අත්තප්පා වයස අවුරුදු 7සිට 12 දක්වා දරුවන් වෙනුවෙන් නිර්මාණය වූවකි.

ළමයින් පොත පත පරිශීලනයෙන් ඈත් වී ඇති හෙයින් ඔවුන්ගේ පරිකල්පන ශක්තියද හීන වී ඇත.සමාජ මාධ්‍ය ඇසුරේ වැඩි කාලයක් ගෙවන ඔවුහු නිර්මාණශීලී ව හිතන්නට නිර්මාණකරණයෙහිලා උපස්ථම්බක වන්නාවූ ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි නියැළීමද සිදුවන්නේ බොහෝ අඩු ප්‍රතිශතයකිනි.

රූප බලමින් එළඹෙන යම් යම් තීන්දුවලට වඩා නිර්මාණාත්මක කතාන්දරයකට සවන් දීමෙන් ඔවුන් එය රස වින්දනය කරන්නේ යම් යම් සිද්ධි අවස්ථා සහ පුද්ගල චරිත පිළිබඳව සිතින් මවා ගනිමිනි.මට අත්තප්පා මෙසේ දරුවනට ශ්‍රවණය කිරීමට සැළැස්වීමේ මූලික අරමුණ වූයේ දරුවන්ගේ සිත්හි යම් සිද්ධියක්, පුද්ගල චරිතයක් පිළිබඳව පරිකල්පනීය චින්තනයක් ඔවුන් තුළ නිර්මාණය කිරීමය.

මෙසේ දරුවනට කතා අහන්නට සැළැස්වීමෙන් ඔවුන් සංකල්ප රූප මවමින් එකී සිද්ධිය චරිතය හෝ පිළිබඳව ලස්සන ලෝකයක් සිතින් මවා ගැනීමෙහි සමර්ථ වෙති. අද ජීවත්වන දරුවාට එදිනෙදා ජීවිතයේ මුහුන පාන්නට වන ගැටළුවකට හෝ තමන්ගේ දුක වේදනාව හෝ තමන්ගේ චිත්ත ආවේගයන් පාලනය කර ගැනීමට හෝ දරුවන් අපොහොසත් වන්නේ ඔවුන් තාක්ෂණික ලෝකවල අතරමංව ඇති නිසාය. දරුවනට නිර්මාණාත්මකව සිතන්නට හෝ නිර්මාණාත්මක ඇහැකින් ජීවිතයේ මුහුණ පාන්නට වෙන සිද්ධි හා චරිත දෙස බලන්නට ඔවුනට අවකාශයක් නැත.

මා මගේ කතාන්දර තුළින් දරුවාට බෙහෙවින් සමීප කිරීමට උත්සාහ කරන්නේ ප්‍රායෝගික පරිසරයයි. දරුවා කාල්පනික ලෝකයෙන් මුදවා ගැනීමට ඔවුන්ගේ පරිකල්පනය අවදි කළ යුතුයි.මා මේ ව්‍යායාමය තුළින්ද බලාපොරොත්තු වන්නේ අධ්‍යාත්මිකව සුපෝෂණය වූ දරු කැළක් බිහි කිරීමයි. අධ්‍යාපනය පමණක් නොව විෂය සමගාමී ක්‍රියාකාරකම්,මෙන්ම ක්‍රීඩාවද දරුවන්ගේ මානසික ගුණවගාව දියුණු කිරීමෙහිලා වැඩි මෙහෙවරක් ඉටු කරයි. එහෙයින් අත්තප්පා තුළින් මා හුදෙක් බලාපොරොත්තු වූයේ චිත්‍රයක් බලා රස විදිනවාට වඩා කතාන්දරයකට ඇහුම්කන්දීමෙන් දරුවාගේ පරිකල්පනය අවදි කිරීමයි. 

නවතම ලිපි