“සාමාන්‍ය ජීවිතයේ දි මට විඳින්න බැරි මොහොතවල් ආර්ට් ඇතුලේ විඳිනවා”

- ලංකා බණ්ඩාරනායක

 

01. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වීම හීනයක් වෙලා තිබ්බ දෙයක් ද?

මගේ හීන සාමාන්‍යයෙන් හැමදාම වැඩ කලේ සහ වැඩ කරන්නේ එහෙම පෞරුෂයක් විදිහට මං වැඩෙන්නේ කොහොමද කියන හැටි ගැන නෙමේ. උදාහරණයක් විදිහට කියනවා නම් මගේ හීනේ තියෙන්නේ නිර්මාණ කරන්න. මට කියන්න තියෙන දේවල් රූප ඇතුලේ කතා කරන්න. එතකොට මං අධ්‍යක්ෂවරියක් වෙනවා. ඒහෙම නැතිව අධ්‍යක්ෂවරියක් වීමේ සිහිනයෙන් මං නිර්මාණ කරනවා නෙමේ. මගේ පටන් ගැන්ම වේදිකාව. දිගටම වසර ගාණක් වේදිකාව එක්ක හැප්පි හැප්පි නිර්මාණ කරන එක තමා හීනේ තිබුනේ. මම වේදිකා නාට්‍යක පළවෙනියටම රගපෑවේ 1998 විතර. මේ වෙනකොට නාට්‍ය 25-30 විතර රගපාලා තියෙනවා සහ රංගනයට සහ ඇදුම් නිර්මාණයට සම්මාන ලබාගෙනත් තියෙනවා. සමහර නාට්‍ය මාස ගාණක් පුහුණුවීම් කරලා එක දර්ශණයක්, දෙකක් විතරක් කරපු වෙලාවල් තියෙනවා. ඒත් මට ඒකේ කිසිම විදිහක අපහසුවක් හෝ කළකිරීමක් නෑ. මොකද චරිතයක් කරනකොට මගේ හීනේ තියෙන්නේ ඒ චරිත ඇතුලේ ජීවත් වෙන ගමන් සාමාන්‍ය ජීවිතේදී මං විදිහට විදින්න බැරි මොහොතවල් විදින එක.

එහෙම නැතිව නිළියක් වෙනවා කියලා මට කිසිම විදිහක බලාපොරොත්තුවක් තිබුනේ නෑ. මේ කාලය ඇතුලේ මම අසංක සායක්කාර, ජෙහාන් අප්පුහාමි, ධර්මසිරි බණ්ඩාරනායක, කේ.බී.හේරත් සහ ජයලත් මනෝරත්න වගේ විවිධ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරු එක්ක වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ මගේ ඔලුවට එන අදහස් පිටපත් විදිහට ලියමින් හිටියා. ඒවත් වේදිකා නාට්‍ය විදිහට කරන්න තමා හිතමින් හිටියේ. මොකද මගේ කලා ආභාෂය තියෙන්නේ වේදිකාවේනේ. ඔහොම ඉන්නකොට මගේ මිත්‍රයා, සුමුදු ගුරුගේ දවසක් කිව්වා උඹේ ඇතුලේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ඇයි චිත්‍රපටියක් කරන්නේ නැත්තේ කියලා. ඉතින් එහෙම තමා පළවෙනි චිත්‍රපටිය කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ තමා මම දැනගත්තේ මගේම නිර්මාණ කරන්න සුදුසු මාධ්‍ය සිනමාව කියලා. ඒත් තාමත් අමතක කරන්න බැරි පළවෙනි ප්‍රේමය වේදිකාව. කොහොමහරි මට හිතෙන්නේ රූප මාධ්‍ය ඇතුලේ කතාන්දර කියන්න මට තියෙන හීනේ තමා මාව අධ්‍යක්ෂවරියක් කලේ.

 

Lanka 3

 

02. තාමත් මිනිස්සු කියනවා මේ වගේ වැඩ ගෑනුන්ට ගැලපෙන්නේ නෑ කියලා. ඒක ඇත්තක් ද?

මේ ලෝකේ කොහේවත් කවදාවත් ගෑනුන්ට ගැලපෙන වැඩ පිරිමින්ට ගැලපෙන වැඩ කියලා දේවල් නෑ. එහෙම හදාගත්ත දේවල් කිසිම පදනමක් නැති පසුගාමී සංකල්ප. ඔය ගොඩක් ඒවා ඒ ඒ ක්ෂේත්‍ර වලට ගැහැනුන්ට අවතීර්ණ වෙන්න තියෙන ඉඩ ආවරණය කරන්න සහ තම තමන්ගේ පෞරුෂ ආබාධ ටික වහගන්න හදාගත්ත තියරි. හරියට නිකම් සංඝමිත්තා තෙරණියට ශ්‍රී මහා බෝධිය ගේන්න පුලුවන්, හේමමාලාට කොණ්ඩේ හංගගෙන දන්ත ධාතුව රැකගන්න පුලුවන්, දැන් ඉන්න ගැහැණුන්ට ඒවා ලගට යන්න බෑ, කිලි තියනවා වගේ කිසිම පදනමක් නැති විකාර සහගත සංකල්ප.

චිත්‍රපටයක් කියන්නේ අධ්‍යක්ෂවරයාගේ/වරියගේ මාධ්‍යයක්. එතනදි අධ්‍යක්ෂවරයා/වරිය තමා කණ්ඩායමේ නියමුවා. එයාගේ නායකත්වයෙන්, එයාගේ දැක්ම හරහා තමා ඒ නිර්මාණය බිහි වෙන්නේ. නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ ගැහැනියක් නම් ඇය කණ්ඩායමේ නායකත්වය ගැනීම අනිවාර්‍යයක්. ඒ නිර්මාණයට සම්බන්ද වෙන අනෙකුත් ශිල්පීන්ට සිද්ද වෙනවා ඒ අධ්‍යක්ෂවරයා/වරියගේ විධානයන් අනුව වැඩ කරන්න. නිර්මාණයට සම්බන්ද වෙන පිරිමි ශිල්පීන් හිතනවා නම් ගැහැනු කියන්නේ තමන්ට ඕන විදිහට පාලනය කරන්න ඕන අය කියලා, එහෙම හීනමානයෙන් පෙලෙන අයට ගැහැනියකගේ නායකත්වය ඉවසගන්න අමාරු වෙන්න පුලුවන්. එහෙම නැතිනම් ඒ නිර්මාණයට සම්බන්දවෙන ගැහැනු ශිලිපිනියන් හිතනවා නම් අපි පිරිමින්ගෙන් පාලනය වෙන්න ඕන, එයාලාට යටහත් පහත් වෙලා ඉන්න ඕන අය කියලා, එයාලාටත් මේ නායකන්වය දරාගන්න බැරි වෙන්න පුලුවන්. එහෙම අය තමා ඔය තියරි හදන්න උත්සාහ කරන්නේ. ඔබ යම් වැඩක් හොදින් කරලා අවසන් කරන්න තරම් දැනුම, හැකියාව සහ පෞරුෂය තියෙනවා නම් ඔබ ඒ වැඩේට සුදුස්සෙක්. ඒ සුදුසුකමට ලිංගිකත්වය එක්ක සම්බන්දයක් තියෙනවා කියලා හිතන එක තනිකරම විකාරයක්.

 

Lanka 2

03. ඔබේ කෙටි චිත්‍රපටයක් අන්තර්ජාතික සම්මාන රැසක් ලැබුවා. ඒකෙන් ඔබට ප්‍රයෝජනයක් තිබ්බද?

ලංකාවේ කෙටි චිත්‍රපට ප්‍රදර්ශණය කරන්න තියෙන ඉඩ හරිම සීමිතයි. ගොඩක් කෙටි චිත්‍රපට හැදුනට ඒවා පෙන්වන වැඩපිළිවෙලක් නැති නිසා ඒවා ප්‍රේක්ෂකයින් දකින්නේ නෑ. නිර්මාණයක් සම්පූර්ණ වෙන්නේ ප්‍රේක්ෂකාගාරයක් හරහායි. මගේ පළවෙනි කෙටි චිත්‍රපටය හැදුවාම මට ආපු ප්‍රශ්ණේ ඒක. මට අන්තර්ජාතිකව ලැබුන සම්මාන නිසා මගේ කෙටි චිත්‍රපට වලට ගොඩක් හොඳ ප්‍රේක්ෂකාගාරයක් හදාගන්න පුලුවන් වුනා සහ මගේ ඉදිරි නිර්මාණ වලට අවශ්‍ය කරන පසුබිම හදාගන්නත් ඒකෙන් උදව්වක් වුනා. ඒක තමයි තියෙන ප්‍රයෝජනය.

04. ඔබ දැන් චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන එංගලන්තයේ, බෝර්න්මවුත් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබනවා. චිත්‍රපට හදන්න එහෙම ඉගෙන ගන්න අවශ්‍යද?

ඔව් සහ නෑ කියන උත්තර දෙකම ඔය ප්‍රශ්නෙට දෙන්න පුලුවන්. චිත්‍රපට හදන එක ගැන ආයතන මට්ටමේදී හදාරපු අධ්‍යක්ෂවරු/වරියෝ වගේම, ස්වයං අධ්‍යයනයක් සහ සෙන්ස් එකක් එක්ක ෆිල්ම් හදලා ලෝක පූජිත සිනමාකරුවෝ/කාරියෝ වෙච්ච අය ඕන තරම් ලෝක සිනමා ඉතිහාසයේ හමුවෙනවා. වර්තමානයෙත් ඉන්නවා සහ අනාගතේදිත් හමුවෙයි.

ඉගෙනීම කියන එක ආයතනගත ඉගෙනීමක් වෙනකොට අපි ගතයුතුයි කියලා හිතන දැනුම ආයතනය විසින් අපිට තෝරා දෙනවා. ඒකෙන් මේකෙන් අපිට ස්වයං අධ්‍යයනයන්ට අහු නොවුන අලුත් දේවල් ඇසුරු කරන්න ලැබෙනවා. ඒක නිර්මාණ වලදි අපිට අලුත් උත්තේජනයක් වෙනවා වගේම, දැනටම අපි දන්න දෙයක් වඩා විධිමත් විදිහකට නැවත අපි ඇතුලේම ප්‍රතිසංවිධානය වෙන එකත් සිද්ද වෙනවා. මම මීට කලින් කල්කටාවේ සත්‍යජිත් රායි සිනමා පාසලේ සිනමා මූලිකාංග ගැන ඉගෙන ගන්න ගියා. ඒ යනකොට මං කෙටි චිත්‍රපට දෙකක් කරලා ඒවා අන්තර්ජාතිකව සම්මාන දිනාගෙනත් ඉවරයි. නමුත් මම එහේදි අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

දැන් මම එංගලන්තයේ සිනමා හා රූපවාහිනී අධ්‍යක්ෂණය ගැන ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්නවා. මම හිතනවා මගේ සිනමා ප්‍රකාශනයට මේ විෂය ගැන මගේ වැඩිදුර හැදෑරීම ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ වගේම සිනමාව කියන්නේ විශාල විදිහට තාක්ෂණික කාරණා ගණනාවක් සම්බන්ද විෂයක් වෙන නිසා ඒ විෂය ගැන වැඩිදුර දැනුම අධ්‍යක්ෂවරියක් විදිහට මට වැදගත්. ලංකාව වගේ වෘත්තීය මට්ටමට ලඟා නොවුන, කර්මාන්තයක් විදිහට අවවර්ධිත රටක් ඇතුලේ ශිල්පීන් එක්ක වැඩකරනකොට විතරක් නෙමේ, දියුණු සිනමා කර්මාන්තයක් තියෙන රටක වෘත්තීයමය ශිල්පීන් එක්ක වැඩකරනකොටත් මේ විෂය මූලික දැනුම වැදගත්.

 

Lanka 1

 

05. වෘත්තාන්ත චිත්‍රපට නරඹන්නවත් රසිකයන් ශාලාවලට එන්නේ නැති කාලෙක කෙටි චිත්‍රපට හදන්නේ කාටද?

ලංකාවේ සිනමා ශාලා හිස් වුනාට සිනමා නිර්මාණ වෙනුවෙන් හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඕනෑම රටක කලාව පවතින්නේ ඒ රට ආර්ථිකව ස්ථාවර වීමෙන් කියලයි මං හිතන්නේ. මනුස්සයෙකුට සංස්කෘතික ජීවිතයක් ගැන හිතන්න බෑ කුස හිස් නම්. ඒ වගේම සංස්කෘතික ජීවිතයක් ගැන දැනටම අදහසක් තියෙන මනුස්සයෙන් වුනත් ගෙදර දරුවොන්ට පිටි එකක් ගෙනියන්න තියෙන සල්ලි සිනමා ශාලාවට දෙන්න එන්නේ නෑ. මං හිතන්නේ ලංකාවේ නිර්මාණ වල අර්බුදයක් නිසා සිනමා ශාලා හිස් වෙනවා හෝ විදේශීය සිනමා නිර්මාණ අපේ කර්මාන්තය ආක්‍රමණය කරනවා කියනවාට වඩා මූලිකවම ලංකාවේ අර්බුදය තියෙන්නේ එතැන. ලංකාව එහෙම ස්ථාවර රාජ්‍යක් විදිහට ගෙඩනගන්න එදා මෙදා තුර හිටපු සියලු පාලකයන් අසමත් වීමේ ප්‍රතිඵල බුක්ති විදින්න ලංකාවේ සිනමාකරුවන්ගේ/කාරියන්ට සිද්ධ වෙලා. නමුත් අන්තර්ජාලයේ ආගමනය එක්ක විවිධ ඔන්ලයින් අවකාශ වලින් මේ ආර්ථික අර්බුදය මැද වුනත් ප්‍රේක්ෂකාගාරය වෙත යන එක හරිම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් වෙලා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරය වඩා පුළුල් වෙලා.

විශේෂයෙන් තරුණ පරම්පරාව මේ අලුත් කුඩා තිර සිනමා සංස්කෘතියට තමන්ගේ ඇහැ හදාගෙන ඉවරයි. එයාලාට අපිට වගේ සියලු අනෙකුත් වැඩ නවත්තලා වෙලාව හොයාගෙන සිනමා ශාලාවක වාඩි වෙලා විශාල තිරයක විඳින සිනමාවක් අදාල නෑ. එතැනදි කෙටි චිත්‍රපට වලට තියෙන අවකාශය හරිම ඉහළයි. ඒ වගේම කෙටි චිත්‍රපට කියලා හඳුන්වන ඒවායේ අරමුණු, වස්තු විෂයයන්, ආකෘති සහ ශානරයන් වුනත් මේ අලුත් අවකාශ ඇතුලේ වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන බව පේනවා. කෙටි චිත්‍රපට හදන එක ගැන දැන් තියෙන මට පේන අර්බුදය “කාටද හදන්නේ” කියන එකට වඩා “මොකක්ද හදන්නේ” කියන එක කියලයි මට හිතෙන්නේ.

 

@ 2021 නොවැම්බර් 21දා,  ඉරිදා ලංකා පුවත්පතේ ROSE අතිරේකයේ ඇරඹි ලිපි මාලාව. "පංච ප්‍රශ්න" 02