෙසේ ලියා තිබෙනවා.


“ටිකින් ටික ඇතුල්වීමට නොහැකිව තිබූ ඝන සිවිය විවර වීමට පටන්ගෙන මම හොඳ යහළු මිත්‍රකම් කිපයක් ගොඩ නගා ගත්තෙමි. ඒ සමගම මම තරුණ පරම්පරාව ද හැඳින ගතිමි. යටත් විජිතවාදී සංස්කෘතියෙහි ගිලී සිටි ඔවුන් කතා කළේ එංගලන්තයෙන් එදිනෙදා නිකුත්වන පොත් පිළිබඳව පමණි. අධිරාජ්‍යවාදය මරණයේ හඬ සහ ලංකාවේ ස්පර්ශ නොකරන ලද වටිනාකම් පිළිබඳව මානුෂීය තක්සේරු කිරීම අතර අතරමංවී තිබෙන සංස්කෘතික ජිවිතයක කේන්ද්‍රීය රූපය, පියානෝ වාදක, ඡායාරුප ශිල්පී, විචාරක සහ චිත්‍රපට ශිල්පී ලයනල් වෙන්ඩ්ට් බව මම හඳුනා ගතිමි.


විශාල පුස්තකාලයක අයිතිකරු වූ ලයනල් වෙන්ඩ්ට්හට එංගලන්තයෙන් නිකුත්වන සෑම පොතක්ම ඒ හා විගසම ලැබුණේය. නගරයේ සිට සෑහෙන දුරකින් වූ මාගේ නිවස වෙත සැම සතියකම පිරුණු පොත් ගෝනියක් ගෙන බයිසිකල්කරුවෙකු එවිමේ සීමාව ඉක්මවා ගිය සහ ත්‍යාගශීලී පුරුද්දකට ඔහු යොමු වී සිටියා. එබැවින් යම් කාලයක් දක්වා කිලෝ මීටර් ගණන් දිග ඉංග්‍රීසි නවකථා මම කියවීමි. ඒ අතර ෆ්ලෝරන්ස් නගරයේ පුද්ගලිකව මුද්‍රණය කරන ලද ලේඩි චැටර්ලි’ස් ලවර් නවකථාවේ මුල් පිටපතද විය.”

 

alboroda 8

 

1929-1931 යටත් විජිත ලංකාවේ චිලි තානාපතිට එරෙහි චෝදනාවක්


පැබ්ලෝ නෙරූදා විසින් ලියන ලද ඔහුගේ ‘මෙමොයාස්’ පොත අනුව ඔහු මෙහි තානාපති සේවාවේ නියැළි සිටි කාලයේ සමාජයේ පහළම වෘත්තියක නියැළි තරුණ ද්‍රවිඩ කම්කරු ළඳක් සමග ලිංගිකව හැසිරුණු බව නොසඟවා ලියා තිබෙනවා. ලිවීමට අවංක වුවත්, මෙම සිදුවීම තුළ ඇති අමානුෂිකත්වය බලහත්කාරී බව මෙන්ම වරප්‍රසාද සහිත බලලත් ඉහළ නිලධාරීන් තුළ පැවති කාන්තාවන් පිළිබඳ පහත් දෘෂ්ටිය සහ හැසිරීම යන කරුණු මෙයින් ප්‍රකාශ වෙනවා. විශේෂයෙන් අධිකාරී බලයක් සහිත යටත් විජිත විදේශ නිලධාරියෙකුගේ සෙල්ලක්කාර හැසිරීමකට මෙය දෙවැනි වන්නේ නැහැ.


එසේ වුවත්, මූලාශ්‍ර දැක්වීමකින් තොරව තිස්ස අබේසේකර විසින් ඔහුගේ ‘අයාලේ ගිය සිතක සටහන් ’ පොතේ ‘වැල්ලවත්තේදී සක්කිලි ළඳකට පෙම්බැඳි නොබෙල් සම්මානලාභී මහා කවියා’ යන අතිශයෝක්තිමය මාතෘකාවක් යටතේ මෙම සිදුවීම සාහිත්‍යෝන්මාදයෙන් ලියා තිබෙනවා. මෙහිදී ලේඛකයා පැබ්ලෝ නෙරූදාව නිදොස් කරන්නේ කාන්තා නිදහස හා ලිංගික බලහත්කාරකම් යන කරුණු නොසලකා හරිමින් කවියාගේ කීර්තියට වසඟ වූ දෘෂ්ටියකිනුයි. නෙරූදාගේ එම ප්‍රකාශය සහිත කොටස විමර්ශනාත්මකව අධ්‍යයනය කළොත් කිසිදු පෙම්බැඳීමක් නෙරූදාගේ ප්‍රකාශයේ අන්තර්ගත නෑ.

 

alboroda 10


ගොදුරක් ඩැහැ ගැනීමට මාන බලන්නෙකු මෙන් කවියා එහිදී හැසිරෙනවා. නොයෙකුත් තෑගි දී ඇය වසඟයට ගැනීමට උත්සාහ කරනවා. මොනම ආකාරයේ වත් සිවිල් බලයක් නැති ගැහැනියක් පාළු හුදකලාවකදී හැඩිදැඩි සුදු හමක් සහිත වරප්‍රසාද ලත් නිලධාරියෙකු විසින් ග්‍රහණයට ගෙන ඇදගෙන යන අතර කිසිසේත් විරෝධය පා ගැලවිය නොහැකි බව මේ ගැහැනිය දන්නා කරුණක් බව ඒත්තු ගැන්වෙනවා. බයට පත්ව දෑස් විවර වී අකර්මණ්‍යව කිසිදු හැඟීමකින් තොරව වැතිර සිටි ගැහැනිය කවියා හදුන්වන්නේ අවුරුදු දහස් ගණනක් පැරණි දකුණු ඉන්දියානු ස්ත්‍රී ප්‍රතිමාවක් හැටියටයි. ඔහු දකින්නේ ඇගේ බාහිර කය පමණයි. ඇගේ අභ්‍යන්තර කම්පනය ඔහු දකින්නේ නැහැ. ඔහුගේ සන්තර්පණයට ඇය යොදා ගන්නේ අජීවී වස්තුවක් ලෙසයි. ඇය සමග වැතිරුණු පළමු හා අවසාන අවස්ථාව ඒ බව කවියා ලියා තිබෙනවා. ඉන්පසුව ඇයට වූයේ කුමක්දැයි ලිවීමෙන් ඔහු වළකිනවා. සැබැවින්ම පෙනෙන විදිහට රැකියාව අහිමිව නැවත නෑවිත් ඇය පලා යන්නට හෝ වසං වන්නට ඇති බව නිගමනය කළ හැකියි. එකී ක්‍රියාව ඇයගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් කරන ලද ලිංගික බලපෑමක් බව නැවත ඇය නොපැමිණීමෙන් හෝ නැවත එක් නොවීමෙන් ද තහවුරු වෙනවා. නෙරූදාගේ පහත සඳහන් ප්‍රකාශය ඔහුට විරුද්ධ සාපරාධි ලිංගික බලහත්කාරකමක් සම්බන්ධ පැමිණිල්ලක් ලෙස ගෙනහැර දැක්විය හැකියි. පහත දැක්වෙන්නේ නෙරූදාගේ සටහනේ පරිස්සමෙන් කරන ලද පරිවර්තනයක්.


“මාගේ හුදකලා බංගලාව පිහිටා තිබුණේ කිසිදු නාගරිකව දියුණු පරිසරයක නොවේ. මා එය කුලියට ගන්නා විට එහි වැසිකිළිය තිබෙන ස්ථානය සොයා ගැනීමට තැත් කළත් කිසිම ස්ථානයක මා එය දුටුවේ නැත. සැබවින්ම එය නාන කාමරය අසලකවත් නොතිබූ අතර එය පිහිටා තිබුණේ නිවසේ පිටුපස කොටසේය. මම එය කුතුහලයෙන් යුතුව පිරික්සා බැලුවෙමි. එය ලීවලින් තැනූ පෙට්ටියක් වන අතර මධ්‍යයේ කුහරයක් තිබුණේය. හරියටම එය මා කුඩා කාලයේ චිලී රාජ්‍යයේ ගම්බද පෙදෙස්වල දැක තිබූ කලාකෘතියක් වැනිය. එසේ වුවත් අපගේ වැසිකිළි පිහිටා තිබුණේ ගැඹුරු ළිඳක් මත හෝ ගලා යන දිය පහරක් මතය. එසේ වුවත් මෙහි ගර්භයෙහි වූයේ රවුම් කුහරයට යටින් සරල ලෝහ බාල්දියකි.


මෙම බාල්දිය සෑම උදයකම පිරිසිදුව පැවැතියේය. එහෙත් එහි අන්තර්ගතය අතුරුදහන් වුණේ කෙසේ ද යන්න පිළිබඳව මට සිතා ගත නොහැකි විය. එක් උදෑසනක මම පුරුදු වේලාවට වඩා උදයෙන් අවදි වීමි. සිදු වෙමින් පැවැති දෙය දුටු විට මට අදහාගත නොහැකි විය. නිවස පිටුපසට අඳුරු වර්ණයෙන් යුත් පිළිරුවක් මෙන් ඇවිදිමින්, ලංකාවේදී ඒ වන විට මා දුටු ලස්සනම කාන්තාව නිවස පිටුපසට ගමන් කළාය. ඇය පහත්ම කුලයක දමිළ කාන්තාවක් විය. රතු සහ රන්වන් වර්ණයෙන් යුත් ඉතාම බාල වර්ගයේ සාරියකින් ඇය සැරසී සිටියාය. ඇයගේ නග්න පාවල වළලුකරෙහි බරැති වළලු තිබිණි. නාසය දෙපසින් ඉතා කුඩා රතු පැහැති තිත් දෙකක් මැණික් මෙන් දිළිසිණි. සාමාන්‍ය වීදුරු විය හැකිව තිබුණත් එය ඇයගේ නාසයේ පළිඟු විය.

 

alboroda 9


ඇය මා වෙත ඇස් කොණකින්වත් නොබලා, මා එතැන සිටි බවක්වත් නොතකා ගාම්භීර ලෙස වැසිකිළිය වෙත පිය නගා පිළිකුල් සහගත ගර්භය ඇයගේ හිස මතින් ගෙන දෙවඟනකගේ විලාසයෙන් පියවර තබමින් නොපෙනී ගියාය.


ඇය කොතරම් පියකරුද යත්, ඇයගේ පහත් වෘත්තිය කුමක් වුවත් මට ඇය මාගේ සිතින් අයින් කර ගත නොහැකි විය. කුලෑටි කැලෑ සතෙකු මෙන් ඇය අයිති වුණේ වෙනස් වූ පැවැත්මකටය. නමුත් එය පලක් වුණේ නැත. පසුව, සමහර දිනවල මම ඇය යන මාර්ගයේ තෑග්ගක් තැබුවෙමි. සිල්ක් රෙදි කැබැල්ලක් හෝ පලතුරු ඒ අතර විය. නමුත් ඇය ඒ දෙස නොබලා එය පසු කර ගියාය. ඇයගේ නින්දිත චර්යාව ඇයගේ අඳුරු සුන්දරත්වයෙන්, උදාසීන බිසවකගේ රාජකාරී චාරිත්‍රයකට පරිවර්තනය වී තිබිණි.


එක් උදෑසනක සියල්ල අබිබවා යෑමට මම ඉටා ගතිමි. ඉතා තදින් ඇයගේ අතේ වළලුකර අල්ලා ගත් මම ඇයගේ දෑස් දෙස බැලුවෙමි. මට ඇයට කතා කළ හැකි භාෂාවක් නොතිබිණි. සිනාවක් නොමැතිව මා හට උවමනා ලෙසින් මා සමග පැමිණි ඇය ස්වල්ප වේලාවකින් නග්නව මාගේ යහන මත සිටියාය. ඉතා සිහින් ඉඟ, පුළුල් නිතඹ, පිරිපුන් පියයුරු සහිත ඇය පෙනුණේ දකුණු ඉන්දියාවේ වසර දහස් ගණනක් පැරණි මූර්තියක් ලෙසටය. එය පුරුෂයෙකු සහ පිළිරුවක් අතර වූ එක්වීමක් විය. මුළු වේලාවේදීම ඇය දෙනෙත් විවෘතව කිසිම හැඟීමකින් තොරව සිටියාය. ඇය මා පිළිකුල් කිරීම සාධාරණය. එම අත්දැකීම නැවත කිසි දිනක සිදු වූයේ නැත.”

 

උපුටාගැනීම - ‘අනිද්දා’ පුවත්පත