Life is beautiful සිනමාපටයේ ගුයිඩෝ යනු මා සිනමාව තුළ දුටු ශ්‍රේෂ්ඨතම සහ ආදරණීයම පියවරුන් අතරින් එක් අයෙකි.

ගුයිඩෝට ජීවිතයකටත් වඩා වටිනා සිනාවක් හිමි වී තිබුණි. එය ආදරණීය පියෙකුගේ සිනාවකි. සැබැවින්ම ගුයිඩෝගේ සිනාවක වටිනාකම කුඩා ජෝෂුවාගේ ජීවිතය විය. එනිසාම ඔහු අවසාන මොහොත දක්වාම ඒ සිනාව වියැකී යන්නට ඉඩතැබුවේ නැත.

දෙවන ලෝක යුද්ධයේ කුරිරු හස්තයේ බලපෑමත් සමග පැමිණි නොවැළැක්විය හැකි පිරිපත හමුවේ චංචල වී ගිය ද සිය කැළඹුණු මානසිකත්වය මුදාහැරීමට ගුයිඩෝට නොහැකි විය. ඒ තම කුඩා පුත්‍රයා නිසාවෙනි. ගුයිඩෝ බුද්ධිමත් විය. තීක්ෂණශීලී විය. තමා කැළඹීමට පත්ව දුරදිග නොබලා ක්‍රියාකළහොත් දෙදෙනාගේම ජීවිත අනතුරේ වැටෙන බව වටහාගත් ඔහු එළැඹී ඇති දරුණු අන්තරායකර තත්වය කුඩා ජෝෂුවාගෙන් වසන්කොට ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යොදාගත්තේ ය. කොතරම් දුෂ්කර අවස්ථාවකදී වුව ද සිය කුඩා පුතු සතුටින් මෙන්ම ආරක්ෂිතව සිටිනු දැකීම ඔහුට අවැසි විය. පියවරු එසේ වෙති.

නාඳුනන වැඩිහිටියන්ට මැදිව සිදුවන මේ ත්‍රාසජනක ක්‍රියාවලිය පිළිබඳව කුඩා ජෝෂුවා සිටියේ නොතිත් කුතුහලයෙනි. ඔහුට ගුයිඩෝගෙන් ඇසීමට ප්‍රශ්න රාශියක් විය. මාගේ ඉමහත් විස්මයට හේතුවෙමින් ඒ සියලු අවස්ථාවල ජෝෂුවා නැගූ සෑම පැනයක් සඳහාම පිළිතුරු ගුයිඩෝ සතු විය. බොහොමයක් දරුවන්ගේ ලෝකය තුළ "තාත්තා" වීරයෙකු බවට පත්වන්නේ ද ඔවුන්ගේ සෑම පැනයකටම පිළිතුරු ඔහු සතුව පවතින බැවිනි. එසේ පවතින්නේ යැයි ඔවුන් විශ්වාසකරන බැවිනි. මේ ලිපිය ලියනා මා ද එසේම ය. ඒ විශ්වාසය කඩවීමට පියවරුන් කිසිදා ඉඩ තබන්නේ නැත. නමුත් තාත්තලා දරුවන්ගේ ඒ පැනයන්ට විසඳුම් සොයාගෙන එන හැටි ගැන දරුවන් දැනගන්නේත්, අවබෝධ කරගන්නේත් ඊට බොහෝ කාලයකට පසුව ය.

 

තාත්තා 1

යුද්ධ ටැංකි උදෙසා සිය පුත්‍රයා තුළ වූ කැමැත්ත ඉතා උපක්‍රමශීලී ලෙස යොදාගත් ඔහු මෙකී බියකරු දුෂ්කර අවස්ථාව ක්‍රීඩාවක් බවට පරිවර්තනය කරගත්තේ ය. මුහුණදීමට සිදුවන සෑම අභියෝගයක් සහ දුෂ්කර අවස්ථාවක් සඳහාම ක්‍රීඩාව තුළ ලකුණු හිමිකරගන්නා ක්‍රමවේදයක් විය. ක්‍රීඩාව අවසානයේ හිමිවන ත්‍යාගය යුද්ධ ටැංකියකි. ඒ තරමටම සූක්ෂම ලෙස සිය නිර්මාණශීලී චින්තනය මෙහෙය වූ ගුයිඩෝ මෙම දුෂ්කර අවස්ථාවේ බියකරු බව සුපුරුදු සිනාව තුළ සඟවා කුඩා පුත්‍රයාගෙන් වසන් කිරීමට සමත් විය. නමුත් දිනෙන් දින ගෙවීයන සෑම අවිනිශ්චිත නිමේශයකදීම ගුයිඩෝගේ සිතේ කුමන අන්දමේ සිතුවිලි රජකරන්නට ඇතිද? ඒ පිළිබඳව මට කිසිසේත් සිතාගත නොහැකිය.

තාත්තා 7

ඔහු ජීවත්වූයේ තමා වෙනුවෙන් නොවේ. සිය ආදරණීය පුත්‍රයා වෙනුවෙනි. කුඩා ජෝෂුවා ද සිය ආදරණීය පියාගේ සිනාව මත විශ්වාසය තැබුවේ ය. එයම ඔහුගේ ජීවිතයේ ගැලවීම උදෙසා හේතු විය. සියල්ල දරුණු අතට පෙරළීමට ගතවන්නට තිබුණේ ඉතාමත් කුඩා නිමේශයක් පමණි. සැබැවින්ම මෙය අතුරේ යෑමක් වැනි ජීවිතය පරදුවට තබා යෙදිය යුතු ක්‍රීඩාවක් විය. නමුත් කුඩා ජෝෂුවා මේ කිසිවක් නොදත්තේ ය. ඔහු සිනාසෙමින් සිය පියා පවසන පරිදි ලකුණු එකතුකරමින් ජයග්‍රහණය වෙත පියනගමින් සිටියේ ය. තමා රැස්කරන ලකුණු ඔස්සේ තමාගේ ජීවිතය සුරැකෙන බවත්, එම ලකුණු රැස්කිරීම සඳහා දිනෙන් දින සිය පියා මරණය අබිමුවට යන බවත් සුරතල් ජෝෂුවා දැනසිටියේ නැත. දරුවන් වෙනුවෙන් කළ නොහැකි දෙයක් පියවරුන් හට තිබේ ද?

අපේ මව්වරුන්ගේ කඳුළු අපි නොයෙක් වර දැක ඇත්තෙමු. නමුත් පියවරුන්ගේ කඳුළු දැක ඇත්තේ කොපමණ අල්ප වාර ගණනකදී ද? ඇතැම්විට ජීවිත කාලය පුරාවටම නොදුටුවා වන්නට ද පුළුවන. ගුයිඩෝ තුළින් නිරූපණය වන්නේ එලෙස සිය පුත්‍ර ප්‍රේමය වෙනුවෙන් කඳුළු හද පතුලේම සඟවා ගත් සුවහසක් දයාබර පියවරුන්ගේ ප්‍රතිරූපය යි.

තාත්තා 2

වරක් සිර කඳවුරු ගොඩනැගිල්ල කරා යන මාර්ගය සොයාගත නොහැකි වූ ගුයිඩෝ තම උර මත නිදාසිටින ජෝෂුවා ද සමගින් මීදුමින් වැසීගත් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන්කරන අතර එම මාර්ගය අවසාන වන්නේ යුදෙව්වන්ගේ මළසිරුරුවලින් පිරුණු සමූහ මිනීවළකිනි. වහා තම සුරතල් පුතු ළයට තුරුළුකරගන්නා ගුයිඩෝ සුසුමක්වත් පිටවන්නට නොදී හද පතුලේම කඳුළු සිරකරගෙන නැවත කඳවුර වෙත පැමිණෙන අයුරු නරඹන්නන්ගේ සිත් තුළ ඇතිකරන්නේ ප්‍රබල කම්පනයකි. පියවරුන්ගේ කඳුළු අපට නොපෙනේ. ඒවා දකින්නට ඔවුන් අපට ඉඩතබන්නේ නැත. ඔවුහු සිය සුසුම්වල බර සිනාවක තවරා සඟවමින් ජීවිතයේ කිරුළ අප හිස් මත පළඳවති.

වරක් බුදුරජාණන්වහන්සේ අමතා සුද්ධෝදන රජතුමා පුත්‍ර ප්‍රේමය අරභයා මෙසේ පවසා ඇත.

"පුත්තපෙමං භනෙන ඡවිං ඡින්දති

ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති

චම්මං ඡෙත්වා මංසං ඡින්දති

මංසං ඡෙත්වා නහාරුං ඡින්දති

නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති

අටඨිං ඡෙත්වා අටඨිමිඤජං ආහච්ච තිට්ඨති"

"ස්වාමිනී, පුත්‍ර ප්‍රේමය තමන්ගේ උඩු හම සිඳගෙන මහ හම සිඳියි. සම සිඳගෙන මස සිඳියි. මස සිඳගෙන නහර සිඳියි. නහර සිඳගෙන ඇට සිඳියි. ඇට සිඳගෙන ඇට මිදුළු සිඳියි. එසේ ඇටමිඳුළු සිඳගෙන දරු පෙම උපදින්නේ ය"

මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිය සිංහබාහු නාට්‍යය තුළින් එය ගෙනහැර දක්වන්නේ මෙපරිද්දෙනි.

"පිතු සෙනේ මස් නහර හම සිඳ

ඇට සොයාගොස් ඇට තුළට වැද

ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා...."

Life is beautiful චිත්‍රපටය මෙය කොතරම් සනාතන දහමක් ද යන වග මට යළි යළිත් පසක් කරවූයේ හදවතේ සියුම් තැන් තදින් කම්පනය වූ බවට සාක්ෂි නෙත් මත ඉතිරිකරමිනි.

 

ාත්තා 8

අවසානයේ එම දවස උදාවිය. ගුයිඩෝට සිය ඉරණම් ගමන යෑමට සිදුවූයේ තමා දෙසට යොමු වූ සුරතල් කුඩා දෑසක් සැඟවී එදෙස බලාසිටියදී ය. ඒ මොහොතේ ද ජෝෂුවා අසීමිත ලෙස විශ්වාසය තැබූ අපූරු සිනහව ගුයිඩෝගේ මුහුණ මත සටහන් වී තිබුණි. ඒ සිනාව ජෝෂුවා වෙනුවෙනි. ඔහුගේ ජීවිතය වෙනුවෙනි. ප්‍රේමය පවතින්නේ මරණයට අත පෙවිය නොහැකි තරම් ඉතා දිගු දුරකිනි. පිය සෙනෙහසට අභියෝග කිරීමටත්, එය පරාජය කිරීමටත් මරණයට කිසිදා නොහැකිය. අවසාන මොහොතේදීත් ගුයිඩෝගේ මුහුණ මත ඇඳී තිබූ ඒ සිනාව මට අවබෝධ කළ යථාර්ථය එයම විය.

මැෂින් තුවක්කුවේ උණ්ඩ ඔහුගේ ළය පසාරුකරගෙන යන හඬ ඇසෙද්දී මට දැනුණේ ඒ උණ්ඩ විනිවිද ගියේ ගුයිඩෝගේ ළය නොව මාගේ ළය ලෙසිනි. එලෙස සිදුරු වූ ළයින් ගලා ආ රුධිරය කඳුළු බවට පත්වී නොනවත්වා මගේ නෙතින් ඇදහැලුණි. මැෂින් තුවක්කු හඬින් කම්පා වූයේ මගේ ළය පතුළේ ගැඹුරුම තැනක තැන්පත් වී ඇති මනුෂ්‍යත්වයේ ආත්මය යි. ඒ අවසාන මොහොතේ ගුයිඩෝගේ සිතට කුමන අන්දමේ සිතුවිලි නැගුණේදැයි සිතන්නට මම කිසිවිටෙකත් උත්සහ නොකරමි. මන්ද ඒ සිතුවිලි සියල්ල මගේ හදවතේ දරාගැනීමේ සීමාවෙන් ඔබ්බෙහි පවතින බැවිනි. පියෙකුගේ හද ගැහෙන හඬ නිහඬ කිරීමට තමාට හැකි වුව ද පියෙකුගේ හදවතත්, සෙනෙහසත් මරාදැමීමට කිසිදා නොහැකි බව ඒ මැෂින් තුවක්කුව කිසිවිට දැන නොසිටින්නට ඇත.

තාත්තා 4

මගේ ජීවිතය තුළ මා දුටු ශ්‍රේෂ්ඨතම සහ ආදරණීයම පියවරුන් අතරින් එක් අයෙකු මට හමුවන්නේ Life is beautiful සිනමාපටය තුළ දී ය. මාලනී ජයරත්නගේ පන්හිඳෙන් අකුරු වී, ටී. එම්. ජයරත්නයන්ගේ හඬින්

"රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී"

යනුවෙන් ගැයෙන්නේ ගුයිඩෝ වන් පියවරුන් පිළිබඳව ය. සැබැවින්ම ඒ සෙනෙහසට කව් ගී ලියැවුණා මදිය. එය කිසිසේත් වදනින් කියා නිමකළ නොහැකි සුවිසල් ප්‍රේමයකි. ජෝෂුවාගේ ජීවිතය ඒ ශ්‍රේෂ්ඨ පියාගේ අසහාය ජීවිත පරිත්‍යාගයේ ප්‍රතිඵලයකි.

අවසානයේ කුඩා ජෝෂුවා සාර්ථක ලෙස ක්‍රීඩාව නිමකළේ ය. ගුයිඩෝ ඒ මොහොතේ කොහේ හෝ හිඳ ඔහු දෙස බලාහිඳිමින් සැනසුම් සුසුමින් පිරීගිය හදවතින් යුතුව සතුටු කඳුළු හෙලන්නට ඇත.

රත්න ශ්‍රී විජේසිංහයන් සිය "වංකගිරියට මාරුවීම" පද්‍යයේදී මෙසේ සඳහන් කර ඇත.

 

ාත්තා 5

"බුදුවෙන්න ඕන නුඹලා

මට නිවන් මග කියල්ලා"

මේ ප්‍රාර්ථනාව පියෙකුගේ මුවට නැගෙන්නේ සිය දරුපවුල වෙනුවෙනි. ඒ දෙපදය තුළ කැටි වී ඇත්තේ සුවහසක් පියවරුන්ගේ හදවතේ ගැඹුරේම තැන්පත් වී ඇති ඒකායන ප්‍රාර්ථනය යි. ඔවුන් සියලු කැපකිරීම් කරන්නේ ද ඒ වෙනුවෙනි. එහෙත් ඔවුහු කිසිදා ඒ බව මුවින් නොපවසති. තම බත්පතේ ඇති වඩාත් රසවත්ම ආහාර කොටසේ සිට පියවරුන් සතු හොඳම දේ වෙන්වන්නේ දරුවන් වෙනුවෙනි.

ඉතින් තාත්තලා කිසිදා මියයන්නේ හෝ පහසුවෙන් නිවන් දකින්නේ නැත. ඔවුන් නිවනට යන්නේ ද දරුවන්ගේ මුවගේ මැවෙන හසරැලි දෙස නෙත් හෙළමිනි.

මේ කියැවෙන්නේ ගුයිඩෝ පිළිබඳව පමණක් නොවේ. මේ ඔබේත් මගේත් "තාත්තා" ය.

"තාත්තා" යනු රුධිරයට සීමා වූ බන්ධනයක් පමණක් නොවේ. එය ඉන් බොහෝ ඔබ්බෙහි පවතින්නකි.

ඔහු ඔබේ ලෝකයේ ප්‍රථම රසිකයා ය.

ඔහු ඔබේ ලෝකයේ ප්‍රථම වීරයා ය.

ඇතැම්විට ඔහු ඔබේ ප්‍රථම හාදුව ද විය හැකි ය.

 

ත්තා 3

ඒ ප්‍රේමය ආරම්භ වී ඇත්තේ ඔබ මෙලොව එළිය දකින්නටත් පෙර සිටම ය. ඔහුට "තාත්තා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ලැබීම ඔබ ඔබේ ජීවිතයේ ලද විශාලම සහ අගනාම වරප්‍රසාදවලින් එකකි.

ගතවන කිසිදු නිමේෂයක් නැවත ආපසු උදාවන්නේවත්, ගෙන්වාගත හැකි වන්නේවත් නැත. ඉතින් අප අපේ "තාත්තා" ද මගහැරගත යුතු නොවන්නේ ද ඒ නිසාම ය.

හංසිනී කවින්දි

(20.06.2021)

(පියවරුන්ගේ දිනය වෙනුවෙන් තැබූ සටහනකි.

https://m.youtube.com/watch?v=XFxWvz_W0Xg

නවතම ලිපි