වසංගතය නොතිබියේ නම් රෝමියෝ හා ජුලියට් දිවිනසා ගන්නේ නැත.

ජුලියට් , ඇගේ පියා විසින් පැරිස් කවුන්ට් වරයාට විවාහ කර දීම වැලැක්වීමට ලෝරන්ස් පාදිලිතැන යොදන උපාය නම් ඇයට නිදි බෙහෙතක් පානය කරන්නට දීමය. එය ජුලියට් පානය කළ පසු කැපියුලට් වරුන් සිතන්නේ ඈ මිය ගියා කියාය. තමාගේ උපාය ගැන දන්වා ලෝරන්ස් පියතුමා රටින් පිටුවහල් කොට ඉන්නා රෝමියෝට පණිවිඩයක් යවයි.

වෙරෝනා නගරයේ පැතිර ගිය වසංගතය නිසා සංචරණ සීමා හේතුවෙන් පණිවිඩ කරුවාට රොමියෝ ඉන්නා තැනට යාමට නොහැකි වෙයි. ඒ අතර වෙනත් කෙනෙකුගෙන් රෝමියෝට ආරංචි වන්නේ ජුලියට් මළ බවයි.

 

romeo 3

එය විශ්වාස කළ රෝමියෝ මැන්ටුවා නුවරින් පිටත් වන්නේ ඇපෝතිකරි ගෙන් වස කුප්පියක් ද රැගෙනයි.එසැනින් ජූලියට්ගේ නිසල සිරුර හොවා ඇති තැනට ඔහු පැමිණෙතත් ඔහුට මුලින් මුන ගැසෙන්නේ කවුන්ට් පැරිස් ය. ඔහු සටනකින් පැරිස් මරා දමයි. ඉක්බිතිව ජුලියට් ගේ සිරුර අසලට එන ඔහු වස පානය කොට මියයයි. පාදිලි ලෝරන්ස් එතනට එන්නේ ඉන් පසුවයි. සිහි ලබන ජුලියට් ලෝරන්ස් පාදිලිතැනගේ ආයාචනය නොතකා රෝමියෝගේ පිහිය ගෙන ඇණගෙන මිය යන්නීය.

 

romeo 4

සනාතන වෛරයේ ප්‍රතිඵල ඉගෙන ගෙන එකිනෙකාට සතුරුව සිටි කැපියුලට් හා මොන්ටේගුවරු ඉන්පසු සාමදාන වෙති. සංචරණ සීමා නොපැවතියේ නම් රෝමියෝ හට පණිවිඩය නිසි වෙලාවට ලැබෙන්නේය. එවිට ජුලියට් ඉන්නේ නිද්‍රාවක බැව් රොමියෝ දැනගන්නේය.

රොමියෝ ජුලියට් නාට්‍ය එංගලන්තයේ පළමුවෙන් රංග ගත කෙරෙන්නේ 1593 පැවති වසංගත රැල්ලෙන් අනතුරුව1594 රංග ශාලා විවෘත කිරීමෙන් අනතුරුවය. 1593 ලන්ඩන් නුවර පමණක් 10000 ක් දෙනා වසංගතයෙන් මිය ගියහ. ශේක්ස්පියර් රොමියෝ ජුලියට් නාට්‍යයේ වෙරෝනා නුවරට ආදේශ කරන්නේ එම අත් දැකීමයි. ශේක්ස්පියර් මෙම නාට්‍යයට මූලාශ්‍ර කර ගන්නේ ආතර් බෲක් 1562 ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ The Tragical History of Romeo and Juliet කාව්‍යයයි. එහි මුල් කෘතිය ඉතාලි විද්වතෙකු වන Francesco Petrarch ( 1304 – 1374 ) ලියූ ඉතාලි කාව්‍යකි.

 

romeo 2

මුල් කෘතියේ හෝ ආතර් බෲක් ගේ කාව්‍යයේ වසංගතයක් නැත. බෲක්ගේ කාව්‍යයේ රොමියෝ ජුලියට් කතාව මාස නවයක් පුරා විහිදේ, ශේක්ස්පියර්ගේ නාට්‍යයේ කතාවේ කාළය දින හතරකි.( පැය දෙකකදී රඟ දැක්වෙන්නේ දින හතරක සිදුවීම් ය). මෙම නාට්‍යයේ ග්‍රීක නට්‍ය වල මෙන් ගායක පිරිසක් සිටිති.

නාට්‍යාරම්භයේදී ගායක පිරිස කියන ගීතය මා පරිවර්තනය කළේ මෙසේය.

රෝමියේ

වෙරෝනාවේ, උනුන් වෛරී, - මානයෙන් එකිනෙකා පරයන

පෙළපත් දෙකක් ගැන රංගයක්,

එළන්නෙමු අපි අද පුරා කරළිය.

රුහිරෙන් නුවරුනගෙ - කිළිටි විය දෑත් උන්ගේම

වෛර සිඳින්නට නැගී හුන් කළ කුඩාවුන්.

මරුවෙස් දැරූ පිළිමළුන් මැද

කුරා තරු යුවලක් - කල් ගෙවූ එකිනෙකා කෙරේ සෙනෙහසින්.

මහවුන්ගෙ හටනින් සෙනේ සිත් කම්පිතව

ආදර මංපෙත භීතිය සළකුණූව

තරු යුවල මරු වැළඳ මිහිදන් වූ අයුරු

දෙහෝරාවක් රඟන්නට-සැරසෙමු රස නුසුන් කොට

අසන් ඒ පුවත

චිරාගත වෛර ගිනි ඇතොත් සිත නිවාලන අදිටනින්.

ශේක්ස්පියර් ගේ චේතනාව නිකම්ම ලව් කතාවක් ලිවීම නොවන බව ආරම්භක ගීතයෙන් ම පෙනේ.

@ සමන් පුෂ්ප ලියනගේ.

නවතම ලිපි