රැජනක වන්නට පින් පුරන්නට ඕනෑය. ආත්ම ගනණාවක සිට ඈ එසේ පින් පුරන්නට ඇත.

මේ රැජනට රන්රිදි මුතු මැණික් ආදි වූ වස්තූන් නැත. එහෙත් ඊටත් වඩා වටිනා වූ මිලකළ නොහැකි සම්පතකට ඈ හිමිකම් කියන්නීය. ඒ ඇ සතු වන්නාවූ අති රමණීය , මන මෝහනීය කටහඬය. ඈ මෙරට ගීත ක්ෂේත්‍රෙය් කිරුළ පලන් රැජන ලතා වල්පොලය. ලතා වල්පොල ලා ඇත්තේ එක් කෙනෙකි. ඒ හඬ හිමි ගායිකාවක් ඉන් පෙර සිටියේ නැත්තා සේම ඇගෙන් පසු බිහිවූයේද නැත. වර්තමානයේ නැත්තාසේම අනාගතේ බිහිවේදැයිද සැක සහිතය. එබැවින් අපට ඇත්තේ එකම එක ලතා වල්පොල කෙනෙකි.

අද ඈ සිය ජීවන ගමන් මඟේ 88 වැනි වියට පා තබන්නීය. එවන් දීර්ඝායුෂ විඳීන්නට සේම මේ දක්වාම සුවහසක් ශ්‍රී ලාංකික ගීත ලෝලීන් නළවන්නට හිමි වූ ආදරණීය කටහඬ පෙරදා මෙන්ම අප සවනට මි බිඳු වත් කරන්නට තරම් පින්වන්තය. ගීත ක්ෂේත්‍රයේ රැජන වූවා සේම ඈ තම පෞද්ගලික ජීවිතයේද රැජනක වන් මවක වූවාය. ජිවන ගමනේ අනේක විධ දුක් පීඩා මැද ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටිමින් තම දරුවන්ට ආදරණීය අම්මා කෙනෙකු වූ ඇය අද සිය ජීවිතයේ සන්ධ්‍යා භාගය දරුවන්ගේ මුණුපුරු මිනිබිරියන්ගේ හා මී මුනුපුරන්ගේ ආදරය විඳීමින් සොම්නසින් යුතුව ගෙවා දමන්නීය. ඉඳීන් ඈ ඇගේ නිවෙසේ මෙන්ම පරම්පරාවේද රැජනක නොවන්නේද?

 

latha 5

අද අසූඅටවැනි වියට පා තබන අපේ හෙළ ගී රැජනට නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් සමඟ දිර්ඝායුෂ පතමින් ඈ සමඟ අතිතයට ගිය මතක මෙසේ දිග හරිමු.

දිවි ගමන් මාවතේ අසූ අට වසරක් යනු දීර්ඝ කාලයක්. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි ඔබට මොකද හිතෙන්නේ?

මේ ආපු දිගු ගමන ගැන ආපස්සට හිතද්දි මට ලොකු සතුටක් දැනෙනවා. මේ ගමන හරි දුෂ්කරයි. මල් අතුළ මාවතක ආපු ගමනක් නොවෙයි. ඒත් ඉතින් මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණු කාලය තමයි වැදගත්ම සාධකය වුණේ. ඒ කාලයේ මම ඉපදුණු එක ගැන සතුටු වෙනවා. මොකද අද වගේ නොවෙයි, අපට ඉදිරියට එන්න අවස්ථා තිබුණා. චිත්‍රපට ඕනෑතරම් හැදුණා. සිනමාවේ ස්වර්ණමය යුගයේ ඒ තුළ රැඳී සිටීමේ වාසනාව ලැබුණා. ඒ කාලේ ගායිකාවන් විදියට ක්ෂේත්‍රයේ රැඳී සිටි පිරිසත් ඉතාම අල්ප වුණා. හරියට ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි හිටියේ. දැන් වගේ හැල හැප්පීම් තිබුණේ නෑ. ජී. එස් බී රාණි පෙරේරා., රුක්මණී දේවි, මම ඉන්ද්‍රාණි විජයබණ්ඩාර වැනි අතළොස්සක් තමයි ඒ කාලේ ක්ෂේත්‍රෙය් රැඳීලා හිටියේ. මේ අය අතරේ මම ආපු ගමන ගැන ආපස්සට හැරෙත්දි මට කිසියම් ආඩම්බරයක් දැනෙනවා.

සින්දු කියන්න මුලින්ම එනකොට මේ වගේ ජනප්‍රිය වෙයි කියලා හිතුවද?

කවදාවත් හිතුවේ නෑ. මම ඒ කාලේ පල්ලියේ ගීතිකා කිව්ව පුංචි ගෑනු ළමයෙක් විතරයි. හැබැයි ඉතින් කොයි මොහොතෙත් මගේ කටේ සින්දුවක් නම් රැව් දුන්නා. මේවා අහගෙන හිටපු අම්මා නම් හිතුවා මම කවදා හරි ගායිකාවක් වෙයි කියලා. ඒ කාලේ මම චිත්‍රපටයකට සින්දු කියන්න තරම් තත්ත්වයක හිටි කෙනෙක් නොවෙයි. කොහොම හරි සුසිල් ප්‍රේමරත්න මුණ ගැසුණට පස්සේ, ඔහුට පින් සිද්ධ වෙන්න තමයි මට චිත්‍රපට වලට සින්දු කියන්න තරම් මගේ හඬ වෙනස් කරලා ගායිකාවක් බවට මාව පත් කළේ. කොටින්ම කියනවා නම් මගේ නම පවා වෙනස් කරලා මාව ගායිකාවක් බවට පරිවර්තනය කළේ ඔහු.

නම කොහොමද වෙනස් වුණේ?

මගේ උප්පැන්න සහතිකේ නම විදියට අම්මයි තාත්තායි දීලා තියෙන්නේ මාතරගේ රීටා ජෙනවි ප්‍රනාන්දු කියලයි. අපේ තාත්තා ජොශප් ලීනස් ප්‍රනාන්දු. තාත්තා හොඳ සිංහල කතෝලික පවුලකින් පැවත ආවෙක්. අපේ අම්මා එළිසෙබෙත් මියුරියෙල් . අපේ තාත්තාට උරුමයෙන් ලැබුණු මහ ගෙදර තිබුණේ බම්බලපිටියේ ධවලගිරි හෝටලය පිහිටි ස්ථානයේ. තාත්තා ඒ කාලේ රැකියාව කළේ කාගිල්ස් සාප්පුවේ. අපේ අම්මා කොළඹ කෙනෙක් නොවෙයි. ඇය තංගල්ලේ උපන් කෙනෙක්. කාලයක් අපේ අම්මා මාතර කන්‍යාරාමයේ ගුරුවරියක් විදියට උගන්වලා තිබෙනවා. මගේ පවුලේ මට වැඩිමල් අයියා කෙනෙක් සහ අක්කා කෙනෙක් හිටියා. අපේ අම්මට අපි තුන්දෙනාම හම්බවෙලා තියෙන්නේ ධවලගිරියේ පිහිටි මහ ගෙදරදි. මාත් හම්බවුණාට පස්සේ තමයි තාත්තා පවුලෙන් වෙන්වෙලා ගල්කිස්සේ පීරිස් පාරේ අංක 235 දරන නිවෙසේ පදිංචියට ඇවිත් තියෙන්නේ. ඔහු ගෙදර ඉන්නකොට තමයි මම සින්දු කියන්න පටන් ගත්තේ.

පල්ලියේ ගීතිකා කියලා, ඉස්කෝලෙදි සින්දු කියලා ඉන්න අතරතුර තමයි මට ගුවන්විදුලි ගායකයෙකු වූ සී. ඒ ෆොන්සේකා ගුවන් විදුලියේ සින්දුවක් කියන්න අවස්ථාව අරන් දුන්නේ. ඒ කාලේ මට වයස අවුරුදු 12යි. තවත් දෙන්නෙක් එක්ක අත්වැල් ගායනයට තමයි සම්බන්ධ වුණේ. හැබැයි මගේ නම රීටා ජෙනවි ප්‍රනාන්දු කියලා තමයි එදා ගුවන් විදුලියේ ප්‍රචාරය වුණේ. ඊට පස්සෙ තමයි මට සුසිල් ප්‍රේමරත්නයන් මුන ගැහෙන්නේ. ඔහු මගේ හඬ පරීක්ෂා කරන්න ගීතයක් ගායනා කරන්න කීවා. මම එදා ගායනා කළේ ලතා මංගේෂ්කාර් ගායනා කළ හින්දි ගීතයක්. එදා සුසිල් ප්‍රේමරත්නයන් මට කීවා හරිම ලස්සනයි. හරියට ලතා මංගේෂ්කාර් වගේමයි කියලා. ඊට පස්සේ ඔහු ඇහුවා මගේ නම මොකක්ද කියලා. මම කිව්වා රීටා ජෙනවි කියලා ඔහු කිව්වා ඔය නම නම් කලාවට ගැළපෙන්නේ නෑ. අද ඉඳලා ඔයාගේ නම ලතා කියලා එදා ඉඳලා තමයි මම ලතා ප්‍රනාන්දු වුණේ.

 

latha 3

 

අපේ චිත්‍රපට පසුබිම් ගීත කලාව තුළ ලතා නාමය අමරණීයයි. ඒ තුළ ඔබට ගුරුවරයෙක් හිටියද?

මම සංගීතය හදාරපු කෙනෙක් නොවෙයි. මට සංගීත ගුරුවරයෙක් හිටියා නම් ඒ සුසිල් ප්‍රේමරත්නයන් විතරයි. හැබැයි චිත්‍රපට පසුබිම් ගීත කලාව වෙනුවෙන් මගේ හඬ පුහුණු කළේ ආර් මුත්තුසාමි සංගීතඥයායි.

මම ක්ෂේත්‍රයට එනකොට සිංහල සිනමා ක්ෂේත්‍රයේ පසුබිම් ගීත ගායනයට අවතීර්ණ වුණු දෙමළ ගායිකාවනුත් හිටියා. ජමුනා රාණි, කේ.රාණි. ජික්කි වගේ අය . ඒ අය සිංහල වචන උච්චාරණය කරමින් සිංහල ගීත ගායනා කළා. මේ අතරට මං ඇවිත් මුත්තුසාමි මාස්ටර් ගේ මඟ පෙන්වීම යටතේ සින්දු කියන්න පටන් අරන් කොහොමහරි ජයග්‍රහණය කළා. මං හිතන්නේ මම වැඩි හරියක්ම ගීත ගායනා කරලා ඇත්තේ මුත්තුසාමි මාස්ටර් ගේ සංගීතයට. ඒ කාලේ එස්. එම්. නායගම්, කේ ගුණරත්නම් වැනි චිත්‍රපට නිෂ්පාදකයන්ගේ බොහෝ චිත්‍රපටවල සංගීතය බාරව හිටියේ මුත්තුසාමි මාස්ටර්.

ඔබේ පළවැනි චිත්‍රපට ගී පටිගත කිරීම ඔබට මතකද?

මුලින්ම චිත්‍රපටයකට ගීතයක් ගායනා කරන්න මට ආරාධනා කරන්නේ සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් මහතා. ඔහු අපේ ගෙදරට නියෝජිතයෙක් එවලා තිබුණා. ඒත් මගේ අවාසනාවට එදා අපේ තාත්තා ගෙදර හිටියා. තාත්තා මාව ගායිකාවක් කරන්න ඕන නෑ කියලා ඒ කණ්ඩායම එලවා ගත්තා. නැත්නම් මම සින්දු කිව්ව පළවෙනි චිත්‍රපටය වෙන්නේ ‘ සුජාතා‘ ඊට පස්සේ මගේ හඬ ගැන පැහැදිලා ආයෙත් මට චිත්‍රපටයකට සින්දු කියන්න ආරාධනා කරන්න එන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති කුමාර්. ඒ ‘ එදා රෑ ‘ චිත්‍රපටයට ගීතයක් ගායනා කරවා ගන්න. හොඳ වෙලාවට එදා අපේ තාත්තා ගෙදර හිටියේ නෑ. මම එක සැරේටම ඒකට කැමැති වුණා.එදා රෑ චිත්‍රපටයේ ප්‍රධාන ගායිකාව වුණේ රුද්‍රානි ලියනගේ මට ගායනා කරන්න තිබුණේ යුග ගීතයක්. චිත්‍රපටයට සංගීතය සැපයුවේ මොහමඩ් ගවුස්. ගී පද රචනා ඔක්කොම ඩී. ටි ප්‍රනාන්දුගේ ගීත පටිගත කිරීම සිද්ධ වුණේ එස්. එම් නායගම්ට අයත් කදානේ සුන්දර සවුන්ඩ් ශබ්දාගාරයේ. ඒක ලොකු කන්දක් කපලා හදපු ස්ටුඩියෝ එකක් . කන්ද උඩ තමයි ස්ටුඩියෝ එක තිබුණේ. පටිගත කිරීමේ යන්ත්‍ර සවිකර තිබුණේ කන්ද පාමුල තිබුණ වාහනයක. මොනවහරි දෝෂයක් ආවොත් ඒක හරිගස්සන්න ආයෙත් කන්ද උඩ තියෙන ස්ටුචියෝ එකට දුවන්න ඕනෙ. අන්න ඒ වගේ දුෂ්කරතා මධ්‍යයේ තමයි පටිගත කිරීම් සිද්ධ වුණේ. මේ විදියට පටිගත කරපු පළමු ගීතය 1953 පෙබරවාරි 14 වැනිදා තිර ගතවූ ‘ එදා රෑ ‘ චිත්‍රපටයට ඇතුළත් වුණා. මගේ නම ඒකේ සඳහන් වුණේ ලතා .ජී. ප්‍රනාන්දු නමින්. මම ඉස්සරලම ගීතය ගායනා කළේ හර්බි සෙනවිරත්න සමඟ .ඒක ‘ තෑගි නම් කෝක වුණත් පිරියා‘ නැමැති හාස්‍යෝත්පාදක ගීතයක්. දර්ශනයේ රඟපෑවේ වංශවති දවුලුගල කියන නිළිය.

 

latha 6

 

ඔබ ගී ගැයූ දෙවැනි චිත්‍රපටය වූ ‘ ප්‍රේම තරගය පිළිබඳ මතකය කොයි වගේද?

මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කළේ එස්. එම් නායගම් . ඔහුට අයිතිව තිබූ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ තමයි ඒ කාලේ ගීත පටිගත කිරීම් තිබුණේ. ප්‍රේම තරගය අධ්‍යක්ෂණය කළේ ඒ.බී. රාජ්. මට ගීත ගයන්න ආරාධනා කරන්න නායගම් ආවේ ඒ කාලේ ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයෙකු වූ ආර්. මුත්තුසාමිත් සමඟ . මේ චිත්‍රපටයේ මට ගීත 6ක් තිබුණා. තනි ගීත 4ක් හා යුග ගීත 2ක් වශයෙන්. යුග ගී ගායනයට නියමිතව හිටියේ අරුණ ශාන්ති. ඔහුත් එක්ක මම ඊට කලිනුත් යුග ගීත ගායනා කරලා තිබුණා. අපි පුහුණු වීම් කටයුතුවලත් නිරත වුණා. ඒත් අන්තිමේ පටිගත කරන අවස්ථාවේ අනපේක්ෂිතව අරුණ ශාන්තිගේ හඬ නැතිව ගියා.

මේ වෙලාවේ තමයි වාද්‍ය වෘන්දයේ සිටි තාල තරංග වාදන ශිල්පියකු වූ එම්. ආරියදාස මැදිහත් වෙලා ධර්මදාස වල්පොලව අරගෙන ආවේ. එතැන ඉඳලා තමයි මම ධර්මදාස එක්ක සින්දු කියන්න පටන් ගත්තේ. මුලින්ම කිව්වේ 'හොඳ හොඳම වේය ලොව' ගීතය. ප්‍රේම තරගය චිත්‍රපටය මගේ ජීවිතේ එක්තරා සන්ධිස්ථානයක්. මම ඉස්ඉස්සෙල්ලම මුත්තුසාමිගේ සංගීතයට ගී ගයන්නේ මේ චිත්‍රපටයෙන්. ලතා- ධර්මදාස යුගයක් ආරම්භ වෙන්නෙත් මේ චිත්‍රපටයෙන්. ඒ වගේම මේ චිත්‍රපටයේ නැටුම් දර්ශනයකට ඉදිරිපත් වෙලා නර්තනයකුත් ඉදිරිපත් කළා. මගේ ජීවන සහකරු මට මුලින්ම මුන ගැහෙන්නෙත් මේ චිත්‍රපටයෙන්.

 

ඉස් ඉස්සෙල්ලම ඉන්දියාවට ගිය ගමන මතකයිද?

එස්. එම්. නායගම්ගෙම ‘අහංකාර ස්ත්‍රී‘ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. මේකෙ රෙකෝඩින් තිබුණේ මදුරාසියේ. ලංකාවේ ගීත පටිගත කිරීම සඳහා වින්ද දුක් නිසාම තමයි නායගම් මේ තීරණේ ගත්තේ. මට තිබුණු එකම ප්‍රශ්නය තමයි තාත්තට හොරෙන් ඉන්දියාවට යන්නේ කොහොමද කියන එක. මම අම්මත් එක්ක ලංකාවේ පටිගත කිරිම් වලට සහභාගි වුණෙත් තාත්තට හොරෙන්. හැබැයි අපේ අම්මා එතෙනදි දැඩි තීරණයක් ගත්තා. තාත්තට හොරෙන් ඉන්දියාවට යන්න.

 

latha 2

 

ලංකාවට ආපහු එනකොට ඔබට සියලු දේ අහිමි වෙලා තිබුණා කියලා මම අහලා තියෙනවා?

ඔව්. අපේ අම්මා මගේ ගායන දිවිය වෙනුවෙන් ඇගේ කුලගෙය පරිත්‍යාග කළා. ඒ කාලේ ගුවන් ගමන් ක්‍රියාත්මක වුණේ රත්මලාන ගුවන් තොටුපළින්. අපේ අම්මා අම්මගෙ යාළුවෙකුගේ ගෙදරට කලින් දවසේ මාවත් අරගෙන ගියා. එහේ ඉඳලා තමයි අපි ගුවන් තොටුපළට ගියේ. අපි යනකොට අධ්‍යක්ෂ ඒ.බී රාජ්, සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි,ගීත රචනා කළ හියුගෝ ප්‍රනාන්දු , ධර්මදාස වල්පොලයි ගුවන් තොටුපළේ හිටියා.

අපි ගියාට පස්සේ අපේ ගෙදර එකම ජංජාලයක් වෙලා. අක්කගෙනුයි අයියගෙනුයි තාත්තා මාවයි අම්මවයි අහනව. සින්දු කියන්න ඉන්දියාවට ගියා කියලා දැන ගත්තු ගමන් තාත්තා ගෙදර යකා නටන්න අරන් අන්තිමේ අයියවයි අක්කවයි ගෙදරින් එළවලා තිබුණා. ඒ දෙන්නා අපි එනකොට කැලණියේ ඥාති ගෙදරකට වෙලා හිටියා. මට සින්දු කියලා හම්බකරපු සල්ලි වලින් ජීවිතේ අලුතින් පටන් ගන්න වුණා. මගේ පුංචි කාලේ සැමරුම් , ඇඳුම් පැලඳුම් ඇතුළු සියල්ල තාත්තා ගිනිබත් කරලා තිබුණා. හැබැයි මම ඒකෙන් වැටුණේ නෑ. මම මගේ ඉලක්කයට ගියා. අම්මටයි, අයියටයි, අක්කටයි මටයි ඉන්න කුලි ගෙයක් මම කැලණිය වරාගොඩින් ගත්තා. ඊට පස්සේ පවුලේ බර කරට ගන්න වුණෙත් මට. මම නිසා තමයි අපේ පවුල මේ විදියට විසිරුණේ. ඒ නිසා මම ඒ හැමදෙනාම බලා ගන්න ඕන කියන හැඟීම මට තිබුණා. කාලයක් යද්දි මම සින්දු කියලා හම්බ කරපු මුදලින් ඉඩමක් අරගෙන ගෙයකුත් හැදුවා.

 

යුග ගී කියන්න ආපු ධර්මදාස වල්පොල සමඟ යුගදිවි ගමන් ඇරඹීමත් දෛවෝපගත සිද්ධියක් වෙන්න ඇති?

ඔව්. අපි අතර මුලින් තිබුණේ හරිම දුර සම්බන්ධයක්. ඒක ඇත්තටම වෘත්තීය සම්බන්ධයක් විතරයි. පස්සේ කාලෙක හියුගෝ මාස්ටර් අපි දෙන්නගේ නම් දෙක ජෝඩු කරලා උසුළු විසුළු කරන්න ගත්තා. ධර්මදාසත් ඒ කාලේ මා ගැන ඒ හැටි උනන්දුවකින් හිටියේ නෑ. කාලයක් යත්දි නොදැනුවත්වම අපි අතර බැඳීමක් ඇති වුණා.

අපේ විවාහයට ගෙවල්වලින් කැමැති වුණේනෑ. අපි දෙන්නා ආගම් දෙකක. මම කතෝලික එයා බෞද්ධ. ධර්මදාසලගේ ගෙදරින් දැඩිසේම විරුද්ධ වුණා. ඒ කාලේ කොළඹ නගර සභා මන්ත්‍රීවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා (පසුව ජනපති) ධර්මදාසගේ හොඳ යාළුවෙක්. එයා ධර්මදාසගේ ගෙදරට ගිහින් අම්මව මංගල්‍යයට කැමැති කර ගන්න උත්සාහ කළත් බැරිවුණ. අන්තිමේදී ධර්මදාස කතෝලික ආගමට ඇවිත් පල්ලියේදි මාව විවාහ කර ගත්තා. අපි විවාහ වුණේ 1958අප්‍රේල් 07 වැනිදා . ඊට පස්සේ අපි අපේ ගෙදර පදිංචි වුණා.

 

පවුල් ජීවිතයයි සංගීත ජිවිතයයි සමබරව ගෙනියන එක අසිරු වුණේ නැත්ද? 

මම විතරක් නොවෙයි ධර්මදාසත් කාර්ය බහුල නිසා ඒ කාලේ අපි ලොකු සටනක් ගෙනිච්චේ.චිත්‍රපට පසුබිම් ගී ගායනය සදහා පෝලිමේ ආරාධනා ලැබුණා මේ කාලයේ.මගේ අම්මගෙන් සහ අක්කාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මේ කාලයේ.ලොකු පුතා සුනෙත් කුසේ ඉන්නකොටත් ඉන්දියාවට යන්න ආරාධනා ලැබුණා. ඒත් ධර්මදාස ඒකට කැමැති වුණේ නෑ. ඒ වුණාට සුනෙත් ලැබිලා දින 23ට පස්සේ අපි දෙන්නටම ඉන්දියාවට යන්න සිද්ධ වුණා. පුළුවන් ඉක්මනට වැඩ ඉවරවෙලා අපි ලංකාවට ආවා. සුනෙත් ටිකක් ලොකු වුණාට පස්සේ අපේ අම්ම ගාව දාල අපි දෙන්නම ඉන්දියාවට ගියා. ශබ්දාගාරයට ගියාම මට වෙනදා නැති ලොකු අපහසුතාවයක් දැනෙන්න ගත්තා. ධර්මදාස මාව එහේ වෛද්‍යවරයෙකු ළඟට ගෙනිච්චා. එතකොට තමයි මම දැන ගත්තේ මම ආයෙත් ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඒ කාලේ පිළිසිඳ ගැනිමකින් පස්සේ මාස තුනක් යනකම් ගුවන් ගමන් යන්න බෑ. ඉතින් ධර්මදාසටයි මටයි මාස තුනක් යනකම් එහෙට වෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සෙත් මට කීප වතාවක්ම ඉන්දියාවට යන්න සිද්ධ වුණා.

ලෙස්ටර් පීරිස් ගේ ‘සංදේශය‘ චිත්‍රපටයේ ගීත ගායනයට ගියෙත් ඔය කාලෙදීම තමයි. කොච්චර කාර්ය බහුල වුණත් අපි දෙන්නා දරුවනුත් හදාගෙන සින්දුත් කිව්වා. මගේ බාලම පුතා චමින්ද අපොස සා. පෙළ කරන්න ඉන්නකොට තමයි.ධර්මදාස හදිසියේම අපි දාල යන්නේ. මගේ ජිවිතේ හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් කඩා වැටුණා වගේ මට දැනුණා. දරුවෝ කවුරුත් ස්ථාවර වෙලා හිටියේ නෑ. හැබැයි මම කොයිම මොහොතකවත් ඒගොල්ලන්ට ඒ අඩුව දැනෙන්න ඉඩ ඇරියේ නෑ. ජීවිතේ කුඩා කාලේ පටන්ම මම අභියෝග ජයගත් කෙනෙක් . ඒ හින්දා මේ අභියෝගයටත් මම නොබියව මුහුණ දුන්නා.

 

රටට අභිමානවත් ගායිකාවක් වගේම ඔබ අභිමානවත් අම්ම කෙනෙක්?

අනිවාර්යයෙන්ම. මගේ දරුවෝ හතරදෙනාටම උත්පත්තියෙන්ම සංගීත හැකියාව පිහිටා තිබෙනවා. කුඩා කාලයේ මම ඔවුන්ට දුකක් නොදී බලා ගත්තා වගේම දැන් ඔවුන් මට කිසිම දුකක් නොදී බලලා කියා ගන්නවා. මම දැන් ඉන්නෙත් මගේ එකම දුව ධම්මි ළඟ. ඇය මාව ඉතාම හොඳීන් බලා ගන්නවා. කොටින්ම කිවුවොත් මම රැජිණක්ම තමයි. මගේ දූ දරුවෝ, මුනුපුරු මිනිබිරියෝ , මී මුනුපුරු මිනිබිරියෝ, මගේ ලේලිලා එකම බෑනා පිරිවරාගෙන මේ ගෙවන ජීවිතේ තරම් සතුටක් මට තවත් නෑ. ධම්මියි මමයි ගායනා කළ රතුගුරු පාරේ හැන්දෑවේ ගීතය දැන් තමයි හරියටම ගැළපෙන්නේ .

ඇත්තටම කිවුවොත් දැන් ඇය තමයි මගේ අම්මා වෙලා ඉන්නේ. මට හම්බවෙලා ඉන්නේ බෑනා කෙනෙක් නොවෙයි. මගේම දරුවෙක්. මහින්ද ගේ ගෙදර මම බොහොම සුව පහසුව ජීවත්වෙනවා. මට කිසි දේකින් අඩුවක් කරන්නේ නෑ. මගේ ලේළිලා තුන් දෙනත් දැන් මගේ ළඟට ඇවිත් අවුරුදු විස්සකට වැඩියි. අපි අතර කවදාවත් නොහොඳ නෝක්කඩුවක් වෙලා නෑ. ඒ හැම දෙනාම මගේ දරුවෝ මට. මට මුනුපුරෝ පස් දෙනෙක් ඉන්නවා. එක මිනිබිරියක් ඉන්නවා. මුනුපුරෝ පස් දෙනාම දැන් විවාහකයි. මිණිපිරි විතරයි තාම අවිවාහක. ඇය නීතිඥවරියක්. මගේ මුනුපුරු මිනිබිරියන්ටත් ගායන හැකියාව ඒ අයුරින්ම පිහිටලා තියෙනවා. බොහෝ විදෙස් ප්‍රසංග වලදි මම ඒ අයත් සමඟ ගීතත් ගායනා කරල තියෙනවා. මගේ බාල පුතා චමින්ද විවාහවෙලා ඉන්න දුවටත් හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ දෙන්නා දැනට ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. මේ දිනවල ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘කොළඹ ඉතාලිය‘ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නේ ධම්මිගේ බාල පුතා. මහින්ද ගේ තමයි සංගීතය. මීමුනුපුරෝ තුන්දෙනෙකුත් මිනිපිරියෙකුත් දකින්න තරම් මම වාසනාවන්ත වුණා. ඉතින් මම ගී ලොව රැජින වුණා වගේම මගේ ජීවිතේත් රැජිනත් නොවෙයිද?

 

latha 4

 

ජීවිතේ සැඳෑ සමය ගෙදරට වෙලා මොකද කරන්නේ?

මට තාමත් හොඳට සින්දු කියන්න පුළුවන් . දැන් මාස දෙක තුනකට කලිනුත් ගීත කිහිපයක් පටිගත කළා. හැබැයි මම දැන් රූපවාහිනි නාළිකා ආදියේ සින්දු කියන්න යන්නේ නෑ. මගේ දරු මුනුපුරෝ දැන් මට කොහේවත් යන්න දෙන්නෙත් නෑ. ඉතින් මම ගෙදර ඉඳගෙන නිකම් ඉන්නෙත් නෑ. මම මහනවා.

ධම්මිගේ ඇඳුම් මගේ ඇඳුම් මහන්නේ මම. සතියකට වතාවක් විතර කොහොමහරි පල්ලියටත් යනවා. දැන් ඉතින් මම සින්දු නොකිව්වට මම මේ රටට ඉතිරි කරපු සින්දු ටික මදැයි. මම මේ රටේ ගී රැජින කළේ මේ රටේ ගීත ශ්‍රාවකයෝ මගේ ගීත රස වින්ද සුවහසක් රසික රසිකාවන් ඒ වගේම තමයි මට මේ කිරුළ පලඳන්න අත දුන්න සංගීත අධ්‍යක්ෂවරු ,චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරු, වාද්‍ය ශිල්පින් ඇතුළු සියලු දෙනාම මට මේ මොහොතේ මතක් වෙනවා. ඒ හැමදෙනා නිසා තමයි මම අදටත් මෙතැන ඉන්නේ. ඒ හැමදෙනාටම මගේ ආදරය , ගෞරවය ආචාරය ස්තුති පූර්වකව පිරිනමන්න ඕනෙ.

 

මහන එක ඔබට පුරුදු වෙන්න ඇත්තේ ඔබේ පවුලේ හැකියාවක් විදියට වෙන්න ඇති?

ඔව්. අපේ අම්මට හොඳට මහන්න පුළුවන්. ඒ වගේම අක්කටත් හොඳට මහන්න පුළුවන්. ඒ කාලේ අපේ අක්කා තමයි. බම්බලපිටියේ අල්විස් වලව්වේ ඇඳුම් මැහුවේ. ඒ ඇඳුම් ගෙනිහින් දෙන්න යන්නේ මම . මම සින්දු කියන බව දන්න නිසා එහේ ගියාම මාව අල්ලගෙන මා ලවා සින්දු කියනවා. අල්විස් වලව්ව කියන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ඥාතියෝ නේ. දවසක් මම යනකොට එස. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකත් එහි ඇවිත් හිටියා. සුපුරුදු විදියට මට එදාත් සින්දු කියන්න වුණා. මේ ළමයා කවදහරි දවසක රටේ හොඳ ගායිකාවක් වෙනවා කියලා බණ්ඩාරනායක මහත්තයා ගැඹුරු හඬකින් කිව්වා මට මතකයි.

 

අතීත ස්මරණ රාශියක් මැද්දෙන් තෝරා බේරා ගන්න බැරි මතක රාශියක් ඇය ආවර්ජනය කළා. දශක ගණනාවකට උරුමකම් කියන සුන්දර මතක රැසක් මෙසේ පත් ඉරුමත කෙසේ දිගහැරිය හැකිදැයි මටද සිතා ගත කොහැකියි. ඈ සමඟ යුග යුග ගණන් ගීත ගායනා කළ සියලු ගායකයන් ද ඈ බැති සිතින් සැමරුවා.

වයස අවුරුදු 88 දීත් පෙරදා රැඳී ජවයෙන්ට ගීත ගායනා කරන ඇය ජාතියේ පිනට උපන් ගායිකාවක් . ඉන්දියාවට ලතා මගේෂ්කාර් යම් සේ වටින්නේද , ලතා වල්පොල අපේ රටට දැයට වටිනවා. අපේ රටේ ගීත ශ්‍රාවකයන් ඇය ට සිය අභිමන පුද කරමින් ගී රැජනක කර හමාරය. එහෙයින් ඈ තවමත් මේ රටේ ගී රැජණය. මේ සුබ උපන්දිනේ තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ඔබට නීරෝගි සුව සමඟ දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

ලතා වල්පොල ගායනා කළ නවතම ගීතය

ලංකා පෙම්බර ලංකා

ලංකා පෙම්බර ලංකා

ලංකා පෙම්බර ලංකා මෑණී

සංකා නැ ඇය අපෙ අභිමානී

සුජාත පුත්‍රයෝ අපී

සදා සෙනේ හදේ රැඳී

නඟා නැගෙව් අපේ පැතුම්

වාද භේද අපේ ඈ සිත රිදවයි

ඉදිරි ගමන ඇගෙ නොම වළකව්

බේද නොවි යමු එකා වගේ

සාදරයෙන් ඈ රකිව් රැකෙවි

ඈත අතීතයේ ඈ දුක් වින්දා

ඒ හින්දා යළි ඇයට නොදෙව්

ආදරයේ අභිමානය දී

පෙම්බර ලංකා රකිව් රකිව්

ප්‍රවීණ ගේය පද රචිකා යමුනා මාලිනි පෙරේරා විසින් රචනා කරන ලද මේ ගීතය සංගීතවත් කර ඇත්තේ මහින්ද බණ්ඩාර විසිනි. මිට මාස දෙකකට පමණ ප්‍රථම පටිගත කරන ලද මේ ගීතය යූ ටියුබය සඳහා නිදහස් කරන ලද්දේ යමුනා මාලිනි පෙරේරා ගේ උපන්දිනය නිමිති කරගෙනය. ලතා වල්පොල සමඟ ගීතය ගායනා කරන්නේ ගායන ශිල්පි අනුර දසානායක.

අනුර දසනායක යනු 1991 වසරේ සිටම සංගීත ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්නෙකි.ගුවන්විදුලියේ සරල ගී ගායකයකු වශයෙන්ද සමත් වි සිටින ඔහු මින් ඉහතද ගීත කිහිපයක්ම ගායනා කර ඇත. යමුනා මාලිනි විසින් ඔහුට රචනා කරන ලද මේ දේශාභිමානි ගීතයට ලතා වල්පොලගේ හඬ එක්කර ගැනීම අනුරගේ ඒකායන බලාපොරොත්තුව විය.

“ලතා වල්පොල මහත්මිය සමඟ යුග ගීයක් විදියට මේ ගීතය රෙකෝඩ් කරන්න මට ලොකු ඕනකමක් තිබුණා. ඒ හින්දම තමයි මම මේ ගීතය සංගීතවත් කරන්න මහින්ද බණ්ඩාර මහත්මයාට ලබා දුන්නේ. අවුරුදු අසූ හතක් ගතවෙලා තිබුණත් එතුමිය හරිම ජව සම්පන්න විදියට මේ ගීතය ගායනා කළා. මම වගේ ආධුනිකයෙකු පිළිබඳ හිතන්නෙත් නැතුව ඉතාම නිහතමානිව මගේ මේ ආරාධනය බාර ගත්තා.’

අනුර දසනායක කලක් නාගරික සංවර්ධන අධිකාරියේ සේවය කළ අයෙකි. පසුව ඔහු ඉන් ඉවත්ව වතු සේවයට බැඳුණු අතර කලාව පිළිබඳ වූ කැමැත්ත මේ කිසි කලකත් ඔහුගෙන් ඈත් නොවීය. වර්තමානය වනවිට මේ සියලු රැකියාවන්ගෙන් විශ්‍රාම ගෙන කලා කටයුතු වෙනුවෙන් සිය කාලයෙන් වැඩි කාලයක් වැය කරමින් සිටී. ගායකයෙකු වශයෙන් පමණක් නොව රංගන ශිල්පියෙකු වශයෙන්ද වර්තමානයේ ඔහු කටයුතු කරයි.

 

@හේමාලි විජේරත්න

සේයාරූ - දයාන් විතාරණ

-Sarasaviya-