මහා ගත්කතුවර ජී. බී.සේනානායක පිළිබඳ මතකය

ගුණතිලක බණ්ඩාර සේනානායක නොහොත් සාහිත්‍ය සූරී ජී. බී. සේනානායක මහතා මුල් වරට මට හමු වුණේ 1981 මුල් කාලයේ යැයි සිතමි. එවක මා සේවය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිහිටියේ කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් මන්දිරයේය. එතුමාට සාහිත්‍ය සූරී සම්මානය ලැබීමට දින කිහිපයකට පෙර එතුමා කිසියම් අවශ්‍යතාවක් සඳහා අප කාර්යාලයට පැමිණ සිටියේය. සුදු පැහැති කලිසමකින්, සුදු කමිසයකින් හා සුදු කබායකින් සැරසී දුඹුරු පැහැති ටයිපටියක් පැළඳ සිටි එතුමා දුටු මම මහත් ගෙෳරවයෙන් යුතුව එතුමා ලඟට ගොස් කිසියම් කතාබහක නිරත වූවා මට මතකය. ඉතා සෙමින් දොඩන්නකු වූ එතුමා මඳ වේලාවක් මා සමඟ කතා බහ කරන්නට තරම් නිහතමානී විය.

ඒ වන විට තමන් සතුව අත්පිටපත් කිහිපයත් තිබෙන බවත් ඒවා ප්‍රකාශන ආයතනයකට ලබා දෙන්නට කටයුතු කරන බවත් එතුමා පැවසීය. ඉන් මද කලකට පසු එතුමා පිළිබඳ ලිපියක් ලියන මෙන් එවක දෙසතිය සඟරාවේ සංස්කාරකවරයා වූ ගාමිණී විජේතුංග මටත් පසුගියදා අප අතරින් වෙන්ව ගිය අපගේ හිතමිතුරු සුනිල් මිහිඳුකුලටත් පැවරීය. ඒ වන විට එතුමාගේ දෙනෙත අඳුරු කඩතුරාවෙන් වැසීගොස් තිබුණි.

 

GB s 

ජාඇල විශාකාවත්තේ තම සොහොයුරියගේ නිවෙසේ ඔහු වාසය තරන බවට අපට හෝඩුවාවක් දුන්නේ මගේ සිනමා හා රූපවාහිනි ගුරුවරයා වූ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ලෙස්ලි බොතේජු මහතා විසිනි. සේනානායක මහතාගේ නිවෙසට ගිය අපි අපගේ අවශ්‍යතාව ඔහුට කීවෙමු. එහෙත් සේනානායක මහතා අපට සම්මුඛ සාකච්ඡාව දීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ ධනපති පත්තර කන්තෝරු හා පොත් ප්‍රකාශකයන් තමා සුරාකෑ බවය. වෛද්‍යවරුන්ට, නීතිඥයන්ට මෙන් තමාට ද කිසියම් ගෙවීමක් කරන්නේ නම් සම්මුඛ සාකච්ඡාවකට ඉඩ දිය හැකි බව හෙතෙම කියා සිටියේය.

එය සත්‍යයකි. විදේශයන්හි කිසියම් විශිෂ්ඨ ලේඛකයකුගෙන් සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නේ නම් ඒ සඳහා විශාල මුදලක් ගෙවිය යුතු වෙයි. මන්ද එම සම්මුඛ සාකච්චාව එම පුවත්පතට හෝ සඟරාවට විශාල ආලෝකයක් මෙන්ම එමගින් වැඩි අලෙවියක්ද හිමිවන බැවිනි. ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාමාර්ගයක් නොමැති අතර සම්මුඛ සාකච්ඡා සඳහා ගෙවීමක් නොකෙරේ.

 

ජීබී 3

අප පත්‍ර කලාවට ආධුනිකයන් බැවින් ආපසු හරවා නොයවන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටියෙමු. ඔහුට තිබුණේ කාරුණික හදවතකි. මෙතරම් දුරක් ඔහු සොයා පැමිණි අප හරවා යවන්නට ඔහුට සිත් දුන්නේ නැත අවසානයේ ඔහු අපට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. ඒ එක කොන්දේසියක් යටතේය. ඒ තම පෙෳද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න නොකර සාහිත්‍ය පිළිබඳ පමණක් ප්‍රශ්න කරන ලෙස පවසමිනි. එපමණක් නොව විස්කෝතු කෙසෙල්ගෙඩි සමඟ තේ පැනින්ද සංග්‍රහ කළේය. හිස් බැල්මෙන් නොපෙනෙන ඉසව්වක් දෙස නෙත් යොමා සිටියද එතුමාගේ මතකය තියුණු විය.

එතුමා දිනකට තේ කෝප්ප විස්සක් පමණ හා සිගරට් විස්සක් පමණ බොයි. එම දිනවල අධික රුධිර පීඩනයෙන් පෙලුණද ඔහු දුම් බීම අත්හැර නොමැති යැයි සොහොයුරිය අප සමග පැවසුවාය.

එදා සුනිලුත් මාත් එතුමා සමඟ කරන ලද සාකච්ඡාව 'රුක් සෙවණැලි අතර දැල්වෙන පළිඟු පහනක්' යන නමින් දෙසතිය 1981 නොවැම්බර් කලාපයේ පළ විය. එම ලිපියට එම නම දුන්නේ ඒ දිනවල එතුමා රුක් සෙවණැලි සහ පළිඟු පහන නමින් පද්‍ය සංග්‍රහ දෙකක් ලියමින් සිටි බැවිනි.එම කාතිවල අන්තර්ගත වන්නේ මොනවාදැයි අපි ඇසූවෙමු. එවිට ඔහු මෙසේ කීවේය.

කාලෙකට ඉස්සෙල්ල මං නැවතිලා හිටියෙ කුරුණෑගලට සැතපුම් ගණනක් ඈත බුලුවල කියන ගම්මානයේ. එම ගම්මානයේ සෙෳන්දර්යයෙන් මත්ව ලියවුණු කවි තමයි මේ පොත් දෙකට ඇතුළත් වෙන්නෙ එතුමා කීවේය.

ඔබතුමා අලුත් නවකතාවක් ලියන්නෙ නැද්ද? මම ඇසුවෙමි.

දැනට නම් ලියවෙන්නනෙ නැහැ. තවදුරටත් සාහිත්‍යකරණයේ යෙදෙන්න දැනට මං ඉන්න කායික හා මානසික දුබලතාව යටතෙ ටිකක් අමාරුයි. මට දැන් මගේ පොත්වල එන චරිතවල නම් පවා අමතකයි. ඒක මනස දුර්වල වීම නිසා ඇතිවූවත් එතුමා පැවසීය.

 

ජීබී 1

 

පසුකාලයේ කල්පනා සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ගිය ගුණදාස ලියනගේ මහතාට එම සම්මුඛ සාකච්ඡාව සඳහා සේනානායකයන්ට රුපියල් 300ක් ගෙවීමට සිදු විය.

සත්‍යවශයෙන්ම තම නිර්මාණවලින් පෝෂණය වන ආයතන තමන්ගේ නිර්මාණයට කිසිදු අගයක් නොතැබීම සම්බන්ධයෙන් සේනානායක මහතා දක්වන ලද ආකල්පය සාධාරණ බැව් මගේද හැඟීමයි.

1913 ජුලි 14 දින කොළඹට ආසන්නයේ පිහිටි මුල්ලේරියාවේදී සේනානායක ශූරීන් උපත ලැබීය. ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝන් පාසලෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. ආර්ථික දුෂ්කරතා මත ඔහුගේ අධ්‍යාපනය අතරමග ඇන හිටියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 14කි. එහෙත් ඔහුට සුවිශේෂ පුරුද්දක් විය. ඒ ලැබෙන සෑම පොතක්ම කියවීමය. ජී.බී. ලේඛන කලාවට පිවිසෙන්නේ හේමපාල මුනිදාස සූරීන්ගේ සිංහල බෞද්ධයා පුවත්පත මගිනි..පසුව දිනමිණ පුවත්පත් කර්තෘ මණ්ඩලයට එක් වූයේය.

පුවත්පත් කලාවේදියකු ලෙසින් ජීවිතය ආරම්භ ජී. බී. සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කෙටිකතා කරුවකු වශයෙනි. ඔහුගේ මුල්ම කෙටි කතා සංග්‍රහය “දුප්පතුන් නැති ලෝකය“ යි. 1946 පළ කළ “පළි ගැනීම“ නම් කෙටිකතා සංග්‍රහයක්ද ඔහු පළ කළේය. ඉන්පසු ඔහු මේධා, චාරුමුඛ, වරදත්ත, අවරගිර, රළ බිඳුම, කැකෑරිල්ල, මලපුඩුව, ජල ගැල්ම, බැඳුම, රුව, උරගල, එකට එක, මදුපාණි වැනි නවකතාත් , ඈත බැලුම, ගමන, නැටුම, මිතුරිය වැනි කෙටි කතාත් සාහිත්‍ය දර්ශන සිතුවිලි, මම එදා සහ අද වැනි චරිතාපදානත්, රුබයියාට්, විඳිමි, දැල් කවුළුව, සෙවණැලි වැනි පද්‍යයත් මල්කුමාරී, හාල් මැස්සා, රත් හඳුන්, රූපය, හීනය, අඹ කතාව, මහ ලෝබයා වැනි සුරංගනා කතාත් රණරාළ නමැති ළමා නවකතාවමෙන්ම කතා කලාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, විචාර ප්‍රවේශය, සාහිත්‍ය සේසත්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව වැනි ශාස්ත්‍රීය කෘතීන් විශාල ප්‍රමාණයකුත් ලියා පළ කළේය.

 

GB 1

 

අවසන් සමයේ සේනානායක මහතා පූර්ණ ලෙසම අන්ධ භාවයට පත් විය. එහෙත් ඔහු තම ලියවිල්ල අත් නොහළේය. අන්ධ භාවයට පත්ව සිටියද තම සොහොයුරියගේ සහ ඇයගේ දරුවන්ගේ සහය ඇතිව ඔහු කෘති 16ක් ලිවීය. විනිවිඳිමි අඳුර කෘතිය ඔහුගේ මතක සටහන් පාදක කරගනිමින් ලියවුණකි.

එතුමාගේ සාහිත්‍ය සේවය අගයමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එතුමාට ආචාර්ය උපාධිය පිරිනැමීය. ශ්‍රී ලංකාවට නිසඳැස් කාව්‍ය නොහොත් නිදහස් පද්‍ය සාහිත්‍යයක් හදුන්වා දුන්නේ ජී. බී. සේනානයකයන් විසිනි. ඔහු විසින් පරිවර්තනය කරන ලද ඔමාර් ඛයියාම්ගේ රුබයියාට් අපූරු නිර්මාණයකි.

 

G B Senanayake new

 

1985 මාර්තු 16 දා ඔහු දිවියෙන් සමුගත්තේ ය. ඊට පෙර දින රාත්‍රියේ ඔහු “රාජාලියා“ නම් නිදහස් පද්‍ය රචනයක් ලියා අවසන් කර තිබිණි. එතුමාගේ කෘතියකට පිටකවරයක් නිර්මාණය කිරීමට මම වාසනාවන්ත වීමී. ඒ විඳිමි නම් වූ පද්‍ය සංග්‍රහය සඳහාය. එය මම මෙහි බහාලමි.