අපේ පාසල් පද්ධතියට කිසිම දිනෙක ඇතුළත් නොවෙයි කියල හිතන්න පුළුවන් අපූරු සිදුවීමක් දැක්කා ඊයේ බලපු ප්‍රංශ චිත්‍රපටයකින්. චිත්‍රපටය 'Mademoiselle Chambon' (2009).

පොඩි ළමයින්ගේ පන්තියක සතිපතා සිද්ධ වෙන අපූරු වැඩක්. පන්තියේ ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් ආරාධිතයෙක් විදිහට පන්තියට ඇවිල්ලා තමන් කරන රැකියාව ගැන මේ පොඩි අයට කතාවක් කරන්න ඕන. ඊට පස්සෙ පොඩි අය ඊට අදාළව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕන.

මේ කතාවෙ තාත්තා Builder කෙනෙක්. සරලවම අපි කියමුකෝ "මේසන් බාස්" කෙනෙක් කියලා. ඉතින් තාත්තා පන්තියට ආවම ළමයි ගුරුවරයෙක් පිළිගන්නවා වගේ ආයුබෝවන් කියල පිළිගන්නවා. තාත්තා තමන්ගෙ රැකියාවේ සොබහවය ගැන සරලව කියාදෙනවා. "ගෙයක් හදන්න නම් මුලින්ම අත්තිවාරම දාන්න ඕන, ඒක ශක්තිමත් වෙන්න ඕන, මගෙ පුතා නම් මේවා ගැන දන්නවා, ඔය ළමයින්ට මම තේරෙන විදිහට කියා දෙන්නම්කෝ". ළමයි හරිම ආසාවෙන් මේ විස්තරය අහන් ඉන්නවා මිසක් ඒ පන්ති කාමරේම ඉන්න තාත්තගෙ පුතා දිහාට හැරිලා "හපෝ තමුසෙගෙ තාත්තා මේසන් බාස් කෙනෙක්ද? අපේ තාත්තා නම් වැඩ කරන්නෙ ලොකු බැංකුවක" වගේ කතා කියන්න යන්නෙ නෑ. එයාල කවදාවත්ම අහල නැති විස්තරේකින් එයාලා වශී වෙලා ඉන්නේ.

madamossel 0

 

ඉතින් ප්‍රශ්න අහන වාරය ආවම මේ පොඩි ළමයිට ප්‍රශ්න ගොඩයි. පොරකනවා තමන්ගෙ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. "ගෙයක් හදන්න කොච්චර කල් යනවද?, ගෙයක් හදන්න ගඩොල් කීයක් විතර ඕනද?" 2500 -3000 ක් විතර කියල උත්තර ලැබෙනකොට ළමයි පුදුමයෙන් කෑගහනවා. "එතකොට අපේ මුලු ඉස්කෝලෙටම ගඩොල් කීයක් ඕනද?" 25000 ක් විතර කිව්වම ළමයි කලින්ටත් වඩා පුදුම වෙනවා. "කොච්චර කාලෙක ඉඳන්ද මේ රස්සාව කරන්නේ?, එක ගෙයක් ජීවිත කාලයක්ම පවතිනවද?" ළමයිට ප්‍රශ්න ගොඩයි.

madamoiselle Chambon movie

අන්තිමටම එක ළමයෙක් හරි අපූරු ප්‍රශ්නයක් අහනවා. "ඔයාගෙ රස්සාවේ ඔයා වඩාත්ම සතුටු වෙන දේ මොකක්ද?" ලැබෙනවා හරි අපූරු උත්තරයක්. "මට පුළුවන් වෙනවා තවත් පිරිසකගේ ජීවිත වල කොටසක් බවට පත්වෙන්න" කියලා බොහොම ගැඹුරු සිද්ධාන්තයක් හරිම සරලව ඒ තාත්තා ඒ ළමයින්ට පැහැදිලි කරලා දෙනවා. "මම කරන්නෙ අලුතින්ම ගෙයක් හදන එක හෝ පැරණි ගෙයක් නවීකරණය කරන එක. එතකොට ඒ අයිතිකාරයාගෙ ආසාව අනුව තමයි වැඩේ වෙන්නේ. එයාගෙ හීනයක් තමයි මගේ අතින් හැබෑ වෙන්නේ. මං හදන ගෙදරක පවුලක් සන්තෝසෙන් ජීවත් වෙනවා. ඉබේම මම එයාලගෙ ජීවිතේ කොටසක් වෙලා"

මේ වගේ සැසිවාරයක් අපේ රටේ ඉස්කෝලෙක කරන්න බැරිද? බෑ කියල ඔබ කියයි. ඒකෙන් තවත් සමහර ළමයින්ට සහ ළමයින්ගෙ දෙමාපියන්ට අවමානයක් වෙනව කියන සාධාරණ තර්කයක් එයි. උසස් විධායක ශ්‍රේණියේ තනතුරුවල නියුතු තාත්තලගෙ ළමයි ඉන්න පන්තියකට ඇවිත් පොල් කඩන රස්සාව කරන ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් කොහොමද පන්තියේ ළමයි ඉස්සරහ ඒ ගැන කියන්නෙ කියල අහයි. ඇත්තටම කල්පනා කරල බැලුවොත් ඒ තාත්තට තමයි ළමයින්ට රස කර කර අහන් ඉන්න පුළුවන් තරමේ දේවල් ගොඩක් කියන්න තියෙන්නෙත්. නමුත් එදා වේල රැකියා සම්බන්ධයෙන් අපේ රටේ තියෙන්නෙ සදා වෙනස් නොවෙන අගෞරවයක්. මෙහෙම වැඩකින් එහෙම දේකට ගෞරවණීය තත්ත්වයක් ඇතිකරල දෙන්නත් පුළුවන්. ඒත් ඉතින් ප්‍රායෝගිකව කරන්න අමාරුයි(ද?)

ලක්ෂ්මන් අරන්වල

"https://m.youtube.com/static/r/f2807860/fetch_polyfill.vflset/fetch_polyfill.js"

නවතම ලිපි