ඔබ හැන්දෑවක ඔහේ නිකන් අහස දිහා බලාගෙන ඉන්නවා.

විවිධ හැඩ තියෙන වෛවර්ණ වළාකුළු පාවෙනවා.කුරුල්ලන් පියඹලා යනවා .සමහර විට ඈතින් අහස් යානාවක් හෝ සරුංගලයක් ද දිස්වෙනවා. ආලෝකය ද වෙනස් වෙමින් පවතිනවා, ඈතින් තරු එක දෙක මතුවෙනවා.ඒ අහස දෙස බලා සිටීමෙන් ඔබ ආශ්වාදයක් ලබනවාද? ඔව්, සෑහෙන්න! එහෙම ආශ්වාදයක් ලබන කොට ඒ අහසේ සිදුවන දේවල් වල තේරුම මොකක්ද ,ඒ ආශ්වාදය මොකක්ද කියලා ඔබ කවදා හරි විමසලා තියෙනවද? සාමාන්‍යයෙන් නෑ!මම ඉහතින් ආරම්භක ප්‍රවේශයට ගෙනාවේ අතිශය වියුක්ත (Abstrac) චිත්‍රයක් රස විදීම ගැන සරලව කියන්නට යොදාගත්ත රූපකයක්.

 

yo 1

 

එහෙත් ඉහත අහස රසවිඳීමට ඔබව නිශ්චිත ඉගැන්වීමකින් සකස්කර (conditioned ) ඇත්නම් ඔබ බොහෝ විට ඊට අනුව එය රසවිදින්න නැඹුරු වෙනවා.නමුත් ඒ රසය විඳින්ට ඔබගේ අතිශය පුද්ගලික අත්දැකීම් ඔබම නොදන්නා අවිංඥාණක තලයකින් සම්බන්ධ වෙනවා. කලා කෘතියක් යනු හැමවිටම නිශ්චිත ඉගැන්වීමකින් ජාතක හෝ අවජාතක වුණු තත්ත්වයක් නම් අහස යනු එහෙම දෙයක් නොවන බව පැහැදිලියි. නමුත් මම අහස පිළිබඳ කතාව ගෙනාවෙ කලා විචාර සම්ප්‍රදායන් සහ ගුරු කුල ආදිය ඔබට උගන්වා ඇති ආකාරයට අනුව කෘතියක් විනිශ්චය කරනකොට කල්පනාකාරී විය යුතු බව සහ එහි සංකීර්ණතාව කියන්නයි. කෙසේ හෝ මැනිකේ මගේ හිතේ ගීතය රස විදින්න බැරි වුණු බොහෝ අයට අර අහස රස විඳින්න බැරි වුණා වගේ කියලා මට හිතුණා.

දැන් යොහානී ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය රසවිඳින්නේ කෙසේද එය පිලි ගන්නේ කෙසේද කියන එක මම හැකිතරම් පාරිභාෂිත වචන සහ න්‍යායන් මගහැර සරළ ප්‍රවේශයකින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.

කලා කෘති සහ ප්‍රසාංගික මාධ්‍ය වලට තිබුණු පිළිගත් සම්මත හෝ සම්ප්‍රදායික ආකෘති වලට තිබුණු අධිකාරි බලය පසුගිය කාලයේ සීග්‍රයෙන් බිඳ වැටුනා. ඒ වෙනුවට අතුරු හෝ විකල්පව හැදුනු ආකෘති විශාල සංඛ්‍යාවක් බිහි වුණු අතර ඒවා පැමිණි මූලය මොකක් වේවා ඒවා සියල්ල ඊටම ආවේණික අනන්‍යතා ඇති ප්‍රසාංගික කලා ආකෘති විදිහට වර්ධනය වී ඇති බව දැන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන්, චිත්‍රපටියක් විශාල තිරයක් සහිත අඳුරු ශාලාවක පිරිසක් එක්ක නරඹන ආකෘතිය චිත්‍රපටියක් නරඹන නියම හෝ එකම විදිහ කියලා තවදුරටත් කියන්නට බැහැ. අවම වශයෙන් චිත්‍රපටියක් පොජෙක්ටර් එකකින් හෝ රූපවාහිනියෙන් ගෙදරදි නරඹන ආකෘතියවත් එකම සහ නිවැරදිම ආකෘතිය කියන්න බැහැ. කොම්පියුටර්, ටැබ්ලට්ස් කුඩා තිර සහිත ස්මාර්ට් ෆෝන් ආදිය බිහිවීමත් ජීවිතය පවා විවිධ ලෙස තැන් තැන් වල විසිරී යාමත් සමඟ තමන් තනිව චිත්‍රපටියක් තමන්ගේ ෆෝන් එකෙන් ඊයර් ෆෝන් දාගෙන වෙලාව තියෙන විදියට අනිත් වැඩ සඳහාද නවත්වමින් කොටස් වශයෙන් නැරඹීමද තවත් එක් චිත්‍රපට නරඹන සම්ප්‍රදායක් හෝ ආකෘතියක් විදිහට දැන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එයින් ලබන ආශ්වාදය කළු කරපු ශාලාවක නිශ්චිත තැනක විශාල තිරෙන් සමූහයක් සමග නරඹනකොට නැහැ.

 

yo 2

 

ඒ වගේම දැන් මේ වෙනකොට හොඳ චිත්‍රපටි නිර්මාණය කිරීම පවා ස්මාට් ෆෝන් වලින්ද සිද්ධ වෙනවා. මේ විදිහටම නාට්‍ය නැටුම් ආදී සියලුම ප්‍රසාංගික ‍ක්‍රිරියාකාරකම් නානාප්‍රකාර විදියට රස විඳීමේ සහ නිෂ්පාදනය කිරීමේ ආකෘති බිහිවෙලා තියෙන අතර ඒ සියල්ල අපට වෙන වෙනම අනන්‍යතා ඇති ආකෘති විදිහට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ගීතයක් තනියම තමන්ම මුමුණමින් තමන්ටම ගයන අවස්ථාව ද ගීත රසවිඳීමේ වෙනම සම්ප්‍රදායක් විදිහට ගත යුතුයි. මේවායින් වඩා නිවැරදි හෝ උසස් විදිහ කියලා එකක් නැහැ. වඩා ආශ්වාද සම්ප්‍රදාය සඳහා පොදු නියමයන් යෝජනා කරන්න අපහසුයි. ඒ අනුව වඩා නිවැරදි එක කියලා එකක් තෝරාගෙන ඊට අනුව අනික්වා මැනීම ද සාධාරණ නැහැ. ඒ වගේම ඒ නිර්මාණ නිෂ්පාදනය වෙන සහ ඉදිරිපත් කරන සමාජ මාධ්‍ය ඇතුළු අවකාශය ද භූගෝලීය සීමාවකට යටත් නැති අතිශය සංකීර්ණ මාධ්‍ය සංස්කෘතියක් සහ පුළුල් ප්‍රේක්ෂකාගාර හෝ වෙළඳපොළවල් කරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මැනිකේ මගේ හිතේ ගීතය ද බිහි වෙන්නේ ඊටම අනන්‍ය වූ හැඩයකින් මේ සන්දර්භය තුළයි.

ඕනෑම කලා කෘතියක් බිහිවුණාට පසු සමාජ ගොඩනැංවීමකට (Social Construction) හසු වන අතර එය රසිකයාට ඒ දෙස බලන ආකාරයට සහ රස විදින්නට සහ අර්ථය රසය ජනනය කිරීමට බලපානව. ඒ සමාජ ගොඩනැංවීම් ඒ කෘතිය කියවීමේ හෝ රසවිදීමේ රසිකයාගේ දැනුම අත්දැකීම බවට පත්වෙනවා. උදාහරණයකට, මනමේ නාට්‍යය 1956 දී බිහිවුණාට පසු අද වන තෙක් එයට එකතු වුණු විචාර ප්‍රේක්ෂක කතාබහ, ඒ ගැන ඉගැන්වීම් සහ එය ඇසුරු කරගෙන බිහිවුණු වෙනත් නිර්මාණ ආදී සමාජ අර්ථ සියල්ලම අද එහි රසයට ,අර්ථයට සහ වෙළෙඳපොළ වටිනාකමට බලපානවා.

 

yo 3

 

යොහානිගෙ ගීතයද, මනමේ වගේ කෘතියකට සාපේක්ෂව ගත්තම, ඉතාම කෙටි කලක් තුළ වේගවත් සමාජ ගොඩනැංවීමට ලක්වෙනවා. සමාජ මාධ්‍ය වල කතාබහ ට ලක් වීමේ සිට අමිතාබ් බච්චන් හරහා තවත් විවිධාකාර නිර්මාණවලට පාත්‍ර වීම එම ගීතයේ රසය අර්ථය සහ වටිනාකමට බලපානවා.( මෙතනදි මේ ගීතය ජනප්‍රියත්වයට බලපාපු ප්‍රධාන සාධකයක් වන අමිතාබ් බච්චන් ද හුදෙක් පුද්ගලයෙකුට වඩා එහා ගිය සමාජ ගොඩනැංවීමක් විදිහට සලකන්න)එකී සමාජ ගොඩනැංවීමෙන් පරිබාහිරව නිර්මාණයක් හුදකලාව පවතින්නේ නෑ. ඒ වගේම එම සමාජ ගොඩනැංවීම වැඩි වන තරමට එම කෘතියෙන් එය බිහිවුණු සංස්කෘතිය පෝෂණය වෙනවා කියලා අපි කියනවා. දැන් එය යොහානිගේ ගීතයට වඩා එහා ගිය සමාජ සංසිද්ධියක්. දැන් ඒකට මිනිස්සු කැමති මුලින්ම ඒකට කැමති වුණු හේතු වලටත් නෙමේ.

ඒ ගීතයෙන් ඔබ පද වල සාහිත්‍යමය අර්ථ, ව්‍යංගාර්ථ සහ සංකේතාර්ථ ආදීය හොයන්න යෑම විතරක් නෙමේ එවන් කලාකෘතියක අර්ථය මොකක්ද වැනි අනිත් කලාකෘතිවල ඇති අර්ථය විමසන ආකාරයට එහි අර්ථය හොයන්නට යෑම පවා නිශ්ඵලයි. මැනිකේ මගේ හිතේ කියන පද වලින් පවා අර්ථවත් කරන්නේ 'මැණිකේ ඔබේ සිනාවේ දියරැල් ගලා ගියාවේ' හෝ 'ඔබ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ' වැනි ගීත වල පද වලින් ඇති කරන සාහිත්‍යයමය, සංකේත සහ කාව්‍යමය භාෂාව නෙමෙයි. ලුණුදෙහි සහ ඉඳිආප්ප වැනි ගීතවලින් කියන්නේ 'ලුණු දෙහි' හෝ 'ඉඳියාප්ප' ගැන නොවේ වගේ. 'පිටි කොටපන් නෝනේ' කියනකොට ඉන් දනවන්න හදන්නේ පිටි කෙටීමක් ගැන නෙමෙයි, 'ඉදිආප්ප කන්න ඕනේ' කියන්නේ ඉඳිආප්ප කෑම නෙමෙයි. නමුත් ඒ පද සහ රිද්ම වලින් නැටීමට අවශ්‍ය අප තුළ සැඟවිලා ඇති කිසියම් ලෛයින්ගික 'අසීලාචාර අවශ්‍යතාවයක්' අවුස්සා සන්තර්පණය කරනවා. එය 'රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ' වැනි ගීතයකට හසු වෙන්නැති අපි පිළිබඳව ඇත්තක් අපට බෙදාගන්න දෙනවා. එම කටයුත්ත අමරදේවගේ හෝ වික්ටර් ගේ ගීතයකට මොන විදිහකින්වත් දෙවනි නොවෙන රස අවශ්‍යතාවයක්. මේ ගීතවල පද අර්ථ නිර්මාණය වෙන්නේ මහා සම්ප්‍රදායේ නිර්මාණවලින් හඳුනගත්ත එදිනෙදා ජීවිතයේ ගැඹුරුයි කියන අර්ථ ගැන කරදර නොවීම නිසයි. ඒ වගේම සම්භාවනීය හෝ මහා සම්ප්‍රදාය කියලා පවතින ඒවායෙන් ඇති කල බර සහ පීඩනයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හරහා යි. ඒ කොයි පාරෙන් ආවත් අවසානයේ කලා කෘතියක රසයම තමයි අර්ථය, අර්ථයම තමයි රසය!

 

yo 4

 

මැනිකේ මගේ හිතේ ගීතයේ රසය එය ඉදිරිපත් කරන ගායිකාවගේ ළාබාල හුරුබුහුටි පෙනුම, ඇගේ කටහඬ, වෙනස් තාල රටා, කුඩා ෆෝන් තිරයට ගැලපෙන ලෙස නිර්මාණය කරපු රූප රචනය, එදිනෙදා ජීවිතයේ රිද්මය සමග ගැලපීම ඇතුළු තවත් විවිධ සමාජ ගොඩනැංවීම් ආදි සමාජ මාධ්‍ය සංස්කෘතියට අදාළ බොහෝ කාරණා හේතු වෙනවා. ඒ සියල්ල එහි රස නිෂ්පාදනය කරන මෙවලම් විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේ ගීතය අමරා හෝ නන්දා වැනි ජ්‍යෙෂ්ඨ ගායිකාවක් අතින් නිර්මාණය වුණා නම් මේ රස බිහිවෙන්නේ නෑ. ඒ වගේම මේ ගීතය සීඩී තැටියක් ලෙසට පමණක් නිකුත් උනානං මෙය මෙතරම් ජනප්‍රිය වෙන්නෙත් නෑ. කොටින්ම ඒකෙ තියෙන්නෙ වෙනම ත්‍රිල් එකක් වෙනම ආතල් එකක් වෙනම රසයක් කියලා සමහරු කියනකොට ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත හිතන තරම් සරලව ගන්න හෝ නොසලකා හරින්න බැහැ.

කොහොමහරි යොහානිගෙ ගීතය රස විදින්නේ කෙසේද එය අපගේ ගීත සංස්කෘතියට උකහා ගන්නේ කෙසේද කියලත් වත් පිරිසකට ප්‍රශ්නයක් වුණා. එක රසවිඳින්නේ කෙසේද කියන කර නම් මං පොඩි ඉඟියක් ඉහළින් දුන්නා.

හොඳ ගීත මොනවද නරක ගීත මොනවාද කියන එක දැනුම පිළිබඳ කතිකාවක් තුළ ඇති මතවාදයක් බව අපි දන්නවා. ශ්‍රී ලංකාවේ ඒ දැනුම පිලිබද කතිකාව ගොඩ නැගී තිබෙන්නේ විවිධ ගුරු කුල සම්ප්‍රදායන් තම බලය ස්ථාපිත කර ගැනීමට අරගල කරන වෙළඳපොලක් තුලයි. එයින් මුල් කාලයේ ජෝතිලා ගේ බජව් ගීත, බයිලා සහ ක්ලැරන්ස් සහ සීටීලාගේ 'සැහැල්ලු බටහිර ගීත' ආදිය බැහැර කරලා තිබුන අතර දැන් නම් ඒවා ද ගීතය පිළිබඳව දැනුම හසුරවන කතිකාවන් තුළින් පිළිඅරගෙන තියෙනවා. එසේ වුවත් යොහානිගෙ ගීතය නිර්මාණය වෙන්නේ සාමාන්‍යන් ලංකාවේ සිංහල සංගීතය පිළිබඳව දැනුම හසුරවන කතිකාවේ බහුතරය ට තාමත් එතරම් සමීප ඉසව්වකින් නෙමෙයි. එහෙමනං සුපුරුදු පරිදි ඒ ගීතයද ඇගයීම කාලය පිළිබඳව ප්‍රශ්නයක් විතරයි.

 

yo 5

 

විවිධාකාර සම්ප්‍රදායන් සංස්කෘතියෙන් ගුරුකුල ආකෘතීන් ආදිය ඒවාටම අනන්‍ය වූ ගමන් මාර්ග වල වැඩෙනවා ඒවා එකිනෙකාට කිසිදු තර්ජනයක් නොවේ කියන එක සිංහල කලාවේ අධිකාරී බලය හසුරවන්න කැමති බොහෝ කොටස් වලට ඉතාමත් පහසුවෙන් එන්නට පුළුවන් අදහසක් නෙමෙයි. විශේෂයෙන් විවිධ ජාතීන් සංස්කෘතීන් පවා එකලඟ ඉදීම එකිනෙකාට තර්ජනයක් කියලා උගන්වන දේශපාලනයක් තුළ.මෙය වෙනත් උදාහරණයකින් කියනවා නම් බොහෝ අය හිතන්නේ රැල්ල හෝ නල්ලතම්බි වැනි හාස්‍ය රංග ක්‍රියාකාරකම් මනමේ හෝ මරා-සාද් වැනි හොඳයි කියන නාට්‍ය කලාවට තර්ජනයක් බවයි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයක් වන අතර ලෝකයේ කිසිදු ප්‍රේක්ෂක අධ්‍යයනයකින් එවැනි කෘති එකිනෙකාට තර්ජනයක් වන බව තහවුරු වෙලා නෑ. මනමේ හෝ මරාසාද් නරඹන්නට පුරුදු වූ කිසිවෙක් ඒවා අතහැර රැල්ල හෝ නල්ල තම්බි නැරඹීමට නොයන අතර බොහෝ විට මේ දෙකට ඇත්තේ එකිනෙකා හමු නොවෙන ප්‍රේක්ෂකාගාර දෙකක්. එපමණක් නෙමෙයි සරල හාස්‍ය රංග ක්‍රියාකාරකම් හරහා රඟහල කරා එන නව ප්‍රේක්ෂකයින් හොඳයි කියන නාට්‍ය කලාවට ද ඇතුළුවීමට ඉඩ තියෙනවා. මැනිකේ මගේ හිතේ ගීතයේ ජනප්‍රියත්වය සහ ඒ වටා ඇති සමාජය ගොඩනැංවීම ශ්‍රී ලාංකික ගීත සංස්කෘතියට බොහෝ දේ එකතු කරනවා.

සිංහල කලා ක්ෂේත්‍රයන් වල මෙවැනි පටු අදහස් වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඒ වා විවිධාකාර සංස්කෘතීන් ශෛලීන් ආකෘතීන් වලින් සංකීර්ණවු පුළුල් වෙළඳපොලකට විවෘත වී නැති නිසාත් එවැනි පුළුල් වෙළෙඳපොළ සංස්කෘතියක ප්‍රතිලාභය ලබන්නට හුරුවී නැතිවීමත්ය. අවසානයේ මොන පාරෙන් බැලුවද යොහානිගෙ මැනිකේ මගේ හිතේ ගීතය ගිය ගමන ශ්‍රී ලාංකික ගීත කලාවට ආශිර්වාදයක් විනා ශාපයක් වීමට කිසිදු හේතුවක් සාධකයක් නැහැ.