ඇල්ෆ්‍රඩ් හිචිකොචිගේ 'සියොතුන්' චිත්‍රපටය තුළ කථිකා කරන පක්ෂි අර්බුදයේ ඇති සැබෑ තත්ත්වය සැමවිටම අපව වෙනත් මානයකට රැගෙන යනවා.

කුරුල්ලන්ගේ නිදහස අහිමි කළ හෝමෝ සේපියන්ස් මානවයාගේ ක්‍රියා කලාපය නිසාම ස්වභාව ධර්මයා තුළම පවතින භීතිය පිළිබඳ යළි යළිත් මතක් කර දුන්නේ අවුරුදු සමයේ දැල්වෙන රතිඤ්ඤාවයි. මා වෙසෙන ගමෙහි තලතුනා මිනිසකු කීවේ මේ රතිඤ්ඤාවෙන් පරිසරයේ ජීවත්වන කුරුල්ලන්ගේ ජීවිතවලට වන හානි පිළිබඳව කවුරු නම් සිතයිද? කවුරු නම් තැවෙයිද? යන්න පිළිබඳවයි.

හිචිකොචිගේ "ද බර්ඩිස්" තුළ එක් පසෙකින් කූඩු කළ කුරුල්ලන්ගේ කූජනය නොව ඔවුන් යදින්නේ අපව නිදහස් කරපල්ලා යන විලාපයයි. ඒ කූජනය හෝමෝ සේපියන්ගේ දෙසවනට නොතේරෙයි.

කාර්මික විප්ලවයත් සමඟ මිහිමත සිටි මුල් අයිතිකරුවන්ගේ එක් පාර්ශවයක් වු මේ පක්ෂි වර්ගයා විශාල ඛේදවාචකයකට මුහුණ දුන්හ. මේ කුරුල්ලන්ගේ නිදහස අහිමි විය. කැලෑව එළි විණ. මිහිතලය උණුසුම් විය. දේශගුණය වෙනස් විය. බොහෝ පක්ෂීන් වඳවී ගියහ. කර්මාන්තශාලාවේ දුම් කවුළුවෙන් පිටවන විෂ දුමාරයෙන් පක්ෂි තටු කළු ගැසිණි. නිදහස් අහසේ පියාසර කළ පක්ෂීන් යකඩ කුඩුවල සිර විණ. අහසේ සරන බෝයින්ග් ගුවන්යානා ඉදිරියේ පක්ෂීන් තැලී පොඩිවිණ. දඩයක්කාරයාගේ තුවක්කු බටය ඉදිරියේ කුරුල්ලන් දිවි පිදුහ.

හිචිකොචිගේ "ද බර්ඩ්ස්" තුළ කථිකා කරන්නේ කුරුල්ලන්ගෙන් ජනයාට සිදුවන හානිය පිළිබඳ නොවේ. මේ සත්ත්ව ප්‍රජාව මේ මුල් භුමියේ උරුමක්කාරයන් බවත්, ඔවුන්ගේ නිදහස අහිමි කළ මානව ප්‍රජාවට එරෙහිවන කැරැල්ලක් පිළිබඳව 'ද බර්ඩ්ස්" චිත්‍රපටය යටිපෙළින් අනාවරණය කරයි.

 

the birds 3

'ද බර්ඩ්ස්' සිනමාකෘතියෙහි දී ලේඛකයෙකු බවට පත් වූ සංස්කරණ ශිල්පියා රූප සමඟ වියමනක් ගොඩනඟා ඇති ආකාරය පිළිබඳව මෙහි ලා අවධානයක් යොමු කිරීම වටී. සංස්කරණයේ දී සැබෑවට ම සිදුවිය යුත්තේ රූපවලට රිද්මයකට අනුව ගලායාමට සැලැස්වීමයි. රූපයෙන් රූපයට රිද්මයානුකූල සම්බන්ධතා ගොඩනඟන ශිල්පීය ක්‍රම තුනක් භාවිතයේ පවතී. හිච්කොක් ද මෙම ශිල්පීය ක්‍රමයන් අපූර්ව ලෙස මෙම සිනමා කෘතිය සඳහා යොදාගෙන තිබේ.

ඉන් පළමුවැන්න වන්නේ ඡේදනය හෙවත් ඍජු ඡේදනයයි (cut). මීට අමතරව මුසු කිරීම හෙවත් Mixing ද, සිනමාපටය හී සංස්කරණය සඳහා යොදාගෙන තිබේ. මෙහි දී රූපරාමු දෙකක් එකිනෙක මිශ්‍ර වීමක් සිදුවේ. එහි දී පටිගත වනුයේ මිශ්‍ර වූ රූපයකි. මුල් රූපයේ සිට ක්‍රමයෙන් එම පළමු රූප රාමුව මැකී ගියත් දෙවන රූපරාමුව ක්‍රමයෙන් මතුවෙමින් අදාල මතුවීම සම්පූර්ණ කරයි. Mixingහී දී එක් රූපයක සිට අනෙක් රූපය පරයා ඉස්මතු වීම මෙහි ප්‍රයෝගයයි, එය මුසුවීම මිස ඡේදනය නොවේ. එය කාලය සහ අවකාශය අතර සබැඳියාව සහ වෙනස්වීම හඟවන්නකි. මෙහි ප්‍රයෝගය ද තේරුම් ගත යුතුය.

the birds 4

සිනමාපටයේ යොදගත් තුන්වන සංස්කරණ රීතිය වනුයේ පළමු රූපය ක්‍රමයෙන් මකා දමමින් දෙවැනි රූපයට මතුවීම නොහොත් Wipe(පිස දැමීම) නම් වේ. මෙහි දී පළමු රූපයෙන් දෙවැනි රූපයට යාමේ දී පිසදමන විවිධ හැඩ දක්නට ඇත. එම හැඩ Wipe Patten ලෙස හැදින්වේ. තව ද වියකුම හෙවත් Fade ද මෙහි දී රූප අතර සංස්කරණය යොදාගත් එක් ශිල්ප ක්‍රමයකි. එහි දී එක් දර්ශනයක් අවසන් කොට තවත් දර්ශනයකට යාම සඳහා එම Fade in වීම යොදා ගෙන තිබේ. එය රූපය අඳුරෙන් එළියට යන ස්වභාවයකි.

 

එසේ ම රූපයක සිට ක්‍රම ක්‍රමයෙන් අඳුරට වියැකුම හෙවත් අඳුර මතුවන්නට ඉඩ හැරීම Fade out වේ. මෙම Fade in සහ Fade Out සංස්කරණ ශිල්ප ක්‍රම ද්විත්වය යොදා ගැනීම අරමුණ වන්නේ කාලය සහ අවකාශය අතර වෙනස්වනසුළු ස්වභාවය දැනවීම ය. චිත්‍රපටයේ දුටු නිදසුනක් ලෙස මිච්ගේ නිවසේ රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව මෙලනි නැවතත් මෝටර් රථයෙන් ගමන් ගන්නා අවස්ථාවේ දී එම අවස්ථාවේ අවසානය සනිටුහන් කරමින් එහි සිට ඇනීගේ නිවස වෙත fade out එකක් සිදු වේ. චිත්‍රපටය පුරාවට මේ ආකාර fade in සහ fade out දොළහක් පමණ දැක ගත හැකි විය.

සිනමාපටය පුරාවටම රෞද්‍ර සියොතුන්ගේ අත්අඩංගුවට පත්වන චරිත සමුහයක් හරහා මෙම ගැටලුව නිරාවරණය කරයි. හිචිකොචි චිත්‍රපටය තුළ මේ කුරුල්ලන්ගේ ස්වරූපය යම් පමණකට ගුඪ ස්වභාවයක් ආරෝපණය කර ඇත. කළු පැහැති කපුටන්, කහ පැහැත් රුදුරු ගණයේ හොටක් සහිත ලිහිණියන්ගේ අධි සැරැති සමුහ ප්‍රහාරයන් චිත්‍රපටය තුළ මානව ප්‍රජාව සතු හැඟිම් සමුහයේ සහ ප්‍රතිචාරය කෙසේ වේවිද යන කුකුස සැමවිටම හිචිකොචි ප්‍රේක්ෂකයා කෙරෙහි රඳවා තබයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන "මිචී" චරිතය සිනමාපටය තුළ සුවිශේෂි ය. ඔහු බුද්ධිමත් ය. මේ පීඩා ගෙන දෙන පක්ෂීන්ට එරෙහිවන්නට ඔහු කිසිවිටකත් යත්න නොදරයි. ඔහුගේ අරමුණ තම සන්තකයේ සිටින කුටුම්භය ආරක්ෂාකාරීව, නිරුපද්‍රිතව නිවස්නයෙන් පිටමං කර ගැනීමයි. එමෙන්ම මිචීගේ මව වන ලිඩියාගේ චිත්ත ස්වරූපය ද අවසානයේ වෙනසකට ලක් වෙයි. මෙයාකාරයෙන් සමස්තයක් ලෙස ගත් කළ චිත්‍රපටයේ අනෙකුත් අංගයන්ට වඩා සංස්කරණයට මූලික තැනක් දී තිබීමත් ආලෝකකරණය, පසුතල නිර්මාණය, විශිෂ්ට තිර නාටකය ආදිය මගින් හිචිකොචි සිය කෘතිය පුරාම බොහෝ දුරට භාවිත කරනු ලැබූ විශිෂ්ට ගණයේ සිනමාකෘතියක් බව අවිවාදයෙන් ම පැවසිය යුතුම ය.

මලින්ත විතානගේ

 

නවතම ලිපි