කලක් ලංකාවේ දක්ෂතම ශාස්ත්‍රීය ගායකයා හා වාදකයා බවට පත්ව සිටියේ සාදිරිස් මාස්ටර් ය.

ඔහු කෙතරම් දක්ෂ සංගීතඥයෙකු වුවත් ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ පුත්‍රයාව වෛද්‍යවරයෙක් කරවන්නට යි. මන්ද සාදිරිස් මාස්ටර්ගේ පියාත් වෛද්‍යවරයෙක් වූ නිසාවෙනි. ඔහුගේ පුත්‍රයා 1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී ඉපිද කොටහේන කිතුනු ළදරු පාසලේ මූලික අධ්‍යාපනය ලබා කොටහේන මධ්‍යම මහා විද්‍යාලයයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේ ය. ඉන්පසු පියාගේ ආශාව අනුව ඔහුව වෛද්‍ය අධ්‍යාපනයට යොමු කළේ ය.

"කෙළෙහි ගුණ තියෙන්නේ බල්ලගේ වලිගෙයි පඩික්කමේ අඩියෙයි විතරයි"

  • ෂෙල්ටන් ප්‍රේමරත්න -

 

ෂෙල්ටන් 4

 

එහෙත් දෙවන ලෝක යුද්ධය නිසාවෙන් වෛද්‍ය අධ්‍යාපනයට බාදා වූ අතර සාදිරිස් මාස්ටර් තම පුත්‍රයාට සංගීතය ඉගැන්වීමට පටන් ගත්තේ ය. ඒ අනුව සංගීතයෙන් ඉදිරියට ගිය පුත්‍රයා ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම සංගීතඥයන් අතරට ගිය අතර හේ නමින් ජෝතිරත්න ෂෙල්ටන් ප්‍රේමරත්න විය.

 

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහා ය. නමුත් මීට පෙර ඒ.පි.එම්. නූර් නම් ව්‍යාපාරිකයා විසින් නිෂ්පාදනය කිරීමට යෙදුනු චිත්‍රපටයක් වූ ‘ජිවිතයේ ප්‍රීතිය' නම් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ෂෙල්ටන්ව තෝරාගෙන තිබුණි. ඔහු මෙම චිත්‍රපටයට ‘කදිරනේ ධීර වීරා’ නම් වූ ගීතය නිර්මාණය කළේ ය. නමුත් අවාසනාවකට මෙම චිත්‍රපටය අතරමඟ නතර විය. මෙහි පුදුමය දනවන කරුණ වන්නේ ඒ.පි.එම්. නූර් නම් ව්‍යාපාරිකය තම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ශේල්ටන්ට පවරන විට ශේල්ටන්ගේ වයස 17ක් වීමයි.

 

ෂෙල්ටන් 2

 

පසුකාලීනව 'දස්කොන්' චිත්‍රපටය තුළින් ඔහු තම හැකියාව මනාව පෙන්නුම් කළේ ය. සිසිර සේනාරත්න සමග රුක්මණී ගායනා කළ 'සොම්නස පෙම්රස එකතු වුණා' ගීතය හා ෂෙල්ටන් සිසිර සේනාරත්න සමග ගායනා කළ 'ධර්ම රජයෙනි සැප' ගීතය දස්කොන් චිත්‍රපටයේ ඇති ශ්‍රාවක සිත් දිනාගත් ගීත දෙකකි. මෙහි 'ධර්ම රජයෙනි සැප' ගීතය සිංහල චිත්‍රපටයක ආ පළමු ශාස්ත්‍රීය ගීතය යි.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි. 'හුනුවටයේ කතාව', 'කෝන්තරේ', 'මන්ත්‍රී හාමුදුරුවෝ', 'හොටබරි යුද්දේ', 'තහංචි' හා 'කුවේණි' ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයකි. සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ "My dreams are roses for my love" ගීතය යි (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ). මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. මෙම ගීතයේ තවත් විශේෂත්වයක් තිබේ. එනම් මෙම ගීතය ගායනා කළ සුනිල් ශාන්තයන් වෙනත් කෙනෙකු සංගීතවත් කළ ගීයක් ගායනා කළ ප්‍රථම හා එකම අවස්ථාව වන්නේ ද මෙය යි. මෙම ගීතය ගායනා කිරීමට සුනිල් ශාන්ත ප්‍රතික්ෂේප කළහොත් ඒ සඳහා අයිවෝ ඩෙනිස් යොදා ගැනීමට ෂෙල්ටන් සිතා සිටියේ ය.

 

ෂෙල්ටන් 6

සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතයේ නිර්මාපකයා ද වන්නේ මොහු යි. ඒ ‘රෝමියෝ ජුලියට් කතාවක්' චිත්‍රපටයේ තේමා ගීතය වූ ‘හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්’ නම් ගීතය යි. මෙය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් රචනා කළ අතර ගයන කළේ නිහාල් ජයවර්ධන විසිනි (නිහාල් ජයවර්ධන යනු ප්‍රකට චිත්‍රපට නළු ඩොමී ජයවර්ධනගේ පුත්‍රයා ය).

ඔහු තම නිර්මාණ සඳහා නොයෙකුත් වාද්‍ය භාණ්ඩ යොදා ගත්තේ ය. හුණුවටයේ කතාව හැඳින්වීමේ සංගීතය සඳහා ඉපැරණි බෑග් පයිප් සංගීත භාණ්ඩය යොදා ගත් අතර, එම නාට්‍යය සඳහා ජපන් සංගීත භාණ්ඩයක් වන ඕ ඩයි කෝ සංගීත භාණ්ඩය යොදා ගත්තේ ය. එමෙන්ම මුල්ම වරට ෆ්‍රෙන්ච් හෝන්, චෙලෝ, සහ ඕබෝ සංගීත භාණ්ඩ තම නිර්මාණ වලට යොදා ගත්තේ ය. බෙහෙවින් ජනප්‍රිය ගීත ඇතුළත් වූ ‘දෝස්ති' නම් හින්දි චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූ ‘කලණ මිතුරෝ' චිත්‍රපටයට ෂෙල්ටන් තම ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කළේ හින්දි ගීතවලට අභියෝගයක් වෙමිනි. කලණ මිතුරු දහමයි’, ‘දිනෙක යන මෙතැන් සිට නික්මී’, ‘මහමෙර සාගර’, ‘උපන් කාට වුණත්’, ‘භවෙන් භවය’ යන ගීත එම චිත්‍රපටයේ අඩංගු වන අතර ඒවා ගයන කළේ වික්ටර් රත්නායක විසිනි.

 

ෂෙල්ටන් 5

 

මාලිනී බුලත්සිංහල ගායනා කළ "සඳ මඩලේ සිට", සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කළ "සුපුන් සඳක් නැගීලා", හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කළ "හංසරානී", රංජනී පෙරේරා ගායනා කළ "සීතල පාළුව" හා සුජාතා ගායනා කළ "රන්තරු පුන්සඳ" ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතලොස්සකි. කලකට ඉහත දී දීපසිඛා නම් වූ චිත්‍රපට උළෙලේ නාවික හමුදාවේ වාදන මඩුල්ල මෙහෙයවා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. හමුදා සේවක වාදක මණ්ඩලයක් ඉන් බාහිර සංගීතඥයෙකු මඟින් ලංකාවේ දී මෙහෙයවූ ප්‍රථමයා මොහු යි.

ෂෙල්ටන් හොටබරි යුද්ධය හි සතුන් රැසකගේ හඬ සංගීතයෙන් මතු කළේ ය. විදේශීය තනුවලට සිංහල වචන ඔබ්බවා, ඒවායේ සංගීත අධ්‍යක්ෂක තමායැ යි කියා ගන්නා මිනිසුන් සිටි අවධියේ ෂෙල්ටන් සෑම විටම උත්සහ කළේ ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කිරීමට යි. ෂෙල්ටන් හට කලාශූරී සම්මාන ඇතුළු විවිධාකාර වූ සම්මාන රැසක් හිමි විය. එමෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයය මඟින් ආචාර්ය උපාධියක් ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හට ප්‍රදානය කළේ ය.

 

ෙෂල්ටන් 3

එක්තරා අවස්ථාවක "ඔබට වාද්‍ය භාණ්ඩ කීයක් විතර වාදනය කළ හැකිදැ” යි විමසූ අවස්ථාවක ෂෙල්ටන් ප්‍රේමරත්නයන් "අතට අහුවෙන ඕනම දෙයකැ”යි පැවසුවේ ඉතාමත් සැහැල්ලුවෙනි. කෙතරම් සංගීතඥයන් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගෙන් ගුරුහරුකම් ලැබුව ද ඉන් බොහෝ දෙනා ඔහුව මතක් නොකිරීම කණගාටුවට කාරණයකි. වරක් මෙම කෙලෙහි ගුණ පිළිබඳව ෂෙල්ටන් කියා සිටියේ "කෙලෙහිගුණ තියෙන්නේ බල්ලගේ වලිගෙයි පඩික්කමේ අඩියෙයි විතර යි" යනුවෙනුයි.

 

ෂෙල්ටන් 7

වර්තමානය වන විට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඔස්ට්‍රේලියාවේ වාසය කරයි. ෂෙල්ටන් ප්‍රේමරත්න නම් මහා සංගීතවේදියාගේ නිර්මාණ ගායනා කළ ගායක ගායිකාවන් අති විශාල යි. එකී මෙකී සුවිශේෂී දස්කම් මඟින් මොහු පෙළහර පෑ නමුත් සාපේක්ෂව වගකිව යුත්තන්ගේ අඩුම සැලකිල්ලට බඳුන් වූ සංගීතවේදියා මොහු යි.

 

Mithila Fernando/පැරණි සිංහල ගී රසික හවුල