සුගතපාල සෙනරත් යාපා කුළුදුලේම සෙලියුලයිඩ් පටයකට කියා නගන්නේ 1960 දශකයේ අග භාගය තුළ පේරාදෙණිය ගුරුකුලයේ වෙසෙන තුරුණු විද්‍යාර්ථයන්ගේ යොවුන් දිවියේ පැතිකඩකි.

එහෙත් 1960 දශකයේ සරසවි ප්‍රජාව, මෙදවස සරසවි ප්‍රජාව හා සැසඳීම උචිත ක්‍රියාවක් නම් නොවේ. නමුත් ලාංකේය සිනමාවේදී සරසවි සිසු ප්‍රජාව ම ඉලක්ක වූ පළමු අවස්ථාව වන්නේ ‘හන්තානේ කතාව’ යි. යාපා විසින් මෙසේ හසුකරගන්නා පේරාදෙණිය ගුරුකුලයේ එදා පැවති සොඳුරුබව නම් අද දක්නට නොලැබෙයි.

hanthane 4

කාලය ගෙවී ගොසිනි. බොහෝ දේවල් වෙනස් ව ඇත. බොත්තම් ඔබන ජංගම දුරකථනයේ සිට ස්මාර්ට් දුරකථනය දක්වා දුරකථනය සුහුරු, නූතන තාරුණ්‍ය අසහනය අද වල් වැදී ගොසිනි. එදා සුගතපාල සෙනරත් යාපා පේරාදෙණිය ගුරුකුලයේ ශිෂ්‍යන්ගෙන් දුටුවේ ‘ප්‍රේමය, රාගය, සන්තාපය, ඊර්ෂ්‍යාව, පශ්චාත්තාපය, අපේක්ෂාභංගත්වය’ ආදි හේතු නිසා පීඩාවට පත් වු ආකාරයයි.

හන්තානේ කතාවට පසුබිම් වන සරසවිය එහෙම පිටින් ම තාරුණ්‍යයේ නිරූපණයකි. බැලු බැලු අත හීලෑ නොවු මුරණ්ඩු තරුණ චරිත ය. ඔවුනොවුන් අතර දෘඩතර සබඳතා ය; ප්‍රතිවිරෝධතා ය; ගැටුම් ය. සිසුන් අතර පන්තිවල වෙනස්කම් යාපාට හසු නොවුනාම නොවේ. එහෙත් ඔහු තැත් කරන්නේ චරිත කේන්ද්‍රීය හැසිරීමක් ම පිළිබිඹු කරන්නට ය.

 

yapa

ප්‍රධාන චරිත ත්‍රිත්වය එකිනෙකට වෙනස් අන්දමින් හඳුන්වාදීම ‘හන්තානේ කතාව’ වියුක්ත චරිත අන්තර්ගත සිනමා පටයක් නොවෙනු සඳහා සුගතපාල සෙනරත් යාපා දැක් වූ කැමැත්ත කියාපාන්නකි. දුර බැහැර ගම්බද පරිසරයක සිට පේරාදෙණිය සරසවියට බට අනුර නම් සිසුවා ස්වකීය කල්පනා ලෝකයේම නිහඬ චරිතයකි. රස්තියාදුකාරී ව්‍යවහාර ලෝකයේ ගතික චර්යා ඔහුට ආගන්තුක ය. ඔහුට විශ්වවිද්‍යාල සමාජයට අනුගතවන්නට නොහැකියාවෙන් පෙළෙයි. ගමේ සිට සරසවියට පැමිණෙන අනුර ඔහුට වඩා වෙනස්ම වූ චර්යා රටාවන් ගෙන් යුක්ත සුභද්‍රා (ස්වර්ණා) සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගනියි. සුභද්‍රා යනු සියල්ල සැහැල්ලුවෙන් සිතන පතන තරුණියකි.

එහෙත් අනුරට නියමාකාරයෙන් අලුත් සමාජයට හැඩ ගැසීමට නොහැකි වීමෙන් තමා හා එක්ව වසන සරසවි මිතුරන් ගේ මෙන්ම පෙම්වතිගේද විහිළුවට ලක් වන්නට සිදුවෙයි. සුභද්‍රා අනුර සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියද අනුරට වඩා සමාජයේ ක්‍රියාශීලි වූ බන්දු (විජය) සම්බන්ධයෙන් ද කැමැත්තක් පවතී. පෙම්වතුන් දෙපළකට හෝ වේවා, අඹු සැමියන් දෙපළකට හෝ වේවා තෙවන පාර්ශවයකගේ මැදිහත් වීමෙන් සිදුවන මහා අනර්ථකාරි සිදුවීමක් පිළිබඳ ව යාපා විසින් සිනමාරූපිව රචනා කර තිබෙනවා. මෙම රචනයේ නම " හන්තානේ කතාව " ය. චුල්ලධනුද්ධර ජාතකයේ කුමාරයාට කඩුව නොදී කුමරිය විසින් සොරාට කඩුව දුන් බව අප අසා තිබෙනවා. 

දස්කොන් විසින් ප්‍රමිලා දේවිය වෙනුවෙන් දිවි පුදන්නේ ද ෂාක් ලැකාන්ට අනුව ස්ත්‍රිය යනු පුරුෂයාගේ ෆැන්ටසිය නිසා ය. නමුත් යාපාගේ චිත්‍රපටය මෙන් කතාන්දරයක් මින් පෙර අසා නොමැත. "හන්තානේ කතාව" දුඛාන්තයකින් කෙළවර නොවන්නේ ය. නුතන සමාජයේ මෙන් සුභද්‍රාට බන්දුවත්, අනුරවත් ඇණකොටා නොගනී. යාපා විසින් ඉතා සියුම් ව මේ කතා පුවත තුළින් අවිඥානික ආශාවේ තැන්පත් වී ඇති රාගික සිතුවිල්ල අපූරුවට ලෙහනවා. 

 

hanthane 7 

ජාතක කතාවේ දී කුමරු අතැර සොර නායකයාට ආසක්ත වූ කුමරිය යම් සේද, බන්දු කෙරෙහි අවසානයේ සුභද්‍රා ප්‍රේමයෙන් ආසක්තව අනුරගේ ප්‍රේමය දියාරුවට පත්වෙයි. සරත්චන්ද්‍රයන් විසින් මනමේ නාට්‍යයේ ද එක් තැනෙක මෙසේ දක්වයි. 

"මනමේ රජු ඔබ - ගෙල සිද ලන්ටා කඩුව ඉල්ලූ සද ඔහු වළකන්ටා කල තැත දුටුවද - ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා"

මිනිස් ආශාවන් විටෙක පුදුමාකාර ය. විටෙක බලෙන් මෙන් සීමාවන් තරකරගන්නට සිදු වෙයි. ජීවිතයෙන් පළා යා නොහැකි ය. මරණයෙන් කෙළවරකර ගන්නට නොතිබෙන දේ යාපා ඉවසිලිමත්කම පෙරට තබා අපුරුවට පෙන්වා දෙයි. 

එහෙත් චිත්‍රපටය පුරා දිවෙන කතාවට අනුව අවසානයේ දී ආධ්‍යාත්මික ලෙසින් පරාජයට පත් වන්නේ අනුරය. කෙසේ වෙතත් මෙකී සංස්කෘතිය තුළ සිදුවන වෙනස්වීම් හා අනුගත වෙමින් ඒ හා තම ජීවන රටාව ගෙන යාම තරම් නුවණක් අනුරට තිබුණේ නැත. යාපා සිනමාපටය නිමා කරන්නේ ඔහු ව්‍යවහාර ලෝකය හා එක් වන බව ඉඟි කරමිනි.

හන්තානේ කතාවෙහි ආකෘතිය විදේශ සිනමා ආභාසයක් පෙන්නුම් කරයි. ‘රෂොමාන්’, ‘නයිෆ් ඉන් ද වෝටර්’ වැනි විශිෂ්ට සිනමාපට සතු ශිල්ප විධි කෙරෙහි තමාගේ සිත ඇදී ගිය බව අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා ප්‍රකාශ කළේය. ඔහු උපයෝගී කරගත් යතුර වූයේ සරසවිය හා ප්‍රේමයයි. කෙනෙකුට මෙය හුදු ප්‍රේම කතාවක් ලෙසින් නොසිතා ත්‍රිකෝණාකාර ප්‍රේමයක් ලෙසින් දකින්නට වුවමනාවක් තිබුණද සැබැවින් ම නිර්මාණවේදියාට අවශ්‍යව තිබුණේ විශ්ව විද්‍යාල ජීවිතය තුළ පවතින සියලුම ක්‍රියාකාරකම් සහ අංගෝපාංග සමගින් මේ සිනමාකරණය තුළින් සාකච්ඡාවට ලක් විය හැකි ලෙස සමාජයට ඉදිරිපත් කිරීමයි.

rashoman

කෙසේ වෙතත් හැටේ දශකයේ දී සිනමාවට අවතීර්ණ වූ සුගතපාල සෙනරත් යාපා තරුණ තරුණියන් මුහුණ දුන් ගැටලු සාකච්ඡා කොට බඳුන් කිරීමට උත්සාහ ගත්තද ඉන් තවත් අතුරු කතාවකට පදනම වැටිණි. ඒ සිනමාවට මෙන්ම කලා ක්ෂේත්‍රයට ද නවක පිරිසකගේ ආගමනය සිදු වීමයි. එදා එසේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් කරළියට පැමිණි නවකයන් අතර විජය කුමාරතුංග ,දයා තෙන්නකෝන්, එඩ්මන්ඩ් ජයසිංහ, සමන්ත ලැනරෝල්, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, ධර්මසිරි පතිරාජ, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර, විජය ධර්ම ශ්‍රී ඒ අතරින් කිහිප දෙනෙකි.

hanthane 3

එමෙන්ම විශ්වවිද්‍යාල ජීවිතය තුළ ආදරය බොහෝවිට යම් යම් තැන්වලදී ඉතා ලාභ දායක ය. පෙම්වතකු පෙම්වතියක සිටිය යුතු හෙයින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනියි. සුභද්‍රාගේ ප්‍රේමය වැනි ප්‍රේමයන් අද දවසේ ද සරසවියෙන් සොයා ගැනීම සුලබ කරුණකි. එසේම අනුරලාද බන්දුලාද එදා පේරාදෙණිය ගුරුකුලයේ පැවතුණ බාහිර ක්‍රියාකාරකම් ද අඩු වැඩි වශයෙන් මෙකී උප සංස්කෘතිය තුළ තවමත් නිදන්ගතව තිබේ. නමුත් විද්‍යාර්ථයන්ගේ අධ්‍යාපනික ක්‍රියාකලාපය, විචාරක බුද්ධිය තවමත් එකතැන පල්වෙමින් එය එසේම පවතී.

යාපා මෙලෙස 'හන්තානේ කතාව' හරහා පෙන්වනු ලැබුවේ විශ්වවිද්‍යාලයීය ජීවිතයෙන් පෙත්තකි. යාපාගේ තාරුණ්‍ය සිනමාව තුළින් ලබාදුන් ජීවිත විවරණය අපුරු ය. විශිෂ්ට ය. වසර 52 ඉකුත් වුවත් නුතන පරම්පරාවට ද සමකාලීන සිනමාවේ සර්වකාලීන ගුණයෙන් හෙබි විශිෂ්ට නිර්මාණයෙක් බව අවිවාදයෙන් පැවසිය යුතුම ය.

මලින්ත විතානගේ

නවතම ලිපි