සාහිත්‍ය නිර්මාණයක් ඓතිහාසික ප්‍රබන්ධයක් වූ කල ඊට පාදක වූ ඒ ඓතිහාසික යථාව ම සමකාලීන සමාජ දේශපාලන යථාර්ථය හා සමපාත වේනම්

එහි අන්තර් පඨිතය හරහා යම් විචාරාත්මක කියවීමකට එලඹීමට පාඨකයාට අවකාශය සැලසේ.මන්ද යත්, ඒ සමගම ඒ කතුවරයා හෝ කතුවරියගේ පරිකල්පනය සහ දෘෂ්ටිමය එලඹුම් සාකච්ඡාවට ගැනීමට පාඨකයා පෙලඹෙන බැවිනි .තවද,ඒ කෘතිය ම ඓතිහාසික අධ්‍යයනයකට මග පාදන කෘතියක්නම් එකී කියවීම් හරහා වුවද විචාරයට විවර වන පිවිසුම් දොරටු තවත් වැඩි වේ.සේපාලි මායාදුන්නේගේ 'හින් දොස් මාලේ' එබඳු පර්‍යේෂණාත්මක අධ්‍යයනයකට වුව ද මග පාදන ඓතිහාසික නව කථාවකි.

වන්නි හත්පත්තුවේ නිලමක්කාරයින්, ඒ පළාතට අරක් ගත් දෙවි දේවතාවුන් හෝ යක්ෂයින්ට නතු ව සිය අනන්‍යතාව පවා අහිමි වූ සාමාන්‍ය වැව් ගම් වාසීන් මුහුණ දෙන ව්‍යසනය කියා පාන මේ මාල කාව්‍යය කියවත්ම අපට දැනෙන හැඟීම් දැනීම් හෙවත් සියලු ආවේදනයන් අපට අපේ වර්තමානය සේම අතීත සමාජය පිළිබඳව ද කිසියම් තිගැස්මක් ඇති කරවයි.අපි අපේම අතිත හෘදය සාක්ෂියට ළං වී ඒ ඉතිහාස කතාව වර්තමානයෙන් කියවා ගැනීමට නිතැතින්ම පෙලඹෙනුයේ මේ කෘතියේ තැනින් තැන මතු වන එබඳු අන්තරාවලෝකනයන් නිසා ය.මේ දිගු නව කථාවේ ආරම්භයේ පටන් ම අපි එකී ස්වයං සංවාදයට එලඹෙන්නෙමු.එහෙත් පුදුමය වනුයේ මේ ඉතා දිගු නව කථාව( පිටු 495) කියවා හමාර වූ පසුව ද අපි ඒ ස්වයං සංවාදයේම දිගුවකට එලඹීමයි. මේ පොත කියවා ගැනීමට ගත් තැතට වැඩි බරක් දැනෙනුයේ එය කියවා හමාර වූ පසුව ය.ඊට හේතුව මේ කෘතිය හරහා අප කියවා ගැනීමට තැත් කළ එකී ඓතිහාසික ප්‍රපංචය ම අද්‍යතන සමාජ දේශපාලනික අර්ථයෙන් කියවා ගැනීම නිසා ඇති වූ යම් ආවේශනයක් ද ,නොඑසේනම් මෙහිලා මේ කතුවරියගේ වෙසෙස් ප්‍රයාමය පිළිබඳ හද උපන් යම් හැඟීම් සමුදායක්දැයි හරිහැටි පැහැදිලි නැත.ඒ කුමක් වුව ඒ බරින් යම් පමණකට හෝ සැහැල්ලු වනු වස් මේ අසම්පූර්ණ සටහන ඔබ හා බෙදා ගනිමි.

ඓතිහාසික ප්‍රස්තුතයක් අළලා ලියන මේ ප්‍රබන්ධයේ මූලික අභිප්‍රාය එකී ඉතිහාස කතාව පරිකල්පනය , ආඛ්‍යානය, චරිත, අවස්ථා, සිදුවීම් භාෂාව යනාදියේ ඉදිරිපත් කිරීමේ කාර්යය පමණක්නම් එහි ඇති විශේෂයක් නැත.ඒ හුදෙක් තවත් ඓතිහාසික ප්‍රබන්ධයක් පමණි. එහෙත් මේ කතුවරිය එකී මූලික අභිප්‍රාය අබිබවා යමින් ඒ හරහා යම් ප්‍රබල කතිකාවකට ඉඩ පාදයි.

ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවන් වහන්සේගේ අන්තංපුරයට ජම්බුද්වීපයෙන් වැඩමවා ගත් ක්ෂත්‍රීය කුමාරිකාවන් සිවු දෙනා පිළිබඳ විස්තරයෙන් කතාව ඇරඹෙයි. වේලාපත්කඩ පරීක්ෂාවේදි ඔවුන්ගෙන් වඩා රූපත් කුමරියගේ වේලාපත්කඩයෙන් රජුටත්, කන්ද උඩරට චක්‍රවර්තී රාජධානියටත් නුගුණ අපල ගෙන දෙන බව කියැවේ. ඒ අනුව රජු ඒ නොගැළපෙන කුමරිය පෙරළා සිය රට යවා අනික් තිදෙනා අන්තංපුරයට භාර ගනියි.

යන අතරමග නවතා ගත් ඒ කුමරිය පාවා ගනුයේ වන්නි හත්පත්තුවේ බද්දරාළ නිලමක්කාරයා ය. එතැන් පටන් මේ කතාව විකාශනය වනුයේ ඒ වැව් ගම් පළාත්වල ඇත්තන්ගේ ජීවිත විනාශය කරා යවමින් බල ලෝභීව ,කාම තෘෂ්ණාවෙන් සහ වස්තු තණ්හාවෙන් මෙන්ම තාන්න මාන්න , වංශ කුල පරම්පරා පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කරන රජ කුල පරම්පරා ප්‍රමුඛ ඒ ඒ ගම් පළාත් පාලනය කරන අවශේෂ කුලවතුන්ගේ නිල නොනිල "රාජකාරි”  විස්තර සමග ය.

කතුවරිය එහිදී ඊට බලපෑ සැබෑ ඓතිහාසික යථාව ද පසුබිම් කර ගනිමින් එකී ප්‍රභූ ඉතිහාසය සහ එහි කර්කශ ස්වභාවය මැනැවින් පිළිබිඹු කරයි.එවකට මේ වන්නි හත්පත්තුවේ සමාජ දේශපාලනික සන්දර්භය පදනම් කර ගත් කුල ධුරාවලියත් අතීත වැඩවසම් සමාජ ව්‍යූහයත් ගෙඩි පිටින් පෙන්වන ඒ රළු පාලක පෙළැන්තියේ හැසිරීම් මෙයින් හෙළිදරව් වේ. බද්දරාළ වැනි නිලමක්කාරයින් ඉඩම් හිමියන් ලෙසත් වැව් ගම්වල ජීවත් වන අහිංසක ජනතාව 'ගම් වැද්දන් 'වහලුන් හෝ ප්‍රවේණි දාසයින් ලෙසත් සැකසුණු ඒ අමානුෂික පාලනයේ ඇතැම් ශේෂයන් එදාට වඩා වෙනස් මුහුණුවරකින් අදත් අප අතර පවතී. හින් දොස් මාලේ හරහා අප කියවා ගත් යටි පෙළෙහි ඇත්තේ එබඳු අත්දැකීම් ය.මේ කෘතිය කියවන පාඨකයා මෙබඳු වේදයිතයන් රැසකින් හා බහු විධ අරුතින් මෙහි එන චරිත සහ සිදුවීම් කියවා ගැනීමට පෙලඹෙයි.මේ පහත දැක්වෙනුයේ පාඨක අප කියවා ගන්නා එබඳු අවස්ථා කීපයකි.

  • රාජ්‍යත්වය, ප්‍රභූත්වය සහ එකී ප්‍රභූත්වය හෝ රාජ්‍යත්වයේ ම හුදෙක් පෞද්ගලික වුවමනා එපාකම් යටත් වැසියන් සේම රටේ පාලනය කෙරෙහි තීරණාත්මක බලපෑම් කරන ආකාරය පිළිබඳ දැනෙන උත්ප්‍රාසය.
  • බල තණ්හාව..කාම තණ්හාව ,වස්තු තණ්හාව ආදියෙන් අහිංසක වැසියන් පීඩාවට පත් කරන පාලකයින් සහ ඔවුන්ගේ නින්දිත පාලනය
  • රාජ වංශික කුමාරිකාවන්යැයි කියා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ළාබාල තරුණියන් පිළිබඳ සැබෑ තත්වය.( අතිශය උත්ප්‍රාසවත් ය.
  • අමානුෂික ලෙස සූරා කෑමට ලක් වන සාමාන්‍ය ගම් වාසීන්ගේ ශ්‍රමය, වස්තු සම්පත් සහ භව භෝග අස්වැන්න සේම ඔවුන්ගේ මානුෂීය අයිතීන්, (ලිංගික සූරාකෑම් ඇතුළු)
  • ජීවත් වීමේ මූලික අයිතිය පවා අහිමි කර ගත් ඒ ගම් වාසීන්ගේ ජීවිත, අභිරහස් මනුෂ්‍ය ඝාතන.
  • මිථ්‍යාව සහ දේව ඇදහිලි නිසා තවත් අසරණ වූ මේ සාමාන්‍ය මිනිසුන්ගේ ඛේදවාචකය.
  • ළාබාල දැරියන් වියපත් පිරිමිත්ගේ අඹු කමට පාවා දීම් ඇතුළු මේ රාජ පාක්ෂික නිලමක්කාරයින්ගේ මනදොළ සපුරාලනු වස් ගම් වැසි තරුණ ස්ත්‍රීන් ලිංගික අපයෝජනයට ලක් වන ආකාරය ( ස්ත්‍රිත්වය, පොදුවේ ලිංගිකත්වය )
  • අල්ලස,අසාධාරණ බදු අය කිරීම් ,සොරා කෑම් වැනි දූෂිත තත්වයන් සහ අසාධාරණ අයුතු දඬුවම්
  • එවක වන්නි හත්පත්තුවේ වැසියන්ගේ ජීවන තතු,ඇවතුම් පැවතුම් ,ඇදහිලි විශ්වාස සහ මිනිස් සබඳතා.

ඒ සියලු හැලහැප්පීම් මැද්දේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගත් දුගී දුප්පත් රජ කුල කුමරියන් වගේම උන්ගේ නෑකම් කියාගෙන මෙහි ගොඩ බැස්ස කල්ලක්කෝලම් රජු ඇතුළු දඹදිව වාසීන්ගෙන් මේ රටේ සිදු වූ විවිධ විප්‍රකාරයන්, සමාජ විපරිණාමයන් සේම ඇදහිලි විශ්වාස වගේම ආවාහ විවාහ යනාදියේ බලපෑමෙන් මේ සමාජ මූලයන් වාර්ගිකත්වයෙන් පවා ජාතියෙන්,කුලයෙන් මිශ්‍ර වූ ආකාරය මෙයින් අනාවරණය වේ.කතුවරිය ඒ ගැන වචනයක්වත් නොකියයි එහෙත් එපමණකින් මතු නොව මෙරටට ගොඩ බසින මුස්ලමානු වෙළෙඳ ප්‍රභවයන්ගෙන් මෙහි පැළපදියම් වන මුස්ලිම් ජනතාව ද මේ සමාජයේ ම මිශ්‍රිත වාර්ගිකත්වය නියෝජනය කරයි.මේ කතාවේ එන උණ්ඩියාගේ එක් සොයුරියක් මුස්ලිම් ගමේ තරුණයෙකු හා යයි.ඉන්දියාවෙන් ආ අය ද මේ ගම්වාසි තරුණියන් සහේට ගනිත්.

"අපට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබේ" අපේ "ජාතියේ පාරිශුද්ධත්වය "හෝ 'අභිමානය' ගැන කතා කරද්දී ඉතිහාසය පිළිබඳ මතු වන යට කී ජනප්‍රිය කතිකාවට එපිටින් ගිය ගැඹුරු දේශපාලනික කතිකාවකට මේ කෘතිය අපට ආරාධනා කරන්නාක් වැන්න.

"අමිශ්‍ර ජාතියක්" හෝ "ජාතියේ පාරිශුද්ධත්වය", කුලය සහ කුල ධුරාවලිය පිළිබඳ දෘෂ්ටිවාදී ආකල්ප විකල්ප අතර. යටකී සමාජ සම්මිශ්‍රණයට බලපෑ ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනයකට වුව මේ කතාවෙන් මතු වන උත්ප්‍රාසය බලවත්ය.අනික් අතට "ඉතිහාසය නැවත සිදු වෙමින් පවතී" යන ප්‍රකට සංකල්පය අනුව මේ කතාවේ යට කී ඇතැම් සංසිද්ධීන් සමකාලීන සමාජ දේශපාලනික අත්දැකීම් හරහා අන්තරාවලෝකනය කර ගැනීමට ද පාඨකයාට අවස්ථාව සැලසේ.

" මං දුනුකාර මුදියන්සේලාගේ උණ්ඩියා ය. මගෙ අප්පුච්චා දුනුකාර මුදියන්සේලාගේ ඩිංගිරියා ය."

උණ්ඩියාගේ දෘෂ්ටි කෝණයෙන් කියැවෙන කතාවක් ද ,ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියාගෙන යන කතාවක් ද මිශ්‍ර වූ මේ ආඛ්‍යාන ශෛලිය ද කතාව කියවා ගැනීම පහසු කරවයි.උණ්ඩියා යනු ගම් වැදි තරුණයෙකි."බයියා"නමින් නම් කළ පරිච්චේදයකින් ඔහුගේ කතාව ඇරඹෙයි.

චරිත

උණ්ඩියා ,ඔහුගේ මව කිරි උක්කු,වැව් ගම් තුලානේ සෙසු වැසියන් සේම බද්දරාළ වලව්වේ වංශවතී මැණිකේ , වාසනාහාමි මැණිකේ වැනි චරිත ද බද්දරාල උන්නාන්සේගේ ආධිපත්‍යය හරහා නවකථාවේ වැදගත් ඉසව් ආවරණය කරයි.කතාවේ ආරම්භයේ දීම කියැවෙන දුනුකාර පරම්පරාවේ ඉතිහාස කතාව ද දේශපාලනික ව කියවා ගත හැකි ප්‍රබල අවස්ථාවකි .කන්ද උඩරට මහ අදිකාරමගේ කුමාරිහාමිගේ පෙම් පළහිලව්වක් නිසා අවසානයේදී දුනුකාර පරම්පරාවේ ඇත්තන්ට රට ගම අතැර එන්නට සිදු වූයේ කෙසේද ? මුදියන්සේලා "ගං වැද්දන්' වූයේ කවරාකාර ඉරණමකින් ද? ඒ කුල පරම්පරාවන් පවා එකින් එකට මිශ්‍ර වූයේ කෙසේද ??මෙබඳු ප්‍රශ්න අතර ස්වයං සංවාදයකට එලඹීමට පාඨකයාට ලැබෙන අවස්ථාව කතාව කියවාගෙන යෑමට ද පෙලඹීමක් ඇති කරයි.

'පෙරහැර "සහ උපයුක්ත භාෂාව

"පළාත ම ඇට අන්ධකාරේ ය. ඉර පායන වගක්වත් පොළොව දැනගෙන ඉන්ඩත් නැත...."

සේපාලි මායාදුන්නේ කාව්‍යාත්මක බසකින් ද,ප්‍රාදේශීය ජන වහරෙන් ද, ව්‍යක්ත භාෂා ලතාවෙන් ද පොහොසත්ව විටෙක වක්‍රෝක්තියෙන් ද ,තව තැනෙක කදිම උත්ප්‍රාසයෙන් ද ,සංකේත, උපමා රූපකාලංකාර,ධ්වන්‍යාලංකාරයෙන් ද, භාෂාවේ සොඳුරු රිද්මයෙන් ද මැනැවින් වැඩ ගැනීමට සමත් ලේඛිකාවකි.

ඇගේ බසෙහි හැඩ රුව වෙනම කතා කළ යුතු මාතෘකාවකි

මේ නවකථාව අග සිට මුල දක්වා ම එන "පෙරහැර " සංකේතාත්මක ව කියවා ගත යුතු ප්‍රබල රූපකයකි..මෙහි තීරණාත්මක සිදු වීම් බොහොමයක "ඉඟි අරුත්" සැපයෙනුයේ පෙරහැරකිනි. පෙරහැරක් විලාසයෙන් එන්නේම විනාශයකි. (ඒ නම් විටෙක " ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ" අසිරියෙන් වසර පහෙන් පහට අද,මේ අප අත් විඳින මහජන ඡන්දය වැනිම පෙරහැරකැයි වරෙක මට නිකමට සිතිණ)

අධ්‍යයනශීලීව මෙය කියවා ගනු රිසි අයෙකුට මේ නවකථාවේ තථ්‍ය කාල අවකාශය සැලකිල්ලට ගෙන අවැසිනම් ඒ පිළිබඳ වෙනම විමසුමක් වුව කළ හැකිය.

තවත් කිව යුතු බොහෝ දෑ ඇතත් පොත හා මගේ ඒ ස්වයං සංවාදය තවම නිම නැත.ඒ නිසා පොත කියවා අපි එකිනෙකා අතර සංවාදයට ද තව කල් වැඩිය.එහෙත් කිව යුතු තව දෙයක් ඇත.

සංස්කරණය

එනම්; මේ නවකථාව සංස්කරණය වුණානම් අතිශයින් ම ප්‍රබල කෘතියකි.කතාවේ දීර්ඝත්වය විටෙක පාඨකයාට වෙහෙසකි. අනික් අතට මෙය එබඳු සංස්කරණයක් තරයේ ම ඉල්ලා සිටින කෘතියකි.තවද,කතාවේ අවසානය පිළිබඳව ද යම් යම් යෝජනා තිබේ. අවසානයේදී උණ්ඩියා එකා ජම්බුද්වීපයෙන් මෙහි වැඩමවා ගත් වාසනාහාමි මැණිකේ තම පැළට ගෙන එන්නේය. ඒ ද අන්ත අසරණව මියෙන්නට පණ අදින පරංචි රෝගියෙකු ලෙසය. කතාවේ කූඨප්‍රාප්තිය ඒ ම නොවූව ද එකී අවසානය මෙයට වඩා ප්‍රබලව ගොඩ නැගීමට කොතෙකුත් අවස්ථාව තිබියදී කතාවේ දීර්ඝත්වය, නිසාදෝ හදිසියේ ම එය මදක් සංක්ෂිප්ත ව ගළපාගෙන තිබිණ. තැනින් තැන පුනරුච්චාරණය වූ ඇතැම් අවස්ථා හෝ ඇතැම් විවරණ නිසි තැන කපා කොටා ඔප ලෑවේනම් මේ අඩුව දැනෙන්නේ නැත. අනික ඒ අතර ඒ ඇතැම් චරිත විශේෂයෙන් ම "වංශවතී මැණිකේ","වාසනාහාමි මැණිකේ” වැනි ස්ත්‍රී චරිත පවා මෙයට වඩා ගැඹුරින් ගොඩ නගාලීමට අවකාශය සැදෙනු නියතය. එහෙත් කතාකාරිය හෝ නිර්මාණකාරිය අබිබවා මෙහිදී යට කී පර්‍යේෂණකාමී ඉතිහාසවේදිනිය මතු වී ඇත්දෝයි තවම මට සැකයක් තිබේ.

සේපාලි මායාදුන්නේ නම් ඒ පර්‍යේෂණශීලි ලේඛිකාවගේ මේ අඛණ්ඩ නිර්මාණ කාර්‍ය්යට මෙන්ම ඒ වෙසෙස් කැපවීමට මම මගේ මුළු හදින් ම මගේ ප්‍රණාමය හා ශුභාශිංසනය පුද කරමි.

විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි

නවතම ලිපි

Entertainment

රන්ජනී !!!