යොහානි ද සිල්වා ගයන මැණිකේ මගේ සිතේ ගීතයේ මතුවීම සහ පැවැතීම මුල් කරගෙන යම් ප්‍රවණතා කීපයක් හඳුනගන්න අපි තවදුරටත් උත්සාහ කරමු.

මම හිතන්නේ ඒ ගීතය පිළිබඳව මතු වී ඇති මේ කතිකාව ඉතා යහපත් සහ එයින් සිංහල සමාජය , එහි කලා භාවිතාවන් ගැන බොහෝ පැති නිරාවරණය වෙනවා.

ශ්‍රී ලංකාවේ කලා රසවින්දනය සහ කලා නිර්මාණකරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කිසියම් 'අධිකාරීත්වයක්' වින්දනය කිරීමට කැමති බොහෝ අය මැණිකේ මගේ හිතේ ගීතයෙන් යම් අවුල් සහගත තත්වයකට පත් වුන බව අපිට පෙනුනා. සාමාන්‍යයෙන් ඒ අය භාෂාවෙන් කියන්නේ මොනවද කියල දන්නෙ නැතුව රසවිඳින හින්දි ගීත සහ පිරිත් වල සිට තවත් විවිධාකාර නොදන්න භාෂාවලින් ඇති ජන ගී ආදිය පවා පද අර්ථ ගැන නොසලකා රස විඳිනකොට අහන්නේ නැති ප්‍රශ්න යොහානිගේ ගීතයෙන් අන්න පෙලඹිලා තිබුණා. ඒ ගීතයේ ද පද වලින් කියන්නේ මොකක්ද කියන එක මොහොතකට අමතක කළොත් තනුව හෝ තාල විදියට ගත්තම එය භාෂාව නොදැනගෙන රසවිදින අනිත් කවි ගීත වලට වඩා අවප්‍රමාණය කරන්නේ මොන පදනම මත ද කියලා ගැටළුවක් එනවා.

 

භාෂාව අදාල නැතිව මේ විදිහට මෑත කාලයේදී ගෝලීයව ජනප්‍රිය වී විවිධ අර්ථකථනයන්ට ලක්වුණු තවත් ගීත දෙකක් තමයි Gangnam Style නම් දකුණු කොරියනු ගීතය සහ Jerusalema නම් දකුණු අප්‍රිකානු ගීතය.. එබැවින් එය එක්තරා නව ගෝලීය ගීත ප්‍රවණතාවයක් විදියට හඳුනා ගන්න පුළුවන්.

 

 

 

 

මේ ගීතය අමිතාබ් බච්චන් කියපු නිසා ජනප්‍රිය වුණා කියන කාරණය එතරම් බුද්ධිමත් තර්කයක් නෙමෙයි. බච්චන් අගයපු පළවෙනි ගීතය මේක නොවන අතර ඒ අගයපු පමණින් ඒ ගීත වලටත් මෙහෙම දෙයක් වෙලා නැහැ.ඔහු නිසා විශේෂයෙන් සිදුවූයේ මේ ගීතයට අවධානයක් සහ ප්‍රචාරයක් ලැබීමයි. ඉන්දියාව ඇතුළු බොහෝ අන්‍ය ජාතිකයින් තුළ වඩාත් ජනප්‍රිය වන්නට ඒ ගීතයේ තනුව හෝ ආකෘතිය ප්‍රධාන හේතුවක් වුණේ නෑ කියලා අපිට කියන්න බැහැ. තනුව සහ ගායන විලාශයේ ඇති මිහිර, සරල නමුත් පර්යේෂණාත්මක නූතන ජීවමය ගුණය ආදිය එය වටා ගොඩනැගුණු බොහෝ සමාජ කාරණා සහ ඉදිරිපත් කරපු රටාව ජනප්‍රියත්වයට හේතු වෙනවා. ඉතා පුළුල් ගීත සංස්කෘතියක් ඇති ඉන්දියාව වැනි රටක එය ජනප්‍රිය වීම සුළුපටු කාරණයක් විදියට සළකන්නට බැහැ.

මේ ගීතයේ තාලයේ හෙවත් ආකෘතියේ ඇති විශේෂත්වය නම් එය විවිධ ගායකයින් අත ඒ ඒ සන්දර්භයන් තුළ විවිධාකාර අර්ථ සහ රස ජනනය කරන ලෙස පරිවර්තනය කර අර්ථකථනය කර ගන්නට පුළුවන් වීමයි. ඒ සෑම කෙනෙකුගේම සමකාලීන ජීවින රිද්මය සමග මෙය හොඳින් බද්ධ වුණා.

 

යෝ 6

 

දේශීයව මේ ගීතයට සමහරුන්ගේ අඩු ගෞරවයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වුණේ එය ඊයේ පෙරේදා සින්දු කියන්නට පටන් ගත්ත එතරම් පසුබිමක් පිළිගැනීමක් නැති පැඟිරි කොල්ලන් කෙල්ලන්ගෙ වැඩක් වීමයි. ඒ වගේම එය මතුවෙන්නේ සම්මතව හොඳ ගීතයක් මතුවෙන ආකාරයට ද නෙමෙයි. සමස්ථයක් වශයෙන් මේක තමයි දැන් තත්වය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සම්මතය වෙලා තිබුනේ කිසියම් කෙනෙක් වෘත්තියකට පැමිණීම සහ දක්ෂයෙක් විදිහට පිළිගැනීමට ලක්වීම පිළිවෙලකට ඉගෙනගෙන ඇවිත් ජේෂ්ඨයින්ගේ හෝ විද්වතුන්ගේ පිළිගැනීම හරහා 'බෞතිස්ම' වීමක් විදිහටයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ව හෝ යම් කලා භාවිතාවක් මෙසේ උසස් හෝ පහත් ලෙස ''බෞතීස්ම' කිරීමේ බලය ආයතනිකව හෝ පුද්ගලිකව හැසුරු වේ මෙකී විද්වත් හා ජ්‍යෙෂ්ඨ ලෙස පිළිගත් අයයි.

 

යෝ 7

සංගීතය සම්බන්ධයෙන් කතා කරනවිට එක් කලෙක ගුවන්විදුලි සංස්ථාව එහි ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්වෙලා තිබුණ බව අපි දන්නවා. දැන් ආපසු හැරී බලනකොට ඒ බොහෝ තීරණ කොතරම් අගතිගාමී ද පටු ද කියන එක අපට පෙනෙන්නට තියනවා. එතකොටයි එදා ඒ බලය ලත් අයගේ රසිකත්වයේ දැනුමේ හෝ සදාචාරයේ තරම කලාකරුවා සහ කෘතියේ ඉරණම තීරණය කිරිමට තදින් බලපෑවා. වර්තමානයේ මේ හැන්ද බොහෝවිට ආයතන වලටත් වඩා පුද්ගල ප්‍රතිරූප අතට ගිහිල්ලා තියෙනවා. ඒ සන්දර්භය තුළ මැනිකේ මගේ හිතේ වැනි ගීතයක් මතු වෙන්නේ පවතින ඒකී සම්මත සම්ප්‍රදායන් වලට සම්පූර්ණයෙන් පිට ඇති වෙනත් ඇගයුම් පද්ධතියක් හරහායි.

 

යෝ 3

ගීතය වැනි දේවල් ගැන සිංහලෙන් කතාබහ කරන විදග්ධයින් හෝ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ටයින් ලෙස පිළිගත් බොහෝ දෙනෙකුට ලෝකය වටේ රවුමක් ගහල එනතෙක් මේ ගීතය මුලින්ම අල්ල ගන්න හෝ ඇගැයීමකට ලක් කරන්නට බැරිවීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාව නෙමෙයිද? ඒ සමහරුන් මේ දූපතෙන් පිට ඇති ඇගයීම් පද්ධති වලට බිය ඇයි කියන එකද මේ හරහා අපිට පැහැදිලි වන අනිත් සත්‍යයයෘ?

අද වෙන කොට ඇත්ත වශයෙන්ම මේ සියලුම ප්‍රාදේශීය බලාධිකාරී තත්ත්වයත් දියවී යමින් අප විශාල වෙළෙඳ පොළවල් වල ඇති නානප්‍රකාර ඇගයීම් පද්ධති වලට සහ ඉල්ලුම් වලට විවෘත වෙලා තියෙනවා. ඉන් අදහස් කරන්නේ අපි විවිධ අයගේ ඇගයීම් මත රැඳිය යුතු බව නොවේ, ඒවා සමග බද්ධ වීමට තරම් අපේ අවකාශය විශාල වීම නිසා අපගේ ඇගයීම් පද්ධතිය ද පුළුල් වීමයි. යම් විදියකින් මේ ගීතය පිළිබඳව විවිධාකාර රටවල් වල ඇතිවෙන කතාබහ අපට ඇසුරු කරන්නට හෝ ඒවා හා බද්ධ වන්නට හැකිවුනොත් එයම අපේ රටේ කලාවේ නිම් වළලු මතවාද පුළුල් කිරීමට හේතු වෙනවා. සිදුවිය යුත්තේ එයම නොවේද?

 

යෝ 4

 

මේ ගීතයේ ජනප්‍රියත්වය හරහා තවත් වැදගත් ප්‍රවනතාවයක් තහවුරු වෙනවා. මේ වෙනකොට ගීත ගායනය විතරක් නෙමෙයි ඕනම සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, වීඩියෝ සංස්කරණය ,කැමරාකරණය සහ ඒවා හරහා විවිධ නිර්මාණ කිරීම ආදිය ඉතාම කුඩා කාලයේ ඉදන් ළමුන් කොම්පියුටරයක් හෝ ස්මාට් ෆෝන් එකකින් කරන අභ්‍යාසයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ද තිබුණු ශාස්ත්‍රීය ඒකාධිකාරීත්වය සහ සම්මත න්‍යාය සහ භාවිතාවන් වල පදනම් ද අභියෝගයට ලක්වෙමින් තියෙන්නෙ. ඒ හරහා කලාව අමුතු හැඩතල ගන්නවා වගේම ඉතා විශාල වෙනස්කම් රැසකට භාජනය වෙමින් පවතිනවා.

මීට නැවතත් ඉන්දියාවම උදාහරණයට දෙනවා නම්, ඔබ දකිනවා ඇති ඉන්දියාවේ ටැලන්ට් ෂෝ වලට ඇවිල්ලා ඉන්න කුඩා ළමයින්ගේ ගායන හැකියාවන්. හොඳ ගායකයෙක් වෙන්ඩ හැදෑරිය යුත්තේ මේවයි කියල තිබුණු සම්මත ඔවුන් හරහා අභියෝගයට ලක් වෙනවා. මෙය රඟපෑමේ සිට කැමරාකරණය දක්වා තව බොහෝ දේවල් වලට අදාල කරන්න පුළුවන්. ඉතින් මෙතනදී සිද්ධවෙලා තියෙන්නේ කලින් පැවතුණා වූ දැනුම, සම්ප්‍රදායයන්, සම්මතයන් සහ අධ්‍යනයන් ප්‍රතික්ෂේප වීමට වඩා යමක් අත්පත් කරගන්න හෝ සාර්ථක වෙන්න තියෙන පිලිගත් හෝ ඒකාධිකාරී මාර්ගයන්ට පරිබාහිරව තවත් අනන්ත අප්‍රමාණ ප්‍රවේශයන් තිබෙන බව තහවුරු වීමයි. ඒක කලා කෘතියක් සාර්ථක වීම, ජනප්‍රය වීම සහ පැවතීම කියන එකටද අදාලයි. ඊට කලාකරුවෙක් කියන්නේ කවුද කලාකරුවා පවතිනවා කියන්නෙම මොකක්ද වැනි දේවල් පවා අදාලයි.

 

යෝ 2

උදාහරණෙකට, මැනිකේ මගේ හිතේ වැනි ගීත හතු පිපෙන්නා වගේ මතුවෙලා ඒ සින්දුවෙන් පස්සේ ඒ ගායිකාව නොපෙනී යනව, නන්දලා, ලතාලා, අමරදේවලා තාමත් යුග ගණන් පවතිනවා වගේ කතා සමහරු නිතර කියනවා.ඇත්ත වශයෙන්ම එක ගීයකින් පමණක් මතු වී නැතිවී ගියොත් එයින් කියවෙන්නේ ඒ ගීතය අසාර්ථක නිර්මාණයක් කියන එක නෙමෙයි. කලාකරුවෙකුගේ පැවැත්ම තීරණය කරන්න මෙපමණ නිර්මාණ සංඛ්‍යාවක් මෙපමණ කාලයක් කරමින් සිටිය යුතුයි කියලා සම්මතයක් දැන් නෑ. සමහරවිට යොහානිගේ ගීතය මේක විතරක් වෙන්න පුළුවන්, එතකොට අපි කියනවා ඒක තමයි ඒ කලාවේ ස්වභාවය. කලාකරුවෙක්ගේ වැදගත්කම කතා කරන්න විශාල කලාකෘති සංඛ්‍යාවක් නෙමෙයි අවශ්‍ය එක කලාකෘතියකින් හෝ කරන ලද බලපෑමයි. මැණිකේ මගේ හිතේ ගීතය පිළිගන්න හෝ එය සාර්ථක වෙන්න එය ගායනා කල ගායිකාව නන්දාලා ලතාලා වගේම මෙපමණ කාලයක් තව ගීත ගයමින් සිටිය යුතුයි කියලා සම්මතයක් නැහැ. මේ ඔක්කොටම හේතු වෙලා තියෙන්නේ ඉස්සර කලාකරුවන් කලා නිර්මාණ පැවතීම ඇතිවීම නැතිවීම සම්බන්ධයෙන් තියෙන පැරණි මිනුම් දඩු වල තාමත් බොහෝ අය හිර වී සිටීමයි. මෙවැනි අලුත් කලා භාවිතාවන් ආවහම අප කළ යුත්තේ පැවති පරණ හෝ සම්මත සම්ප්‍රදායන් ඇසුරින් ඒවා විනිශ්චය කරන්නට යාම නෙමෙයි ඒවා අලුත් ප්‍රවණතාවයන් විදිහට තේරුම් ගැනීමයි.

 

යෝ 5

 

ඔබට යම්කිසි කලා නිර්මාණයක් ආකර්ෂණය වෙනවා නම්, උදාහරණයකට මැනිකේ මගේ හිතේ ගීතය යොහානී ගයන කොට ඔබට මොකක් හෝ ත්‍රිල් එකක් එනවනම් බය නැතුව ඒක මට ත්‍රිල් එකක් කියලා කියන්න. ඒ සඳහා ගීතය පිළිබඳව අධිකාරීත්වයක් දරන කිසිවකුගේ අවසරය අවශ්‍ය නැති අතර ඔබ ඔවුන් මොනවද කියන්නේ කියන තෙක් බලා ඉදීමට තරම් ඔබගේ රුචිය සහ රසිකත්වය ගැන හීන මානයක් ඇති කරගතයුතු නෑ. ඔබයි රසය!

යොහානි ඇයටම ආවේණික හඬක් ඇති දක්ෂ ගායිකාවක්.මේ ගීතය ශ්‍රී ලංකාවේ පර්යේෂණාත්මක ගීත කලාවේ මාස්ටර් පීස් එකක්. මේ ගීතය විවිධ විදියට ඇසුරු කරගත් එහි ආලෝකය ලබාගත් ගීත ඉදිරියේදී ඔබට දකින්නට ලැබේවි. විධග්ද හෝ සුභාවිත යයි කියන ගායකයෝද වරක සන්ෆ්ලවර් සංගීතය විවේචනය කර සන්ෆ්ලවර්ලාගෙන්ම පැවතුන විදිහටම මෙවැනි ගීත වල මොනවා හෝ ඡායාවක් ඇති නිර්මාණය කරන්න පෙළඹේවි.ඔවුන්ට බැරි වුණොත් අවම වශයෙන් ඔවුන්ගේ ගෝලබාලයන් හෝ පසු පරම්පරාව මෙහි ආලෝකය ලබාවි.