මලිකියානු සිනමාව හරහා සැමවිටම ප්‍රශ්න කරන්නේ මිනිසාගේ පැවැත්ම සහ ජීවය පිළිබඳවයි.

එනම් සාන්දෘෂ්ටිකවාදී දර්ශනයයි. ටෙරන්ස් මලික් විසින් අධ්‍යක්ෂණය කරන ලද " ඩේස් ඔෆ් හෙවන්" චිත්‍රපටය තුළ තේමාව බවට පත්වන තුන්කොන් ප්‍රේමයත් ඒ වටා බැඳුණු කෘෂි දිවියත් ඔවුනොවුන්ගේ පැවැත්මට කෙසේ බලපාන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කරයි.

චිත්‍රපටය තුළ කැමරා රම්‍යතා සහිත සුපේෂල රෑප පද්ධතිය තුළින් ප්‍රේක්ෂකයාගේ ඇස මොහොතකට සොරා ගනී. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ තෙරක් නොපෙනන මහ සාගරය තරම් සුවිසාල තැනිතලා බිම්, රන්වන් පාටින් බබලන සාරවත් තිරිඟු කරල්වලින් ගහණ කෙත් වතු, ඔබ මොබ හැසිරෙන මුවන්, බයිසන් ගවයින්, ක්ෂිතිජයමය අහස් කුස, පියාඹා යන කුරුළු රෑන්, යන්ත්‍ර සුත්‍ර සමඟ පොර බඳින කම්කරුවන්, කම්කරුවන්ගේ දිවි පැවැත්ම, කම්කරුවන්ගේ සබඳතා සහ මතගැටුම්වලට කැමරාව හරවයි.

 

ස්වර්ගය 7

චිත්‍රපටයේ රුප පද්ධතිය තුළ මලික් යොදාගන්නා රූප භාෂාව සහ සංස්කරණය සුවිශේෂි වේ. රිද්මයානුකුල සංස්කරණයත්, සමෝධානගත රීතියත් ඔහු භාවිතා කිරීම තුළ අරුත් ජනනය කරන්නේ නිරායාසයෙන්මයි. නව සිනමා භාෂාවක් බිහි කළ "ඩෙිස් ඔෆ් හෙවන්" රමණීයතාවය ආත්ම කොටගත් අමිල රූපාවලියකට හිමිකම් කියයි.

චිත්‍රපටය සිනමාරූපි බවින් පොහොසත් කිරීමට සහ කතාව කීමට ටෙරන්ස් මලික් රූපය(a Shot) යන්න පෙරබිමට කැඳවයි. එහිදි සිනමාකරණ ශිල්පියා(Cinematographer) සමඟ මනා සබඳතාවක් සහ මනා සන්නිවේදනයක් තිබු බව මනා ය. චිත්‍රපටය පුරාවටම විහිද ඇති රෑප පද්ධතිය තුළ ආලෝකකරණය(Iighting) හැසිරීමත් කහ පැහැයට හුරු තැඹිලි වර්ණ භාවිතයත් සමඟ උණුසුම චිත්‍රපටය තුළ කැන්වසය බවට පත් කර ඇත. අතිශය දුර රූප(Extreme Long Shot) බහුල ය. තිරිඟු යාය මධ්‍යයේ පිහිටියා වු කුඩා ගෘහය සහිත දර්ශන ස්වර්ගයක් බඳු ය. අධිරඟපෑම්, රූප රාමු තුළ ගොනුවන තීව්‍ර භාව ප්‍රකාශ, දාර්ශනික කියුම් යනාදිය මලික් සිනමාකරුවාගේ අභිප්‍රාය නොවහළා හෙළි කරන්නට සමත් වේ. ‍

 

ස්වර්ගය 3

එලෙස භාවාතිශය රීතිය ක්‍රම භාෂාව බවට පත් කර ගැනීම මඟින් ඔහු සිනමාව නව තලයකට ඔසවා තබයි. මුළු චිත්‍රපටය වැය වන්නේ ජීවිතය යනු කුමක්දැයි අර්ථකථනය කිරීමට ය. හිස් වචන පවසමින් එකිනෙකා අතර ගැටුම්වල අර්ථය කුමක්ද? ජිවිතයෙන් පලා යා හැකිද? අපරාධයක් සිදුකර අවසානයේ මරණය උරුමවන්නේ ඇයි? මනුෂ්‍ය සබඳතා මෙතරම් සංකීර්ණ මන්ද? වෙහෙස මහන්සී වී තම ශ්‍රමය,දහඩිය වගුරුවා වැඩ කළ තිරිඟු යාය ගිනිබත් වී මෙතෙක් වේලා තිබු ස්වර්ගය නිරයක් බවට බවට පත් වුයේ අවිඥාණික මිනිස් සිතුවිලි නිසා නොවේද?

 

ස්වර්ගය 5

චිත්‍රපටය තුළ එක් පසෙකින් මතු කරන වැදගත් අදහසක් තිබේ. කෘෂිකාර්මික විප්ලවය මිනිස් ඉතිහාසයේ යෝධ පිම්මක් තැබු බව කියයි. කෘෂිකාර්මික විප්ලවය ඉතිහාසයේ ලොකුම වංචාව විය. වංචාව සිදු කළේ තිරිඟු ඇටයයි.

යුවාල් නොවා හරාරි තිරිඟු ඇටය සිදු කළ වංචාව පිළිබඳ අදහස තම "සේපියන් කෘතිය හරහා මෙයාකාරයෙන් දක්වයි. "වසර දෙතුන් දහසක ඇවැමෙන් ලොව බොහෝ කොටස්වල උන් මිනිස්සුන්ට හිමිදිරියේ සිට ඇඳිරි වැටෙන තුරැ තිරිඟු වගාවට සාත්තු සප්පායම් කිරීම හැරෙන්නට වෙන යම් දෙයක් නොවීය. එය පහසු නොවී ය. තිරිඟු ශාකයේ අවශ්‍යතා බොහෝමයක් විය. ගල් බොරලු තිරිඟු ශාකයට අහිතකර වූයෙන් සේපියන්වරුන්ට කොඳු කැඩෙන තුරු තිරිඟු යායවල ගල් බොරලු ඉවත් කරන්නට සිදු විය.

 

ස්වර්ගය 8

 

එමෙන්ම තිරිඟු ශාකය ජලය, හිරු එළිය හා පෝෂ්‍ය පදාර්ථ අන් ශාක හා බෙදාහදා ගන්නට අකැමැති වූයෙන් මිනිසුන්ට මෙන්ම ගැහැණුන්ට ද එක සේ මුළු දිනය පුරා හිරු එළියෙන් දැවෙමින් වල් නෙළන්නට සිදු විය. තිරිඟු ශාකය නිතර ලෙඩරෝගවලට ගොදුරු වූයෙන් මිනිසුන්ට පණුවන් හා කුඩිත්තන් බෝවේ දැයි නිරතුරු ඇස ගසාගෙන හිඳින්නට සිදු විය. හාවන් මෙන්ම පළඟැටියන් ද තිරිඟු වගාවට හානි ගෙන දුන් නිසාවෙන් ගොවියන් වැට කඩුලු තනා ඒවා රකින්නටත්, තිරිඟු යාය දෙස ඇස ගසාගෙන හිඳින්නටත් සිදු විය.

 

ස්වර්ගල 4

තිරිඟු අධිකව ජලය පරිභෝජනය කරන භෝගයක් හෙයින් මිනිසුන්ට වාර්මාර්ග තැනීමට හෝ ළිංවලින් දිය ඇද වගාවට දැමීමට දැඩි වෙහෙසක් ගත යුතු විය. එහි පෝෂණ අවශ්‍යතා සපුරනු පිණිස සත්ත්ව වසුරු වගාවට පොහොර ලෙස යොදන්නට ගොවීන්ට සිදු විය."(පි 105) මලික් චිත්‍රපටයේ කතාව තුළ ස්ථානගත කරන තිරිගු අස්වැන්න වෙත කෘමීන්ගේ ආක්‍රමණයත්, එම ආක්‍රමණය නිසා මෙතෙක් වේලා ප්‍රේක්ෂකයා ඉදිරියේ අභිමුඛ වු ස්වර්ගය දුම්රොටුවලින් පිරී යන අයුරු ඛේදාන්තයක් සේ නිරූපණය වෙයි.

ධනපති පන්තිය ඉදිරියේ උක්දඬු මෙන් මිරිකී ගිය ගොවි කමිකරුවන්ගේ ශ්‍රමය, දහඩිය අවසානයේ ගිනිදලු ඉදිරියේ දිය වී යයි. මත ගැටුමක ප්‍රතිඵලය අවසානයේ ස්වර්ගීය රාජ්‍යයේ රන්වන් පාටින් බැබළි ගිය තිරිඟු යායන් අඟුරු බවට හැරෙයි. පශ්චාත්තාපය, වරදකාරී හැඟීම, විවාහ දිවිය, සහෝදර පෙම, අසම්මතය පිළිබඳ ගෙත්තම් කළ "ඩේස් ඔෆ් හෙවන්" සිනමාකෘතිය දෛනික දිවියේ ප්‍රතිපක්ෂ කැඩපත්කරණය කළ අගනා චලන චිත්‍ර නිමැවුමකි.